පිස්තෝලයේ අයිතිකාර ඔසී කොරයා පැමිණිල්ලේ සාක්කිකරුවකු වූයේ කෙසේද?

  👤  4397 readers have read this article !
2017-10-15

ඝාතන නඩුවේ පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂිකරුවකු වූ මීගමුවේ දාගොන්නේ ඔසී කොරායාගේ සාක්ෂිය හා පැමිණිල්ලේ හා විත්තියේ නීතිඥයන් ඔහුගෙන් ඇසූ ප්‍රශ්න හා ඒවාට ඔසී කොරයා දුන් පිළිතුරු ඉතා වැදගත්ය.

අගමැතිට වෙඩි තබා ස්වල්ප වේලාවකට පසු රොස්මිඩ් පෙදෙසේ නිවෙසේ තාප්පයෙන් පැන ගියා යැයි සැකයටද ඉලක්ක වූ ඔසී කොරයා පැමිණිල්ලේ සාක්කිකරුවකු වූයේ කෙසේදැයි කෙනකුට ප්‍රශ්නයක් මතුවිය හැකිය. එය ඉතාම සාධාරණ එකකි. නමුත් ඊටත් වඩා පුදුමසහගත කාරණය වන්නේ අගමැතිට වෙඩි තැබූ රිවෝල්වරය තමාට අයත් එකක් බව කියන්නට ඔසී කොරයා පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි කූඩුවට නැඟීමයි.
මෙහි ඇති විස්මිත කාරණයක් වන්නේ අගමැතිට වෙඩි තැබූ පිස්තෝලයේ අයිතිකරුගේ අතට මාංචු නොවැටී ඔහු පැමිණිල්ලේ සාක්ෂිකරුවකු වීමයි. ඒ මතු නොව ඝාතනය සිදුවීමට පෙරද කොරයා පොලිසියේ වගකිවයුත්තන්ගේ මිතුරෙකි.

අගමැති ඝාතන නඩුව ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේ 1961 මැයි මස 21දා පැමිණිල්ලේ අධි නීතිඥ චිට්ටි මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් ඔසී කොරයා මෙසේ පැවැසීය.

නීතිඥ - ඔබට තුවක්කු, පිස්තෝල ආදිය භාවිතාවේ පළපුරුද්දක් තිබෙනවාද?
කොරයා - නොයෙක් වර්ගවල තුවක්කු පිස්තෝල ආදියෙන් වෙඩි තබා පළපුරුද්ද මට තිබෙනවා. තනි කානුවේ සහ කානු දෙකේ තුවක්කුවලින්ද ස්වයංක්‍රිය පිස්තෝලවලින්ද රිවෝල්වරවලින්ද මා වෙඩි තබා තිබෙනවා.

නීතිඥ - උසාවියට ඉදිරිපත් කර තිබෙන පී. 1 දරන රිවෝල්වරය ඔබ දුටුවා.
කොරයා - ඔව්. මා එයින් කීප වරක් වෙඩි තබා තිබෙනවා.
නීතිඥ - තමා පස්වැනි විත්තිකාර නිව්ටන් පෙරේරාට රිවෝල්වරයක් දුන්නා.
කොරයා - ඔව්. උසාවිය ඉදිරියේ තිබෙන්නේ මා නිව්ටන් පෙරේරාට දුන් රිවෝල්වරයයි.
නීතිඥ - තමා නිව්ටන් හඳුනන්නේ කොපමණ කාලයක සිටද?
කොරයා - ඔහු කොම්පඤ්ඤ වීදියේ පොලිසියේ ස්ථානාධිපතිව සිටියදී 1958 අවුරුද්දේ හඳුනාගත්තා.
නීතිඥ - ඔහු තමාගෙන් යමක් ඉල්ලා සිටියා.
කොරයා - දිනක් ඔහු මගේ නිවෙසට පැමිණ රිවෝල්වරයක් ඉල්ලුවා.
නීතිඥ - ඔබ ඔහුට රිවෝල්වරයක් දුන්නද?
කොරයා - අධිකරණය හමුවේ පී. 1 වශයෙන් තිබෙන්නේ මා නිව්ටන්ට දුන් රිවෝල්වරය.
නීතිඥ - ඔබ මෙයට පෙර ඔහුට ආයුධ දී තිබෙනවාද?
කොරයා - මට විරුද්ධව තිබූ කිඹුලාපිටියේ මිනී මැරුම් නඩුවෙන් පසු මා සතුව තිබූ ආයුධ කිහිපයක් නිව්ටන්ට දුන්නා.
නීතිඥ - අගමැති ඝාතනය සිදුවීමෙන් පසු තමාට නිව්ටන් හමුවුණාද?
කොරයා - නැහැ. හිටපු පොලිස් අධිකාරි ලයනල් ගුණතිලක මහතාගේ කීමට අනුව නිව්ටන් හමුවීමට යන තුරු ඔහු හමුවී තිබුණේ නැහැ.
නීතිඥ - ලයනල් ගුණතිලක තමා හොඳින් දන්නවා?
කොරයා - ඔව්. ලයනල් ගුණතිලක අවුරුදු 20ක පමණ කාලයක සිට මගේ මිතුරෙක්.
නීතිඥ - ඔහු කොළඹ පදිංචිව හිටියා.
කොරයා - ඔහු අගමැති නිවෙස ඉදිරිපිට පදිංචිව සිටියා.
නීතිඥ - කිඹුලාපිටිය මිනීමැරුම් නඩුවෙන් තමා නිදහස ලැබුවා?
කොරයා - ඒ නිදහස් වීම වෙනුවෙන් මා හිස බූ ගා කතරගමට ගොස් බාරයක් ඔප්පු කළා.
නීතිඥ - අගමැතිට වෙඩි තැබූ බව තමා දැනගත්තේ කොහොමද?
කොරයා - එදින දහවල් 11ට පමණ මා මීගමුව උසාවියේ සිටියදී ඒ ගැන දැනගන්න ලැබුණා.
නීතිඥ - ඇයි මීගමුව උසාවියට තමා ගියේ?
කොරයා - නඩුව බැලීමටත්, නීතිඥ මහත්වරුන්ට මුදල් ගෙවීමටත් ගියා.
නීතිඥ - අගමැති ඝාතනයෙන් දෙතුන් දිනකට පසු තමා ලයනල් ගුණතිලක හමුවුණා?
කොරයා - ගුණතිලක මහතා මට එන්න කියා පණිවුඩයක් එවා තිබුණා.
නීතිඥ - තමා හමු වුණාම ඔහු මොනවද ඇසුවේ?
කොරයා - කෝ තමුසෙගේ රිවෝල්වරය කියා ඇසුවා.
නීතිඥ - තමුන් මොකද කීවේ?
කොරයා - මා එය නිව්ටන් පෙරේරාට දුන්න බව කීවා.
නීතිඥ - එය නිව්ටන්ගෙන් ඉල්ලා ගන්න කීවාද?
කොරයා - ඔව්. දැන්ම ගිහින් ඒක ගන්න කීවා.
නීතිඥ - හේතුවක් කීවාද?
කොරයා - නැහැ.
නීතිඥ - ඉතින් රිවෝල්වරය ගන්න ගියාද?
කොරයා - ගුණතිලකගේ කීම පිට කොල්ලුපිටිය පොලිසියට ගොස් රිවෝල්වරය ඉල්ලා සිටියා.
නීතිඥ - තමාට එය ලැබුණාද?
කොරයා - නැහැ. එය බුද්ධරක්ඛිත හිමි ළඟ පරිස්සමට තබා ඇති බව නිව්ටන් කීවා.
නීතිඥ - තමා බුද්ධරක්ඛිත හඳුනනවාද?
කොරයා - බුද්ධරක්ඛිත සමඟ ආශ්‍රය කර නැහැ. අසා තිබෙනවා. මා නිව්ටන් කී දෙය ලයනල් ගුණතිලකට දැනුම් දුන්නා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon