‘62’ කුමන්ත්‍රණය ගැන ඩඩ්ලි සේනානායක දැන සිටියාද?

  👤  1674 readers have read this article !
2017-10-16

උදේනි සමන් කුමාර

මිනිසකුට හොඳ ප්‍රතිරූපයක් හදාගන්න ඉතාමත් අමාරුයි. ඒ වගේම තමයි හොඳ ප්‍රතිරූපයක් හදාගත්ත මිනිසකුට ඕනම වැරැදි වැඩක් කරන්න පුළුවන්. මොකද එයා ඒ දහජරා වැඩේ කළා කියල කිසි කෙනෙක් පිළිගන්නෙ නැහැ. මොකද ඔහු ගොඩනඟාගත් ප්‍රතිරූපය ඉතාමත් ශක්තිමත්.

මේ කතාව මා සමඟ ප්‍රකාශ කළේ 70 දශකයේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයකුව සිටි දහම් විමලසේන මහතා. ඔහු ඩඩ්ලි සේනානායක, ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, එජාප නායකයන් තිදෙනා සමඟ දේශපාලනය කළ එජාපයේ කැපී පෙනුණු පුද්ගලයෙක්. දහම් විමලසේන මේ කතාව කියන්නට ප්‍රස්තුත මාතෘකාව වුණේ වාර ගණනාවක්ම ලංකාවේ අගමැති පුටුවේ වාඩි වූ ඩඩ්ලි සේනානායක ගැන කතා කිරීමයි.

වරක් දහම් විමලසේන මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවක නිරතව සිටියදී එක්වරම ඔහු මෙසේ ප්‍රකාශ කළා.

"මම කීව ඔය ප්‍රතිරූප හදාගැනීම ගැන මම හොඳ උදාහරණයක් කියන්නම්. හිටපු අගමැති ඩඩ්ලි සේනානායක මහතාට ලංකාවෙ පොදු ජනතාව අතරෙ ඉතා හොඳ ප්‍රතිරූපයක් තිබෙනවා. ඒක යූ. ඇන්. පී. කාරයන් අතර පමණක් නොවෙයි. රටේ මිනිස්සු කොයි කවුරු අතරත් ඒ පිළිගැනීම තිබෙනවා. එතුමා හොඳ ප්‍රජාතන්ත්‍රවාදියෙක් හැටියටයි රට දන්නෙ. නමුත් ඩඩ්ලි සේනානායක 1962 කුමන්ත්‍රණයට සම්බන්ධයි. ඒ කුමන්ත්‍රණය සාර්ථක වෙලා සිරිමා බණ්ඩාරනායක අගමැතිනියගේ ආණ්ඩුව පෙරළුණා නම් බලයට එන්නේ වෙනින් කවුරුත් නොවේ ඩඩ්ලි."

"ඔබ කියන්නේ අතිශයින්ම බරපතළ කතාවක්. මෙහෙම කතාවක් මිනිස්සු අහලත් නැහැ. කිව්වට පිළිගන්නෙත් නැහැ. "මම කීවෙමි."

මම මේ කතාව ආවට ගියාවට කියන එකක් නොවේ. හොඳට දැනගෙන කියන්නෙ. මට මේ කතාව කිව්වේ ජේ. ආර්. ජයවර්ධන. ඩඩ්ලි 62 කුමන්ත්‍රණය ගැන දැන සිටියා පමණක් නොවෙයි ජේ. ආර්. ජයවර්ධන ඊට සම්බන්ධ කර ගන්නත් උත්සාහ කර තිබෙනවා. 1977 මහ මැතිවරණයට ඉස්සර මහනුවර පැවැති රැස්වීමකට මමත් ජේ. ආර්. ජයවර්ධනත් යමින් හිටියා. කඩුගන්නාව හරියෙ යමින් ඉද්දි අපි කාරකේ පිටුපස ආසනයේ සමීපව වැඩිවෙලා නොයෙක් දේ කතා කරමින් ගියා.

මම ඇසුවා කොහොමද ඩඩ්ලි මහජනයා අතරෙ එච්චර හොඳ ප්‍රතිරූපයක් හදා ගත්තේ කියලා. එතකොට ඩඩ්ලි මැරිලා. ජේ. ආර්. පක්ෂෙ නායකයා. ජේ. ආර්. කතාව පටන් ගත්තේ හැමදාමත් ලේක් හවුස් එක මගේ ප්‍රතිරූපය විනාශ කළා කියලයි. ඔය 62 කුමන්ත්‍රණය සිද්ධ වෙන්න ටික දවසකට කලින් එක දවසක් ඩඩ්ලි සේනානායක, ජේ. ආර්. ජයවර්ධනගේ වෝඩ් ප්ලේස් ගෙදරට ඇවිත් තිබෙනවා. දෙන්න සැන්විච් කමින් තේ බොද්දි ඩඩ්ලි ජේ. ආර්. ගෙන් ඇහුවලු මෙහෙම අදහසක් තියෙනව එකඟ වෙනවද කියල.

ජේ. ආර්. කිව්වලු, මේ රටේ ඔය වැඩේ එක දවසක් කළොත් ඒක හැමදාමත් කරන්න වේවි. මම ඒකට එකඟ නැහැ කියලා ඩඩ්ලිගෙ යෝජනාව ප්‍රතික්ෂේප කළාලු. ඕක තමා ප්‍රතිරූපයෙ වෙනස. ඔය ක්‍රමන්ත්‍රණයකින් ආණ්ඩුව පෙරළන කතාව ඩඩ්ලි කියනවා ඇසුණත් මිනිස්සු ඒක පිළිගන්නෙ නැහැ. ජේ. ආර්. කුමන්ත්‍රණයකින් බලය අල්ලන්න කතා වුණා කීවොත් රටම ඒක පිළිගන්නවා. ඒක තමයි ප්‍රතිරූප හදන එකේ වැදගත්කම.

ඔබ කියන කතාව පිළිගන්නෙ කොහොමද ඩඩ්ලි දැන් ජීවත්ව නැහැ.

"හරි මම තව කාරණයක් කියන්නම්. 1965දී යු. ඇන්. පී. ආණ්ඩුව ආවනෙ. ඒකේ ජේ. ආර්. ට රාජ්‍ය ඇමැතිකම දුන්නා. ඩඩ්ලි අගමැති, රාජ්‍ය ඇමැති යටතේ ස.තො.ස., හොටෙල් සංස්ථාව වගේ ආයතන තිබුණා. මේ දිනවල තමයි 62 කුමන්ත්‍රණයට සම්බන්ධ පිරිස නිදහස් වෙලා ගමට ආවේ. මේ හැම එකාටම ජේ. ආර්. ජයවර්ධන යටතේ තිබුණු ආයතනවල ඉහළ තනතුරු දුන්නා. සභාපති, ජනරාල්, මැනේජර්, වගේ තනතුරු. ඒ කියන්නෙ දැන් මේ අයට ඒ තනතුරු දෙන්න කියල ඩඩ්ලි බලපෑම් කළාලු. සිඩ්නි සොයිසා, රොයිස් ද මැල් වගේ අය ගැන. කුමන්ත්‍රණය අසාර්ථක වුණාට පස්සෙ ඒ අයට රැකියා දීමත් ජේ. ආර්.ගෙ කරපිටටම දැම්මා. මේ රටේ ස්වභාවය තමයි ඕක. ප්‍රතිරූපය හදාගත්ත මිනිහාට ඕනෑම හොරකමක්, වංචාවක්, දූෂණයක්, බලුවැඩක් කරන්න පුළුවනි. ආයෙ දෙකක් නැහැ."

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon