මියන්මාරයේ භික්ෂු පරපුර ගැන ඔබ නොදන්න කතා

  👤  4798 readers have read this article !
2017-10-15

ශ්‍රී ලංකාවේද ථෙරවාදී සම්ප්‍රදාය පැවතුණද බුරුමයේ හෙවත් මියැන්මාරයේ ථෙරවාදී බුදු දහම වෙනස් ස්වරූපයක් ගනියි. දෙරටෙහි පවතින ථෙරවාදී සම්ප්‍රදායේ වෙනස ධර්ම විනය අතින් නොව එය අනුගමනය කරන ආකාරය අනුව බව කිව යුතුයි. බුදු දහමේ ඉගැන්වෙන විනයට අනුව මියැන්මාර් භික්ෂුව කටයුතු කළත් ශ්‍රී ලංකාවේ ඇතැම් කරුණු අතින් අඩුපාඩු දැකිය හැකිය. මියැන්මාරයේ පවතින්නේ විනයට අනුගත වූ සිල් මාතාවන්ගේ පිළිවෙත් පිරීමකි.

මියැන්මාර් ගිහි පැවිදි දෙපක්ෂයම බුදු දහමට අනුව පිළිවෙත් පුරති. ඒ අතින් ලාංකේය බෞද්ධයන්ට වඩා ඉදිරියෙන් සිටින බව කිව යුතුය. ශ්‍රී ලංකාව මෙන්ම මියැන්මාරයද යටත් විජිතයක් බවට පත්ව තිබූ රටවල්ය. යටත් විජිත සමයේ ශ්‍රී ලාංකික ජන ජීවිතය පරගැති සිරිත්වලින් දුර්වල වුණත් මියැන්මාර් බෞද්ධයා තම සංස්කෘතිය රැක ගනිමින් ඉදිරියට අභිමානයෙන් පැමිණි බව කිව යුතුය. ලංකා සංඝ සමාජය තුළ කුල භේදය පවතියි. ඇතැම් නිකායක ගොවිගම කුලයෙන් හැර වෙනත් කුලයකින් පැවිදිවීමට අවසර නැත. මියැන්මාරයේ සියලුම භික්ෂුන් වහන්සේලා එක සමානය.

කුල භේදයක් පන්ති භේදයක් නොමැත. සිවුදෙසින් ගලන ගංගා මහ මුහුදට පැමිණි පසු එකම ජල කඳක් වන පරිදි සම්බුද්ධ ශාසනයේ පැවිදිවීම තුළ භේදයක් නැතැයි යන බුදු වදන ගැළපෙන්නේ අපට නොව මියැන්මාර් භික්ෂුවටයි. විහාර සන්තක සාංඝික දේපළ පරිහරණය පිළිබඳ විනයානුකූල බව ශ්‍රී ලාංකික භික්ෂුව නොසලකා හරිද්දී මියැන්මාර් භික්ෂු සමාජය සාංඝික දේපළ පිලිබඳ විනය ගෞරවයෙන් පිළිවෙතක් අනුගමනය කරයි. ලංකාවේ අක්කර දස දහස් ගණනින් ඇති ඉඩකඩම්වල අයිතිය ඒ පරම්පරාවල භික්ෂුන්ට මිස පොදු මහ සංඝරත්නයට බෙදීමක් නැත. මෙහි ඇති ඛේදවාචකය නම් ශාසනයට පූජා කළ මේ ඉඩම් බෞද්ධ භික්ෂුවකට තබා ගිහි බෞද්ධයකුටවත් නොලැබ මුස්ලිම් ජාතිකයන් බලහත්කාරයෙන් පරිහරණය කිරීමයි. තමන්ගේ උරුමයවත් රැක ගැනීමට තරම් ආත්ම ශක්තියක් නැති තැනට ලාංකේය භික්ෂුව පත්ව සිටියි.

මෙසේ පරම්පරාගත බූදල් බවට සාංඝික ඉඩකඩම්වල අයිතියක් තබා තමන් වහන්සේ වැඩ වෙසෙන විහාරස්ථානයත් මියැන්මාර් භික්ෂුවට අයිති නැත. භාග්‍යවතුන් වහන්සේ වදාළ විනයට අනුව මියැන්මාරයේ භික්ෂුන්ට කිසිදු විහාරස්ථානයක අයිතියක් නොමැත. බුද්ධ කාලයේ මෙන් සංචාරක ජීවිතයක් ගත කරන මියැන්මාර් භික්ෂුහු වස් කාලයේ පමණක් විහාරස්ථානවල වෙසෙති. මේ නිසාම මියැන්මාර් සංඝ සමාජය තුළ සාංඝික ක්‍රමය බුද්ධ විනයට අනුව ක්‍රියාත්මක වෙයි. ඇතැම් වකවානුවලදී පාරුපනවාද ඇතිවුවත් සියලු දෙනා වහන්සේම දෙඋර වසා සිවුරු පොරවති. කහ, දුඹුරු, තැඹිලි පැහැ රතු කළු මිශ්‍ර පැහැ යනුවෙන් තම අභිමතය පරිදි සිවුරේ පැහැය ලාංකික භික්ෂුවගේ වෙනස් වුවද බොහෝවිට මියැන්මාර් භික්ෂුන් වහන්සේ එක සමාන පැහැයකින් සිවුරු සකස් කර ගනිති.

ලාංකේය භික්ෂුහු අතළොස්සක් දෙනා පාත්තරය පාවිච්චි කරති. එහෙත් මියැන්මාරයේ භික්ෂුන් වහන්සේ පාත්‍ර පරිහරණය කරමින් පිඬු සිඟීමෙන් යැපෙති. ත්‍රිපිටකය හා පාළි භාෂාව ඉගෙනුම අතින් මියැන්මාර් ගිහි පැවිදි දෙපසම ශ්‍රී ලාංකේය ගිහි පැවිදි පක්ෂය අභිභවා ඉදිරියෙන් සිටිති. පෙර දවස ලංකා සම්බුද්ධ ශාසනය දීප්තිමත්ව තිබූ වකවානුවේ බුරුම භික්ෂුන් වහන්සේ මෙරට භික්ෂු මහා සංඝායාගේ අවවාද අනුශාසනා අනුව පැවිදි උපසම්පදාව ලැබීම මහත් ගෞරවයක් කොට සිතූහ. එහෙත් වර්තමානයේ අභිධර්මයත් භාවනා ක්‍රම පුහුණුවත් ලැබුවේ මියැන්මාරයෙනි. ඒ අතින් බලන විට මියැන්මාරයෙන් භික්ෂුන් වහන්සේගේ සහාය නොලබන්නට අද මෙපමණින්වත් බුදු දහම ගැන දැනීමක් අපට නොලැබෙන්නට ඉඩ තිබිණි. උෟබාකීම් ගොයින්කාජි වැනි ගිහි වියතුන් ආධ්‍යාත්මික දියුණුවට සිදු කළ සේවාවට සමාන සේවාවක් අපේ ගිහි බෞද්ධයන් කී දෙනකුට කළ හැකිද?
ගිහි පින්වතුන්ගේ හැඩගැසීම අතින් බැලුවද බුදු දහමේ ආභාසයෙන් විශිෂ්ට චරිත බිහි කළ හැකි බවට නිදසුන් සැපයීමට පුළුවන. බටහිර ඇඳුමට වන්දනා කරන පරගැති සිරිත් හිස් මුදුනින් ගනු ලබන අනුකාරක දුබල බෞද්ධයා මෙන් නොව මියැන්මාර් බෞද්ධයා හැම විටම පෙරදිග සිරිතට විරිතට මුල්තැන දෙයි. රෝහලේ සේවය කරන වෛද්‍යවරුන් පවා සැරසී සිටින්නේ කලිසම් කෝට් නොව රෙද්ද බැනියමයි. හෙද සොහොයුරියෝ රෙද්ද හැට්ටය හඳිති. ඔවුනොවුන් සිප වැලඳගෙන අතට අත දෙන සම්ප්‍රදාය අපට හුරු වුවද රජයේ ඉහළ නිලතල දරන නිලධාරීහු පවා ආචාර කිරීමේදී දෑත් එක්කොට ආචාර කරති. සංචාරකයන්ට අප රටේ මෙන් හිතුවක්කාර ලෙස හැසිරීමට ඉඩ නොදෙන මියැන්මාර් රජය ඔවුන්ගෙන් වැඩි මුදලක් ගුවන්තොටේදීම අය කර ගනිති. මොනතරම් දුප්පත් වුණත් විදේශීය බැංකුවල නීතිරීතිවලට අනුව කටයුතු කිරීමක් මියැන්මාරයේ නොමැත. මීට දශක කිහිපයකට පෙර සුළිසුළඟින් ව්‍යසනයට පත්වූ විට එක්සත් ජනපද රජයෙන් ලැබුණු ආධාර ආපසු හරවා යැව්වේ තම ජාතියේ අභිමානය සුරකිමිනි. මෙවර එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගි නොවූ අවුසාන් සුකී මියැන්මාර් අගමැතිතුමිය එසේ කරන්නට ඇත්තේ බාගදා පරණ අත්දැකීම් සිහිපත් වීමෙන් විය හැකිය. කලක් බොදු පිළිවෙතට පිටුපා කළ ක්‍රියාවක් නිසා මියැන්මාර් ජනතාව විසින් ඇයව ප්‍රතික්ෂේප කරන ලදී. දශක දෙක තුනකට පෙර තිබූ මියැන්මාරයේ ජාත්‍යන්තර කටයුතු අතින් යම් වෙනස්කම් තිබිය හැකිය. එහෙත් ඔවුන්ගේ හද පත්ලේ කි¼දා බැසගෙන බුදු දහමේ ආධ්‍යාත්මය එලෙසින්ම පවතින බව නොඅනුමානය.

මියැන්මාරයේ මුස්ලිම් ජාතිය සුළු පිරිසකි. සියයට 4කට සීමාවූ මොවුන් දශක තුන හතරකට පෙර බංග්ලාදේශය වැනි අසල්වැසි රටවලින් පැමිණ මියැන්මාරය වටා ඇති දූපත්වල වෙසෙමින් ඒ පළාත්වල විසූ නූගත් කාන්තාවන් විවාහ කරගෙන එහි මුල් බැසගත් පිරිසකි.

කෙසේ වුවද මියැන්මාර මුස්ලිම් ජනයා වෙසෙන පෙදෙස්වල සිටින අහිංසක බෞද්ධයන් අමු අමුවේ ඝාතනය කරති. කුඩා සාමණේර හිමිවරුන් කපා කාටා මරා දමති.
වර්තමානයේ තායිලන්තයේ 94% බෞද්ධයන් විසුවද සුළුතරයක් වන මුස්ලිම් ජාතිකයන්ගේ හිංසනයට එහි භික්ෂූහු නිබඳව ලක්වෙති. පිණ්ඩපාතයේ වඩින භික්ෂුන් වහන්සේ දෙපසින් තුවක්කු අතැතිව ආරක්ෂක නිලධාරීන් ගමන් කරන්නේ මුස්ලිම් ජාතිකයන්ගේ අහිංසක බව නිසාද?

ශාස්ත්‍රපති පයාගල නන්ද ස්ථවිර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon