ලංකාවේ ප්‍රශ්නවලට ඉන්දියාවට අත පොවන්න දීමෙන් ආණ්ඩුව කළේ ලොකු වරදක් _ ප්‍රභාකරන්

  👤  1590 readers have read this article !
2017-10-16

පරිවර්තනය සුනිලා විජේසිංහ

පුහුණුවේ දෙවැනි සතිය අවසාන වන විට අප සියල්ලෝ කිලුටු දැරියන් වී සිටියහ. නියපොතුවල දැලි කුණු පිරී තිබිණි. පසුව මුළු සිරුර ද නිල ඇඳුම් සහ පිඟන් කෝප්ප යනාදී අපගේ සියලු ආම්පන්නද එලෙස අපවිත්‍ර වී තිබිණි. කිසිදා මාරු නොකළ අපගේ නිල ඇඳුම්වලින් හමා ආවේ පිළුණු වූ දහදිය ගන්ධයකි.

නිල ඇඳුම සෝදා මාරු කරගන්නට පසුව අපට අවසර ලැබිණි. එහෙත් ඒ සඳහා ලැබුණේ ළිඳෙන් ඇදගත් කුඩා මඩ වතුර බාල්දියකින් අඩක් පමණි. තෙතබරිතවූ මඩ වැකුණු සබන් කෑල්ලක් යාන්තමට ඒ මත අතුල්ලා නැවතත් පෙර පරිදිම වූ වතුර බාල්දි අඩකින් එය සෝදා හමාර කළ යුතු විය. එපමණකුදු නොව පෝලිමේ පිටුපසින් තම වාරය එනතෙක් තවත් බොහෝ දෙනෙක් බලා සිටියහ. ඒ අසීරු අවස්ථාවේ දී ද අකිලා මට පිහිට වූවාය. කඳවුරේ එක් රාත්‍රියකට නියමිත කාර්යයන් ඉටුකර දෙන්නට පොරොන්දු වෙමින් වෙනත් ගැහැනු ළමයකුගේ වතුර බාල්දි අඩක් ඉල්ලා ඇය මගේ නිල ඇඳුම සෝදා දුන්නාය.

කඳවුරෙහි ඉදිකිරීම් ක්‍රමානුකූලව සිදුවී නොතිබූ බැවින් එහි සිදුවූ අනතුරු සංඛ්‍යාවද බොහෝය. සමහර ගැහැනු ළමුන් පිරමිඩය මුදුනේ සිට ඇද වැටිණි. තවත් සමහරෙක් කඹය දිගේ ඉහළට නඟින විට ලිස්සා බිමට වැටුණහ. සමහරෙක් බිම හාරා තිබූ වළවල් තුළට මෙන්ම ළිඳට වැටුණු අවස්ථාද තිබිණි.

වරක් අප විසින් නිර්මාණය කරනු ලැබූ පිපිරුමකින් අනතුරුව ගින්නක් තුළින් දිව යද්දී අජන්තිගේ ඇහි බැමි හා කෙස් කලඹෙන් කොටසක් ද පිලිස්සී ගියේය.

"ඔයා කළ යුතුව තිබුණේ ගින්න නිවිලා ගියාම ඒ දුම ඇතුළට ඇතුළු වෙන එකයි."

පුපුරා ද්‍රව්‍ය සම්බන්ධ දේශකයා ඇයට පසුව පහදා දුන්නේය.

ජෙලග්නයිට්, ඊව්ඊ වැනි පුපුරන ද්‍රව්‍ය අතපත ගාන්නට සිදුවූ විටෙක මට වමනයත්, ක්ලාන්ත ගතියත් ඇති විය. අප ඒවා කන්ටේනර් තුළට ඇසුරුවේ අත් ආවරණ පවා නොමැතිවය.

ඒ සියලු දෑ අතර මට දරා සිටීම අසීරුතම වූයේ කඳවුරේ වැසිකිළි වළයි. කඳවුරු බිම කෙළවරේ වූ එය මීටර් තුනක් ගැඹුරැති වළකි. ඍජුකෝණාස්‍රාකාර ලෙස සැකසූ රේල් පීලි මත උක්කුටිකව වාඩිවී වැසිකිළි යෑම අති අප්‍රසන්න කාර්යයක් විය. පොල් අතු වැටකින් වට වී තිබූ එහි පෞද්ගලිකත්වය පවා ආරක්ෂා සහිත වූයේ නැත. අමිහිරි ගන්ධයන්, ශබ්ද මෙන්ම කුහරය පතුලේ සිට පැමිණ මුහුණේ වසන්නට එන නිල මැස්සන් මට දරා සිටිය නොහැකි තරමට අපුල විය.

දිනක් හදිසියේම මගේ නෙත් වළ පතුළට යොමු විය. මල මූත්‍රවලින් පිරී බොර දිය ජලාශයක් සේ දිස් වූ එහි ඉහඳ පණුවෝ නළියමින් සිටියහ. මම වහා පිටතට දුව ආවෙමි. මට වමනය නවතා ගත නොහැකි විය. එතැන් පටන් මා ආහාර වේල සඳහා ගත්තේ එකම එක බත් හැන්දක් පමණි. ඉතිරිය මා කාටත් හොරා අකිලාගේ පිඟානට දැමුවෙමි.

කඳවුර තුළ සියලු කටයුතු රෙජිමේන්තු ගත කොට තිබුණද මා විනෝද වූ අවස්ථාද නොතිබුණා නොවේ. තරු වියන යට නින්ද යෑම මට ලබා දුන්නේ ආනන්දයකි. ඉරිදා දවාලේ එකමුතුව තුළ මට නාට්‍ය ලියන්නට, රඟපාන්නට, ගී ගයන්නට හා කවි කියන්නටද අවස්ථාව ලැබිණි. ලාම්පුවේ මන්දාලෝකය යට අන් සියල්ලන් නිදිගත් විටෙක මම මගේ කතාවද රහසේ ලියමින් සිටියෙමි.

පුවත්පත්, සඟරා ඇතුළුව සියලු කියවීම් ද්‍රව්‍ය අපට එහි බොහෝ දුරට තහනම් කොට තිබිණි. මේ අතර රාත්‍රි කාලයේ කඳවුරෙහි අමතර වැඩ කටයුතුවල නිරත වෙද්දී රොෂාන් ගැන සිතමින් මා ලැබුවේ මහත් ආස්වාදයකි.

පුහුණු කාලයට මසක් ගතවෙද්දී ප්‍රභාකරන් විසින් අපගේ පුහුණුවෙහි වෙනසක් කරනු ලැබ තිබිණි. කොමාන්ඩෝ පුහුණුවට අදාළ පාඩම් හා පුහුණු කටයුතු අඩු වී ඒ වෙනුවට ඉලක්කයට වෙඩි තැබීම හා පුපුරන ද්‍රව්‍ය සම්බන්ධව ඉගෙනීමේ කාල සීමාව වැඩි විය. අවට ලෝකයේ සිදුවන දේශපාලන විපර්යාසයන් පිළිබඳව අප කිසිත් දැන සිටියේ නැත.

දිනක් ප්‍රභාකරන් සුපුරුදු අඹ ගස යට හදිසි රැස්වීමක් පවත්වන්නට කටයුතු කොට තිබිණි. ඔහුගේ උපනායක මහත්තයා එක් පසෙකින්ද කිට්ටු අනෙක් පසින්ද වාඩි වී සිටියහ.

ඔවුන් දෙදෙනා සැහැල්ලු සිනාවකින් මුහුණු සරසාගෙන අප දෙස බලා සිටියදී ප්‍රභාකරන් කතාව ආරම්භ කළේය.

"ළමයිනේ, දේශපාලන පැත්තෙන් අපිට අලුත් වර්ධනයක් දකින්නට පුළුවන් වෙලා තියෙනවා."

ඔහු ප්‍රකාශ කරන්නට උත්සාහ කළේ ශ්‍රී ලංකා රජය සහ දෙමළ හමුදාව අතර සාම ගිවිසුමක් ඇති කරන්නට ඉන්දීය රජය උත්සාහ ගනිමින් සිටින බවයි. ඉන්දියානු රජයට ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නවලට අත පොවන්නට ඉඩදීමෙන් ලංකාවේ රාජ්‍ය තන්ත්‍රය බලවත් වැරැද්දක් සිදු කොට ඇති බවද ඔහුගේ අදහස විය. ලංකාව නන් අයුරින් පාලනය කරන්නට ඉන්දියාව සූදානම් වෙමින් සිටි බවද ඉන්දියානු සාම හමුදාව ඊට අදාළ නොවූ නිමිත්තක් බවද ඔහු විශ්වාස කළේය. වසර ගණනක් ඉන්දියාවේ ජීවත්වූ ප්‍රභාකරන් ඉගෙන ගෙන ඇත්තේ ඉන්දීය රජය විශ්වාස කළ නොහැකි බව වන්නට ඇත. තම දේශය තුළම දමිළ හමුදා පුහුණු කරමින් සිටින ඉන්දියාව ඒ අතර ලංකාවට සාමය උදා කරන්නා ලෙසද පෙනී සිටී.

"වියට්නාමයේ ඇමෙරිකානුවන් වගේ, ඇෆ්ගනිස්තානයේ රුසියානුවන් වගේ තමිල් ඊළමෙන් ඉන්දියානුකාරයන් ඉවත් වෙන්නෙ නෑ."

ප්‍රභාකරන් කීය.

"හරියට කටයුතු කළේ නැත්නම් ඒගොල්ලො හොඳ පාඩමක් ඉගෙන ගනීවි."

දීබා අපේ අණ දෙන නිලධාරිනිය ප්‍රභාකරන්ගෙන් විමසුවාය.

ඔහුගේ අධිකාරියට විරුද්ධත්වයක් නොදක්වන එවැනි සරල ප්‍රශ්නයක් හෝ අසන්නට අවසර තිබුණේ දීබාට හෝ ඇයගේ සම නිලධාරිනිය වූ සුගීට පමණකි.
"මම දේශපාලකයෙක් නෙමෙයිනෙ. ඒ ගැන දන්නේ මහත්තයා."

එසේ පිළිතුරු දුන් ප්‍රභාකරන් මහ හ¾ඩින් සිනාසී මහත්තයා දෙස බැලුවේය. සියලුම දෙනා පිළිතුරක් බලාපොරොත්තුවෙන් මහත්තයා දෙසට හිස හැරවූහ. එහෙත් ඔහු මඳ සිනාවක් පා නිහඬව සිටියා මිස වචනයකුදු දෙඩුවේ නැත. ප්‍රභාකරන්ගේ වදන් පිළිබඳව මහත්තයා නොකැමැත්තක් පළ කළා දැයි මට සැක ඇති විය. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා ඥාති සහෝදරයන්ද වූහ. ඒ හැරුණු විට බාල වියේ සිටම ඔවුහු හොඳ මිතුරන්ද වූහ. එබැවින් දෙදෙනා එකිනෙකා හොඳින් හඳුනන්නෝ නොවෙත්ද?

කොටි තරුණියකගේ පාපෝච්චාරණය අංක 28

මෙතෙක් කතාව

නිරෝමි යාපනේ ප්‍රභූ පවුලක දැරියකි. ඇය උසස් පෙළ ඉගෙනුම ලබද්දී ජනදිවිය බිඳ වැටේ. දෙමළ තරුණයෝ අවි අතට ගනිති. කොටි සංවිධානය තම බලය තහවුරු කරගැනීම උදෙසා සටන් වදී. යාපනයේ යුද ගැටුම් උග්‍ර වේ. කොටි කාන්තා සෙබළියන් ද බඳවා ගනී. නිරෝමි සහ ඇගේ යෙහෙළියෝද කාන්තා සෙබළියන් ලෙස සංවිධානයට එක්වෙති. ඔවුහු කොටි නායක ප්‍රභාකරන් හමු වී පුහුණු කඳවුරකට යති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon