ළිප ගිනි මොලවන තෙක් දිය සැළියේ සැපයක් යැයි කකුළුවා දිය කෙළියේ

  👤  3141 readers have read this article !
2017-10-17

පසුගියදා හම්බන්තොටදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක්ද ඇතුළු 40කට ආසන්න පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇප නොදී රක්ෂිත බන්ධනාගාරගත කළේ පොදු දේපළවලට හානි කිරීමේ චෝදනාවක් යටතේය. අදාළ පිරිස උද්ඝෝෂණයක නිරත වූයේ රුපියල් කෝටි 3,000කට වඩා වටිනා මහජන දේපළක් රැක ගැනීම වෙනුවෙන් වන අතර ඔවුන්ට ඇති චෝදනාව උද්ඝෝෂණයට බාධා කිරීමට දමා තිබූ පොලිස් මාර්ග බාධක කිහිපයකට අලාභහානි වීමය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් තහවුරු කර ඇති හා විශ්ව මානව හිමිකම් ප්‍රඥප්තිය මඟින් ආරක්ෂා කර ඇති. අදහස් ප්‍රකාශ කිරීමේ, රැස්වීමේ සහ විරෝධතා පැවැත්වීමේ නිදහස හා කැමැති දේශපාලන මතයක් දැරීමේ අයිතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් වන මේ ක්‍රියාව මඟින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට යළිත් බරපතළ අනතුරු ඇඟවීමක් කරන බව පෙනී යයි.

අද මහජන විරෝධතාවක් ගැන දැන ගන්නට ලැබුණු විටම පොලිසිය කරන්නේ එයට එරෙහිව වාරණ නියෝගයන් ලබා ගැනීමයි. මෙහි ප්‍රතිඵලය වන්නේ සාමකාමීව කිරීමට සැලසුම් කළ විරෝධතාව අවසානයේ අරගලයක් බවට පත්වීමයි. හම්බන්තොට සිද්ධියේ විරෝධතාකරුවන්ට නායකත්වය දුන් තරුණ දේශපාලනඥයන් පිළිබඳව ඇති යම් කුහක වෛරයක් නිසා මහජනයාට වේගයෙන් අහිමි වීගෙන යන ප්‍රජාතාන්ත්‍රික අයිතිය අමතක නොකරන ලෙස බුද්ධිමත් ජනතාවගෙන් ඉල්ලා සිටිය යුතුය. ලබ්බට තියපු අතමය පුහුලටත් කියා පැරැණි කියමනක් ඇත. පොලිස් රාජ්‍යයක් බිහිවීමේ ලකුණු සෑම අතකින්ම පෙනී යද්දී හුදු පුද්ගලවාදී හැඟීම් මත අද සිදුවන දේ අගයන අය කනගාටු වන දිනයක් අනාගතයේ උදාවන බව දැනගන්නට නම් ලෝක ඉතිහාසය මඳක් පරිශීලනය කළ යුතුය.

අද ලෝකයේ සිදුවන සෑම දෙයක්ම ඉතිහාසයේ යම් දිනක කොතනක හෝ සිදු වී ඇත. හිට්ලර්, මුසලෝනි, ඉඩි අමීන්, කිම් ජොන්ග් ඉල් යන මේ සියල්ලන්ගේම දේශපාලන ප්‍රතිවාදීන් මර්දනයට මුල් කාලයේ ඒ ඒ රටවල බහුතරය අත්පොළසන් දුන්හ. ඉතිහාසය දන්නා අය අද ලංකාවේ සිදුවෙමින් පවතින ක්‍රියාවලියේ මතු අනතුර දකින්නේ ඒ නිසාය. නීතිය ජනතාවට එරෙහි අවියක් ලෙස පාලකයන් යොදාගන්නට පටන් ගත්විට නීතියේ ස්වාධීනත්වය අවසන් වේ.

පසුගිය ආණ්ඩුව කාලේත් උද්ඝෝෂණවලට පහරදුන් අවස්ථා ඇති බව මෙය කියවන සමහරෙක් තර්ක කරනු ඇත. එවැනි අවස්ථා සාධාරණීකරණය කිරීමට අපද සූදානම් නැත. ඕනෑම ආණ්ඩුවක් හැමවිටම තම ක්‍රියාවන් සාධාරණීකරණය සිදු කරනු ලබන්නේ උද්ඝෝෂකයන් යම් නීති විරෝධී ක්‍රියාවක් කළ බව කියමිනි. කවුරු කළත් සාමකාමී උද්ඝෝෂණයක් මර්දනයෙන් වැළැක්වීමට කපටි සැලසුම් කිරීමට කුමන ආණ්ඩුවකටවත් අයිතියක් නැත.

කෙසේ වෙතත් අප අමතක නොකළ යුතු සත්‍යයක් නම් අද මෙන් පසුගිය ආණ්ඩුව කාලේ ඡන්ද අයිතිය මිනිසුන්ගෙන් සූරාගෙන නොතිබුණු බවයි. සෑම වසරකම කුමක් හෝ ඡන්දයක් පැවැත්වුණු නිසා ආණ්ඩුවට විරුද්ධව නැඟෙන මහජන මතය ප්‍රකාශ කිරීමට අවස්ථා ඕනෑ තරම් තිබිණි. ප්‍රජාතත්ත්‍ර විරෝධී යැයි විපක්ෂයෙන් මහ හඬක් නැඟුණ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට වුවත් මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපති තනතුර ආරක්ෂා කළ නොහැකි වූයේ ඒ නිසාය. මහින්දව ප්‍රජාතන්ත්‍රවාදීව එක ලේ බිඳුවක් නොසලා ගෙදර යැවීමට මහජනතාවට අවස්ථාව ලැබුණේ ඡන්ද නියමිත දිනයටත් පෙර පැවැත්වුණු බැවිනි. එහෙත් අද තත්ත්වය කෙතරම් වෙනස්ද? ආණ්ඩුව දිගින් දිගටම ඡන්ද කල් දමමින් සිටී. 2015 ජුනි මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද අද වනතුරුත් නැත. ජනමත විචාරණයකින් තොරව සම්මත කළ නොහැකි යැයි කී ශේ‍ර්ෂ්ඨාධිකරණයට පවා නිගරු කරමින් හොර පාරකින් පනතක් සම්මත කරගෙන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් සභා 3කට නියෝජිතයන් තේරීමේ ඡන්දයද ආණ්ඩුව විසින් කල් දමා ඇත. මෙවැනි වාතාවරණයක් තුළ අද මහජන මතය කීමට ඇති එකම අවස්ථාව මහජන විරෝධතායි. ඒවාටත් පිළිතුරු ලෙස ලැබෙන්නේ කඳුළු ගෑස් හා පොලු පහරවල් හා හිරගෙදරය. පසුගිය සතියේ සිට විරෝධතාකරුවන්ට පොලිසියෙන් යකඩ පොලු පහරවල්ද ලැබේ.

1970 බලයට පත් වූ සිරිමාවෝ බණ්ඩාරනායක නායකත්වය දැරූ සමඟි පෙරමුණ ආණ්ඩුවද 1977 බලයට පත් වූ ජේ.ආර්. ජයවර්ධන නායකත්වය දැරූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවද මහජන පරමාධිපත්‍යය නොසලකා ඡන්ද කල් දැමූහ. එම ආණ්ඩු දෙකම නොසිතූ ලෙස මහජන අප්‍රසාදයට ලක්වීමට එම ක්‍රියාවන් හේතු විය. ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගන්නා බවක් පෙනෙන වත්මන් ආණ්ඩුවද දැන් අනුගමනය කරන්නේ ඉහත කී ආණ්ඩු විසින් අනුගමනය කළ ක්‍රමවේදයමය.

එනම්, ඡන්ද කල් දමමින් මහජන මතය උරගා බැලීමේ අවස්ථාව විපක්ෂයට අහිමි කිරීමය. මෙය සාර්ථක උපක්‍රමයක් නොවේ. එය අසාර්ථක උපක්‍රමයකි. ඒ වැල්ලේ හිස සඟවාගෙන තමුන්ගේ මුළු ශරීරයම සතුරන්ට පෙනෙන බව නොදැන සිටින පැස්බරාත් ඡන්ද නොපවත්වා ජනතාව අප සමඟයි කිය සිතන ආණ්ඩුවත් අතර වෙනසක් නැති බැවිනි.
අද ආණ්ඩුව විශාල මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටී. රටේ අනාගතය පාවාදෙමින් බටහිර ජාතීන් විසින් සකස් කරන ලද ජිනීවා යෝජනාවලට සම අනුග්‍රාහකත්වය දක්වන විට ආණ්ඩුව අපේක්ෂා කරන්නට ඇත්තේ මේ හැසිරීම අගය කිරීමක් ලෙස බටහිරින් විශාල වශයෙන් ආයෝජන හා ආධාර ගලා එනු ඇතැයි කියාය. එසේම දෙමළ ඩයස්පෝරාව විශාල වශයෙන් උතුර නැඟෙනහිර මූලිකව රටේ අනෙකුත් ප්‍රදේශවලද ආයෝජනය කරනු ඇතැයි බලාපොරොත්තුවක් තිබුණා විය හැකිය.

බලයට ආ විගස එතෙක් කෙරෙමින් තිබූ චීන ව්‍යාපෘති නවතා දමමින් විශාල වරදක් ආණ්ඩුව කර ගත්තේ එබැවිනි. ආණ්ඩුව බලාපොරොත්තු වූ මේ කිසිදු ආයෝජනයක් ලංකාවට නොපැමිණි අතර 2015 සිදු වූ මහ බැඳුම්කර මංකොල්ලය නිසා සිදුවූ විශ්වාසය බිඳවැටීම පදනම් කරගෙන ඩොලර් බිලියන 2ක හෙවත් රුපියල් කෝටි 30,000ක පමණ ආයෝජන මූල්‍ය වෙළෙඳපොළෙන් ඉවත්කර ගන්නා ලදී.

ඩොලරයට සාපේක්ෂව රුපියල කඩා වැටීම ආරම්භ වීමට මෙයද හේතුවක් විය. ආර්ථිකයක් ගොඩගැනීමේ මූලික අවශ්‍යතාවක් වනුයේ භාණ්ඩ හා සේවා අපනයනය වර්ධනය කොට රටට වැඩි විදේශ ආදායමක් ලබා ගැනීමයි. නමුත් 2014 ඇමෙරිකානු ඩොලර් බිලියන 11.1ක් වූ අපනයන ආදායම 2016 වනවිට ඇමෙරිකානු ඩොලර් 10.3ට පහත වැටී තිබිණි.

මෙය විශේෂයෙන්ම බලපා තිබුණේ කෘෂිකාර්මික අපනයනයන්ටයි. උදාහරණයක් වශයෙන්;
තේ අපනයන ආදායම 2014දී ඇමෙරිකානු ඩොලර් මිලියන 2, 794ක් වූ අතර 2016 එය ඇමෙරිකානු ඩොලර් මිලියන 2,326ට අඩු වී තිබිණි.
රබර් අපනයන ආදායම 2014දී ඇමෙරිකානු ඩොලර් මිලියන 45ක් වූ අතර 2016 එය ඇමෙරිකානු ඩොලර් මිලියන 33ට අඩු වී තිබිණි.
මත්ස්‍ය අපනයන ආදායම 2014දී ඇමෙරිකානු ඩොලර් මිලියන 253ක් වූ අතර 2016 එය ඇමෙරිකානු ඩොලර් මිලියන 170ට අඩු වී තිබිණි.
කාර්මික භාණ්ඩ අපනයන ආදායම 2014දී ඇමෙරිකානු ඩොලර් මිලියන 8262ක් වූ අතර 2016 එය ඇමෙරිකානු ඩොලර් මිලියන 7940ට අඩු වී තිබිණි.
ලංකාවේ ප්‍රධානතම අපනයන කර්මාන්තය වන ඇඟලුම්වල පවා ආදායම 2014දී ඇමෙරිකානු ඩොලර් මිලියන 4930ක් වූ අතර 2016 එය ඇමෙරිකානු ඩොලර් මිලියන 4884ට අඩු වී තිබිණි.

මුල් වසර දෙක තුළ රජය රටේ බදු ප්‍රතිශතයන් විශාල වශයෙන් වැඩි කරනු දක්නට ලැබිණි. 2014ට සාපේක්ෂව 2016 වසරේ රටේ ජනතාවගේ සමස්ත බදු බර 40%කින් ඉහළ ගොස් තිබිණි.

ඕනෑම ආණ්ඩුවකට ආර්ථික සැලැස්මක් තිබිය යුතුය. ජේ.ආර්. ජයවර්ධනට, ප්‍රේමදාසට, මහින්ද රාජපක්ෂට ආර්ථික ප්‍රතිපත්තීන් තිබිණි. චන්ද්‍රිකාගේ කාලයේ ආර්ථික වර්ධන වේගය ඍණ වූයේ ඇයට සැලැස්මක් නොතිබුණු බැවිනි. වත්මන් රජයේ තත්ත්වය ඊටත් වඩා බරපතළය. බලය ගත් දා සිට ඔවුන් හැසිරෙන්නේ සෙල්ලම් පිටියකට ගිය වගකීමක් නැති දරුවන් පිරිසක් ලෙසය. මාස කිහිපයකට වරක් රටේ නායකයෝ රට හදන අලුත් සැලැස්මක් ගැන පුරාජේරු කියති. ඊට මාස කිහිපයකට පෙර රටට කී අනෙක් සැලසුම් ගැන කතා නොකරති.

මාස කිහිපයකට වරක් අලුත් ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන මෙවැනි විහිළු ආණ්ඩුවක් ලොවෙත් නැත.
2014 දෙසැම්බර් 19 - මෛත්‍රි පාලනයක් - ස්ථාවර රටක්
2014 දෙසැම්බර් 19 - දින 100 වැඩපිළිවෙළ
2015 ජූලි 23 - මාස 60කින් අලුත් රටක් - පංච විධ
ක්‍රියාවලිය
2015 නොවැම්බර් 05 - රට හදන ආර්ථික වැඩපිළිවෙළ
2016 ජනවාරි 29 - මෙගාපොලිස් සංවර්ධන වැඩසටහන
2016 ඔක්තෝබර් 27 - රජයේ ආර්ථික සැලසුම් ප්‍රකාශනය
2017 ජනවාරි 04 - තිරසර යුගයක් සඳහා නව ආර්ථික
සැලැස්ම
2017 අගෝස්තු 22 - තුන් අවුරුදු සංවර්ධන නව ආර්ථික
සැලැස්ම
2017 සැප්තැම්බර් 04 - 2025 පොහොසත් රටක්. 8 අවුරුදු
සැලැස්ම
මෙවැනි ව්‍යාකූල ආර්ථික කළමනාකරණයක් යටතේ රටේ ආර්ථිකය කඩා වැටීම පුදුමයක්ද?
ලංකාවේ ආර්ථිකයෙන් 50%කට වැඩි ප්‍රමාණයක් ර¼දා පවතින්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මතය. රටේ රැකියාවලින් බහුතරයක් උත්පාදනය කරන්නේද ඔවුන්ය. මොවුන් නඟාසිටුවීමට සැලැස්මක් නොමැතිව දිගින් දිගටම බදු වැඩි කිරීමෙන් සිදුවන්නේ ව්‍යාපාරිකයන් අධෛර්වත් වීමයි. එක පැත්තකින් බදු බර වැඩිවෙද්දී අනෙක් පැත්තෙන් ඔවුන්ට ණය ලබාගැනීමේදී ගෙවන්නට වන පොලිය ඉහළ ගොස් ඇත.

2015 දී සිදු වූ මහ බැංකු මංකොල්ලයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස බැංකු හා මූල්‍ය ආයතනවල පොලී අනුපාතයන් ඉහළ ගිය අතර ඒ වනවිට රටේ ආර්ථිකය තුළ පැවැති රුපියල් කෝටි 720,000ක් පමණ වූ විවිධ ණයවල පොලී අනුපාතයන් ඉහළ යෑම නිසා ව්‍යාපාරවලට හා පෞද්ගලිකව ණය ලබාගෙන සිටි අයට වූ සමස්ත පාඩුව රුපියල් කෝටි 50,000 ඉක්ම වීය. කිහිපදෙනකු පොහොසත් කළ මේ මහා හොරකම සමස්ත ආර්ථිකයක අගතියට බලපෑවේ ඒ ආකාරයටය.
මහ බැංකු වාර්තා අනුවම 2017 ජුනි මාසය වනවිට ලංකාවේ රාජ්‍ය ණය බර රුපියල් බිලියන 10,160ක් දක්වා ඉහළ ගොස් තිබිණි. 2014දී රුපියල් බිලියන 7,390 වූ රාජ්‍ය ණය බරට වසර දෙක හමාරක් තුළ රුපියල් බිලියන 2,770ක්ම එක්කොට තිබෙන්නේ වර්තමාන ආණ්ඩුවයි. අද රාජ්‍ය ණය බර දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 80% ඉක්මවා ඇත. 2014දී එය 70.3%ක් පමණක් විය.

මේ අනුව පසුගිය ජුනි මාසය වනවිට සෑම පුරවැසියකුම ලෝකයට රුපියල් හාර ලක්ෂ හතළිස් දෙදහසක් (4,62,000ක්) ණය වී තිබිණි. ඉන් රුපියල් එක් ලක්ෂ විසි හයදහසක්ම (1,26,000ක්) එක්කර තිබුණේ පසුගිය වසර දෙක තුළ වත්මන් ආණ්ඩුව විසිනි. මේ අනුව අද රට මුහුණු පා සිටින්නේ ඉතා භයානක තත්ත්වයකටය. මෙයට හේතුව දිගින් දිගටම ණය ගන්නවා විනා මෙම උගුලින් ගැලවීමට රජයට සැලැස්මක් නැති වීමයි. මේ වනවිටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 2018 විසර්ජන පනත අනුව 2014 රුපියල් බිලියන 590ක් වූ අයවැය පරතරය 2018දී එමෙන් තුන් ගුණයක් දක්වා ඉහළ යනු ඇත. ආර්ථික සංවර්ධන වේගය විශාල වශයෙන් අඩාල වී ඇති තත්ත්වයක් තුළ මෙවැනි විශාල අය වැය පරතරයක් ආණ්ඩුව පියවා ගන්නේ කෙසේද? ආණ්ඩුවට ඉතුරු වන්නේ විසඳුම් 3ක් පමණි. පළමු වැන්න ජනතාවගෙන් තව තවත් බදු අය කිරීමයි. දෙවැන්න ඉතුරු වී ඇති රාජ්‍ය සම්පත්ද විකිණීමයි. අවසාන වශයෙන් ආණ්ඩුවට කරන්නට සිදුවන්නේ පසුගිය වසර 3 ගත්තාටත් වඩා විශාල වශයෙන් ණය ලබා ගැනීමයි.
මේ සියලු විසඳුම්වලින් අවසානයේ පීඩනයට පත්වන්නේ අහිංසක මහජනතාවයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්