විදෙස් කාටූන් ශිල්පීන් එදා ජේ. ආර්. දුටු හැටි

  👤  1790 readers have read this article !
2017-10-16

බන්ධුල ගුණරත්න

ශක්ති සම්පන්න සිංහයා දඩයමට දක්ෂ වුවද ඇතැම්විට මර උගුල්වලින් බේරී යෑමට නොදනී. එසේම මර උගුල්වලින් බේරී යෑමට තරම් කපටියකු වුවද හිවලා සිංහයාගෙන් බේරී යෑමට නොදත්තෙකි. මැකියාවෙලිගේ ඊඩ්ඡ් ර්ථීඅධ්ව්ඛ්ඡ් (කුමාරයා)ට අනුව මෙරට ප්‍රථම විධායක ජනාධිපතිවරයා වූ ජුනියස් රිචඩ් ජයවර්ධනද සිංහ _ හිවල් චර්යාවන් නිසි ලෙස ප්‍රගුණ කළ දේශපාලනඥයකු වූ බව බොහෝ දෙනා විශ්වාස කරති.

1938 දී ලංකා ජාතික සංගමය ඔස්සේ දේශපාලනයට අවතීරණ වූ ජයවර්ධන එදා ප්‍රකට වූයේ උග්‍ර අධිරාජ්‍ය විරෝධියකු ලෙසය. ලංකා ජාතික සංගමයටත් කොමියුනිස්ට්වාදීන් බඳවා ගත යුතු යැයි කිහිප දෙනකු හඬ නඟද්දී ඔහුද ඊට එක්වූ නිසා ඩී. ඇස්. සේනානායකගේ උදහසටද කලක් ඔහු ලක්ව සිටියේය.

මෙනිසා කොමියුනිස්ට්වාදීන්ද එදා සිතා සිටියේ ජේ. ආර්. කොමියුනිස්ට් හිතවාදියකු ලෙසය. එහෙත් 1947න් පසු ජේ. ආර්. නිරූපණය කළේ උග්‍ර කොමියුනිස්ට් විරෝධියකුගේ චරිතයකි. ඒ හේතුවෙන් එතැන් සිට මාක්ස්වාදීන් ජේ. ආර්. හැඳින්වූයේ ඇමෙරිකාවට පක්ෂපාතී 'යැංකි ඩිකී' නමිනි.

ඔහු සිතන _ කියන _ කරන යන කාරණා ත්‍රිත්වයේදීම එකිනෙකට පරස්පරව ක්‍රියා කළ අයකු බව ඔහුගේ සමීප හිතවතුන්ගේ අර්ථකථනය විය. 1953 හර්තාලයෙන් පසු කැබිනට් මණ්ඩලයේ බහුතරයකගේ අදහස වූයේ 'ඔහු විශ්වාස නැති' අයකු බවයි.

සර් ජෝන් කොතලාවලට අගමැති පුටුවේ වාඩිවීමට අවස්ථාව ලැබුණේ ඒ 'පිනෙන්' බව ඇතැමකුගේ අදහස විය.

ජේ. ආර්. _ ඩඩ්ලි සේනානායක සීතල ගැටුමට මුල් වූයේද ඔහුගේ ක්‍රියාකාරිත්වය පිළිබඳව වූ මේ සැකය බව එදා මුළු දේශපාලන ක්ෂේත්‍රයේම රහසක් නොවීය. ඩඩ්ලිගේ දෙවැනි දේශපාලන ආගමනයේදී ද ජේ. ආර්. ඔහුට ඉඩදී පියවරක් ආපස්සට තැබුවේද දේශපාලන උපායශීලීත්වය නිසා බව බොහෝ දෙනා දනිති.

ඩඩ්ලි මියයන තුරුම විශ්වාස කළේ 53 හර්තාලය සාර්ථක වූයේ වමේ පක්ෂවල දක්ෂතාවට වඩා තමා පසුපසින් සිට පිහියෙන් ඇන්න හිතවතුන් නිසා බවය. ඒ හිතවතුන් අතර මුලම සිටියේ ජේ. ආර්. බව බොහෝ දෙනාට රහසක් නොවීය.

ඩඩ්ලිගේ අවමඟුල් උළෙලේදී හැඟීම්බර කතාවක් කරමින් 'රත්තරන් කුමරුනි, ඔබට සුබ රාත්‍රියක් වේවා' යැයි පැතූ ජේ. ආර්. 1977 මහ මැතිවරණයෙන් හයෙන් පහක ජයග්‍රහණයක් සඳහා පක්ෂය මෙහෙයවූයේ සිංහයකු පරිද්දෙනි. මැතිවරණ සිතියම අවුරුදු දහයකට හකුළා දමන බව පැවැසූ හෙතෙම නව ව්‍යවස්ථාවක් රටට හඳුන්වා දෙමින් මෙරට ප්‍රථම විධායක ජනාධිපතිවරයා බවට පත්විය.

වරෙක, සේනානායක පරපුරේ අවසන් පුරුක වූ රුක්මන් පක්ෂයෙන් එළවා දැමීමට ඔහු පසුබට නොවීය. තමාගේ යාවජීව මිතුරකු මෙන් ළඟම සිටි ඇමැති සිරිල් මැතිව් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කර දැමීමටත් හේ පසුබට නොවීය.

වර්ධනය වෙමින් පැවැති එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් මැඬපැවැත්වීම සඳහා ජේ. ආර්. ගත් ඇතැම් පියවරට ඉන්දියාව දැක්වූයේ අයහපත් ප්‍රතිචාරයකි. 1987 දී උතුරට පරිප්පු රැගෙන ඉන්දීය යාත්‍රා ලංකාව බලා ආවත් ඒවා උපක්‍රමශීලීව යළි ඉන්දියාවටම හරවා යැවීමට ඔහු සමත් විය. එම සිද්ධියෙන් පසු ඉන්දීය මාධ්‍ය අගමැති රජීව්ට උල්පන්දම් දුන්නේ ලංකාව අවමානයට පත් කරමිනි.

රජීව් ගාන්ධිගේ පණිවුඩයක් ජේ. ආර්.ට දැන්වීමට එවකට ඉන්දීය මහ කොමසාරිස් ජේ. එන්. ඩික්සිත් ජේ. ආර්. හමුවීමට ගිය විට ජේ. ආර්. කර ඇත්තේ ඔහුට විස්කි වීදුරුවක් පානය කිරීමට සැලැස්වීමය. අනතුරුව ඔහු ඩික්සිත්ට පවසා ඇත්තේ 'ත්‍රස්තයන්ට එරෙහිව තද පියවරක් ගන්නට යන අවස්ථාවේ එය වැළැක්විය යුතු නැතැයි රජීව්ට පවසන්නැ'යි කියාය.

ලංකාවට එරෙහිව ඉන්දීය හමුදා ක්‍රියාන්විතය නතර කිරීමට රජීව් තීරණය කළේ එම කීමට අනුව බව පසු කලෙක ඩික්සිත් පවසා තිබේ. ඉන්දියාව විසින් පෝෂණය කළ කොටි ත්‍රස්තවාදීන්ගේ ගැටලුවට ජේ. ආර්. එදා පිළිතුරු දුන්නේ එලෙසය.

කෙසේ වුවද ඉන්දීය මාධ්‍ය එකල රජීව්ට දිගින් දිගටම පෙන්වා දුන්නේ ජේ. ආර්. යනු හිතුවක්කාරයකු බවය. කළු චරිතයක් බවය. ඒ අනුව හැකි තරමින් ඉන්දීය මාධ්‍ය ජේ. ආර්. ට බැට දුන්නේය. අවසානයේ සිදුවූයේ ජේ. ආර්. සමඟ ගිවිසුමක් අස්සන් කිරීමට මෙරටට විත් නාවික සෙබළකුගේ තුවක්කු බඳකින් පහර කා රජීව්ට යළි යෑමටය. පාලකයකුට වුවමනා සිංහ වේශයත්, හිවල් වේශයත් දෙකම මැකියාවේලිට අනුව පෙන්නුම් කළ ජේ. ආර්. ජයවර්ධන එදා විදෙස් කාටුන් ශිල්පීන් දුටු අයුරු මෙසේ රස විඳිමු.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon