‘ජාතික ධජයට සිංහ කොඩිය සුදුසු යැයි යෝජනා කළේ මඩකළපුව මන්ත්‍රි ඒ. සින්න ලෙබ්බේ’

  👤  4355 readers have read this article !
2017-10-15

ලංකාව බි්‍රතාන්‍ය කිරීටයෙන් නිදහස ලබන විට නැවතත් මුල සිටම පටන් ගන්නට සිදුව තිබුණේය. දෙදහස් පන්සිය වසරක් පැවැති අඛණ්ඩ රාජධානි ඉතිහාසය 1815න් ඔබ්බට ඇනහිට තිබිණි. ජාතික ගීයක් හෝ ජාතික ධජයක් නොවීය. හැම දෙයක් ගැනම අලුතෙන් හිතන්නට අවශ්‍ය විය. නිදහස් අනුස්මරණ මණ්ඩපයක් ඉදි කළ යුතු යැයි අගමැති ඩී.

ඇස්. සේනානායක මහතා යෝජනා කළේය. වර්තමානයේ කොළඹ 7 ටොරින්ටන් පෙදෙසේ අප දකින්නේ ඒ අනුව ඉදිවූ නිදහස් චතුරශ්‍රයයි. නිදහස් උත්සවය නිමිතිකොට ජාතික ගීයක් සම්පාදනය කළ යුතුය යන අදහසද මතුවිය. ලංකාවට තමන්ගේම වූ අභිමානවත් ජාතික කොඩියක් තිබිය යුතු යැයිද යෝජනා වූයේය. 1815 මාර්තු 3දා මහනුවර මඟුල් මඩුවේදී ඔසවන ලද බි්‍රතාන්‍ය කිරීටයේ ධජය යළිත් ඔසවනු නොලැබෙන පරිදි බිම හෙළන්නට අපේම වූ ජාතික ධජයක් අවශ්‍ය විය. පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධ විවාදය පැවැතී තිබෙන්නේ 1948 ජනවාරි 16 වැනි දිනය.

එක්සත් ජාතික පක්ෂයේ මඩකළපුව මන්ත්‍රි අහමඩ් සින්න ලෙබ්බේ මහතා ජාතික ධජය පිළිබඳ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
එම යෝජනාව මෙසේය.

'1815 කන්ද උඩරට ගිවිසුම අස්සන් තැබීමෙන් පසු එංගලන්තයට ගෙන යන ලද රතු පසුබිමක දකුණතින් අසිපතක් දරා සිටින කහ පැහැති සිංහ රූපය නිරූපණය කරන ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ රාජකීය ධජය නිදහස් ශ්‍රී ලංකාවේ නිල ධජය විය යුතු බව මෙම ගරු සභාවට යෝජනා කරමි.'
ඒ. සින්න ලෙබ්බේ මහතාගේ යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් පවත්වා තිබේ. එම විවාදයෙන් අනතුරුව ජාතික ධජයක් තෝරා ගැනීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත්කර ඇත. පහත නම් සඳහන් අය එකී කමිටුවට ඇතුළත් වූහ.
ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, ජී. ජී. පොන්නම්බලම්, ටී. බී. ජයා, ජේ. ඇල්. කොතලාවල, ආචාර්ය එල්. ඒ. රාජපක්ෂ, ඇස්. නඩේසන් සහ ජේ. ආර්. ජයවර්ධන ජාතික ධජය පිළිබඳ කමිටු සාමාජිකයෝ වූහ.

කමිටුවේ අවසන් තීරණය පමාවන හෙයින් 1947 පෙබරවාරි 4 පැවැත්වෙන ජාතික නිදහස් උළෙලේදී ඒ. සින්න ලෙබ්බේ මහතා යෝජනා කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ධජය එසවීම සඳහා පාර්ලිමේන්තුව පොදු එකඟත්වයකට පැමිණියේය. ඒ අනුව නිදහස් උළෙලේදී සිංහ ධජය ලෙළ දුන්නේය. කමිටු වාර්තාව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ 1950 පෙබරවාරි මාසයේදීය. එහිදී එක් සාමාජිකයකු හැර අනෙක් සියල්ලන්ගේ සහභාගිත්වයෙන් සිංහ කොඩිය ජාතික ධජය ලෙස පිළිගැනිණි. වෙනසකට වූයේ කොළ හා තැඹිලි පාට තීරු දෙකක් සිංහ කොඩියට එකතු වීමය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම සිංහල කතාව පවත්වන ලද්දේ එජාප අත්තනගල්ල මන්ත්‍රි ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාය. 1948 ජූලි 28 වැනිදා හෙතෙම ප්‍රථම සිංහල කතාව සිදු කළේය. එදිනට දෙවැනි සිංහල කතාව සිදු කරන ලද්දේ අවිස්සාවේල්ල ලංකා සමසමාජ පක්ෂයේ මන්ත්‍රි කුසුමා ගුණවර්ධන මහත්මිය විසිනි.
(මලල්ගොඩ බන්දුතිලක මහතාගේ 'ශ්‍රී ලංකාවේ මැතිවරණ පුරාණ ග්‍රන්ථය ඇසුරිණි.)

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon