ඉතිහාසය හදාරන සිසුන් සඳහා කන්දේ නුවර රජ්ජුරුවන්ට කක්කුට්ටන් 45ක් තෑගි

  👤  1571 readers have read this article !
2017-10-16

උදේනි සමන් කුමාර

1812 සැප්තැම්බර් 24

වත්තල අප්පු පැමිණ දන්වයි. අන්දරපානේ මුහන්දිරම් සමඟ ඔහු මීගමුවට ගිය බවත්, තෝරමාළු කෑලි වගයකුත් කක්කුට්ටන් 50කුත් පණ ඇති පුංචි මාළු ටිකකුත් ගත් බවත් දින තුනකින් තල්පත හා අනෙක් බඩු දිසාවේට දීමට හැකි යැයි දැන්වීය.

මේ බඩු කාටදැයි දිසාවේ විමසා ඇත. කන්දේනුවර සිටින මේජර් ඩේවිට බව පවසා ඇත. කැමැති නම් අවශ්‍ය දෙයක් දිසාවේ ගන්නවාට කැමැති බවද දන්වා ඇත. දිසාවේ සියලුම පාර්සල් මිනිත්තුවෙන් ලිහා මූණමලේ මොහොට්ටාල ලවා භාණ්ඩ ලැයිස්තුවක් සටහන් කර තිබේ.

වයින් හොඳ මොනවාටද, කොළඹ ඒවායේ මිල කීයදැයි දිසාවේ විමසීය. රස බලන අදහසින් එක් බෝතලයක් කැඩීමට මහන්සි ගත්තේය. එහෙත් එම වයින් බෝතලයේ ඇබය ගලවා ගත නොහැකි වීමෙන් එය පසෙකින් තැබුවේය. පාර්සල් සියල්ලම සීල් තබා ගබඩා නිලමේට දන්වා ඉංග්‍රීසි මහතාට යවන බඩු ලැබෙන සේ තල්පතක් ලිවීය. ලුණු මාළුවලින් 5ක් ඔහු තබාගෙන කකුළුවන් 45ක් රජතුමාට යවනු ලැබුවේය. විවෘත නොකළ මගේ ලිපිය බඩුත් සමඟ ආපසු දුන්නේය. අමතක නොකර එය ඊළඟ දිනම දීමට අණ දුන්නේය. මේ සියල්ල වත්තල අප්පු ඉදිරියේ සිදු වී ඇත.

මාස දෙකකට උඩදී උඩුනුවරදී මේජර් ඩේවි දුටු බව ඔහු කීවේය. ඔහු සනීපෙන් සිටි බව හේ දැනගත්තේය. එහෙත් ඔහු බොහෝ කෙට්ටු වී සිටී. කෑම බීම හිඟ වී හත්කෝරළේ ඉතා අසරණය. වර්ෂාවද හිඟය. කුඹුරු වපුරා තිබෙන්නේ ස්වල්පයකි. බොහෝ ලෙඩ දුක් පවතී. ඉහළ ‍ෙදාළොස් පත්තුවේ උණ, අතීසාරය නැඟ එයි. දිනකට මිනිසුන් 100ක් මැරෙන බව ගණන් බලා ඇත. වෑඋඩ ගමේ මිනිසුන් 99ක් මාසයක් තුළ මිය ගොසිනි. අතීසාරය වැලඳුණු ජගරේරු දින 7කින් මිය ගියේය. හත් කෝරළේ මිනිස්සු රජුව අප්‍රිය කරති. එයට හේතුව රජු කළ වැරැදි හා ඔවුන්ගේ විපත ගැන රජු සොයා නොබැලීමය.

ඔක්තෝබර් 6

තලාවිටියේ අවුසද හාමි පැමිණ කියා සිටී.

වාරිගම නිලමේට ඔහුගේ අතපත්තු තනතුර නැති විය. එය ඔහුගේ සහෝදරියගේ ස්වාමියා වූ ‍ෙදාළොස්වල නිලමේට පවරනු ලැබුවේය. මා විමසූ තොරතුරුවලට අනුව කන්දේ නුවර රජු විසින් රඳවාගෙන සිටි මේජර් ඩේවි මරණයට පත් වී තිබේ. මරණය ගැන කිසි සැකයක් නැත. ඉංගිරීසි මහතාගේ සිරුර ඉදිමී තිබුණු අන්දම ඔත්තුකරු දැක ඇත. මරණය හෙළිදරව් කිරීම තහනම් කර තිබේ.

එක්නැලිගොඩ නිලමේ ඔහුගේ ශුභාශීර්වාදය එවා ඇත. පණිවුඩකරුවා බටුගෙදරින් අඟහරුවාදා පිටත් වී තිබේ. මිනිසුන් 100ක්් පමණ දිනපතා බටුගෙදරදී අභ්‍යාස පවත්වයි. මොහොට්ටාලවරු සීතාවක කන්දේ සිට නුවරට ගියහ.

ඔක්තෝබර් 12

මලයාලි මුහන්දිරම් පැමිණ දන්වයි. කන්දේනුවර අස්ගිරි විහාරයේ හඳුනන එහෙත් නම නොදන්නා භික්ෂුවක් ඊයේ ඔහු වෙත පැමිණි බව පවසයි. පිළිමතලව්වේ මහ අදිකාරමගේ පුතාගේ කැමැත්ත පිට මෙම ගමන පැමිණි අතර එතුමා කොළඹට පැන ඒමට සිතා සිටින බව දන්වා ඇත. පෙරහරට දින 10කට පෙර ඉංගිරිසි මහතා මිය ගිය බවද හෙතෙම දැන්වීය.

ඔක්තෝබර් 29

අස්ගිරි විහාරයට අයත් හත් කෝරළයේ වඳුරාගල උන්නාන්සේ පැමිණ දන්වයි

පිළිමතලව්වේගේ පුතා කොළඹ පැමිණිවිට ඔහුට ලැබෙන තත්ත්වය කුමක් දැයි කල් ඇතිව දැන ගැනීමට අවශ්‍ය බව කියා සිටී. ඔහු දැනට කිසිම තනතුරක් හෝ ගෞරවයක් නැතිව රත්තොට වලව්වේ වෙසෙන බව දන්වයි.

ඔක්තෝබර් 30

මාරස්සන උන්නාන්සේ පැමිණ තල්පතක් ඉදිරිපත් කරයි. අස්සනක් නැති වුවද උඩුමුල්ලේ නිලමේ රාල ලියන ලද්දකි.

මළා යැයි කී මේජර් ඩේවි කන්දේනුවර දළදා වීදියේ කච්චිනායක දෙවියන්ගේ වාසලට අයත් උයනේ වැව අයිනේ නිවෙසක වාසය කරන බවත් සඳහන් කර තිබේ. ගබඩා මිනිසුන් හා ගැහැනුන් 6 දෙනෙක් එහි සේවය කරති. එම නිවෙසට ලියුම් ගෙන යෑම තහනම්ය.

ඔක්තෝබර් 31

ඉඳුරුවේ පාවුළු පැමිණ කන්දේනුවර කිසිම ආරංචියක් නැති බව දන්වයි. නො. 101 දරන ලිපිය තුන්කෝරළේ දිසාවට භාරදුන් බව කියයි.

මස්තන්ගලයා පැමිණෙයි

තුන් කෝරළේ දිසාව දුන් ආඥාවක් හැර උඩරට වෙන කිසිම ආරංචියක් නැති බව කියා සිටී. මේ කාලයේ සංඝයා වහන්සේ කෙනකු වේවා වෙනත් නාඳුනන පුද්ගලයකු වේවා දිසාපතිගේ අවසර නොගෙන පලන්ගමුව වත්තෙන් ගොස් ගඟ පසුකොට යෑම තහනම්ය.

ජෝන් ඩොයිලිගේ බුද්ධි අංශ වාර්තා 15

1810 - 1815 තෙක් කන්ද උඩරට බි්‍රතාන්‍ය රජයේ පළමුවන කොමසාරිස් සහ නේවාසික ප්‍රමුඛ නිලධාරියා වශයෙන් සිටි ජෝන් ඩොයිලිගේ බුද්ධි අංශ වාර්තා ලෙස අප ඉදිරිපත් කරන මෙම ලේඛන 1917දී ලංකා සිවිල් සේවාවේ කටයුතු කළ එච්.ඩබ්ලිව්. කොඩ්රින්ටන් විසින් රාජකීය ආසියාතික ලංකා සමිතියේ 25 වැනි වෙළුමේ පළ කර තිබිණි. ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් මෙම තොරතුරු රසවත්ය, අරුත්බරය. අපි එය කොටස් වශයෙන් ඔබ වෙත ගෙන එන්නෙමු. නිදහස් ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය මුළුමනින් අහිමි වූ ඒ මාරක අවුරුදු පහ පිළිබඳ අභ්‍යන්තර තොරතුරු ගෙනෙන මේ සටහන් විශ්වාසදායක මූලාශ්‍ර වන්නේය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon