පරාජිත හැඟීමෙන් මිදී පිබිදුණු මිනිසකු වන්නේ කොහොමද?

  👤  2374 readers have read this article !
2017-10-22

ලොවේ වෙසෙන කිසිවකුත් දකින්නට අසන්නට හෝ මුහුණ දෙන්නට අකැමැති සමහර දේ තිබේ. "පරාජය" ඉන් එකකි. "පරාජය ජයග්‍රහණයට මාවත" යැයි හෝ "පරාජය කදිම ගුරුවරයකු" යි ආදී වශයෙන් කියමන් තිබුණේ වුව කිසිවකුත් ඒ ගුරුවරයාට කැමැති බව සිතන්නට නුපුළුවන. පසුගිය සතියේ පහ ශේ‍ර්ණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් විය. එකසිය හැට ගණනක වූ කඩඉම සමහරකු පැන යද්දී එයට එක් ලකුණක් මෙහායින් දරුවාගේ පටන් පහළට වූ බොහෝ සංඛ්‍යාවක සිසුන් අත්වින්දේ පරාජිත බවය. ඔවුන්ගෙන් බහුතරයක මවුපියන් හා ආදරණීයයන් අත්වින්දේ ද පරාජිත හැඟීම්ය.

ජීවිතයේ කවර හෝ මොහොතක ඕනෑම කෙනකු කරා එළඹිය හැකි "පරාජය" විඳ දරාගන්නේ කෙසේදැයි සාකච්ඡා කෙරෙන්නේ ඉතා අඩුවෙනි.
පරාජය වූ කලී වේදනාකාරී, පීඩාකාරී අත්දැකීමකි. වේදනාකාරී හැඟීම් ඇති කරන්නකි. මානසික පීඩනය, කාංසාව හෝ අසහනය ජනිත කරන්නකි. මේ අපහසුවට මිනිස් සිරුර තුළ ක්‍රියාත්මක වන්නේ මනස හා සිරුර මුල් කරගත් (ර්ඪදඤ/ඡධඤර ජධදදඥජබඪධද) ක්‍රියාවලියක් වශයෙනි. මෙහිදී මුලින්ම සිදුවන්නේ මානසික කැලඹිල්ලකි.
ඉනික්බිති සෘජුවම පාහේ චිත්තවේගී සෞඛ්‍ය (ඥථධබඪධදචත ඩඥචතබඩ) කෙරේ බලපාන්නට පටන්ගනී. දිගින් දිගටම එවන් පීඩාකාරී තත්ත්වයක් අත් විඳින්නට සිදුවූ කල ඊළඟට සිදුවන්නේ එය ප්‍රතිශක්තිකරණ පද්ධතිය කෙරේ අයහපත් ලෙස බලපෑමයි. මේ තත්ත්වය මතුපිටට පෙන්වන්නේ ශරීරය අත්විඳින විවිධාකාරයේ අපහසුතා ඔස්සේය. කොන්දේ කැක්කුම්, ආහාර අරුචි, උදරාබාධ, හිසරදය, රුධිර පීඩන තත්ත්ව හා අන්ද්‍රාව ආදී එකී මෙකී නොකී අපහසුතා රැසක් එහි ප්‍රතිඵල ලෙස දායාද වෙයි.
මේ සියල්ලටත් වඩා අප වටහා ගත යුත්තේ දීර්ඝකාලීන පරාජිත හැඟුම් පුද්ගල සංවර්ධනය කෙරේ අයහපත් ලෙස බලපාන්නා වූ බවයි.

මේ ගැන කතා කරද්දී අපගේ සිහියට නැඟෙන මුල්ම කාරණය නම් අඩක් පිරුණු වීදුරුවේ කතන්දරයයි. එනම් තමාගේ වීදුරුව අඩක් හිස්ව ඇති බවට මැසිවිලි නඟන සමහරෙක් ඉතිරි අඩ සම්පූර්ණ නොවේදැයි කල්පනා නොකරති. කිසි විටෙකත් අප නොකළ යුත්තේ සියල්ල අහිමිව ගිය බවක් කල්පනා කිරීමය. සංසන්දනය යනු ඒ හැටි වාසිදායක කාරියක් ලෙස අප කල්පනා නොකරතත් පරාජිත හැඟීම් කළමනාකරණය කිරීමෙහි ලා උපයෝගී කරගත හැකි එක් ක්‍රමයක් ලෙස සැලකෙන්නේ සංසන්දනයයි. අනෙක් අතට එය ඔහු හෝ ඇය පමණක් මුල්වරට අත්විඳි තත්ත්වයක් නොවන බව තේරුම් ගැනීමයි. අප විසින් සිදු නොකරනු ලබන දෙය එයයි. අනෙක් අතට පරාජය තුළින් ඉදිරියට යන්නට කාරණා තමන් සතුව ඇත්දැයි අප කල්පනා කළ යුතුයි.

පරාජිත හැඟුමක් ඇති වූ කල අප මුලින්ම කළ යුත්තේ එකී හැඟීම් අපට දැනෙන ආකාරය නිරීක්ෂණය කිරීමයි. ඉනික්බිතිව සොයා බලන්නට අවශ්‍ය වන්නේ එයට ඔබ ප්‍රතිචාර දක්වමින් සිටින්නේ ප්‍රතිචාර දක්වන්නට සූදානම් වන්නේ කවර ආකාරයෙන් ද යන්නයි. සමහර විට කෝප ගන්නට පළිගන්නට හෝ සියල්ල අතහැර වනගත වන්නට හෝ තීරණය කළා විය හැකිය. එහෙත් අපි අපෙන්ම ඇසිය යුතු ඊළඟ ප්‍රශ්නය නම් එසේ සිදු කිරීමෙන් පරාජය පිරිමැසෙන්නේද, එය ජයක් බවට හැරෙන්නේද යන්නයි. එහෙත් එයින් ලබන ජයක් තෘප්තියක් නැතිවග ඔබට තේරුම් යන්නේ නම් ඔබ පරාජය කළමනාකරණය කරගැනීමේ පළමු පියවර සාර්ථකව තැබූවෙක් වෙයි. මේ කටයුත්ත සඳහා දෙආකාරයක උදවු අපට ලබා ගන්න පුළුවන. පළමුවැන්න නම් තමා ජය ලැබුවේ නම් කරන්නට සිටි දෙයත් පරාජය ලද බැවින් කරන්නට සිදුව ඇති දෙයත් වෙනස් තරාදියක ලා මැන බැලීමය. බාගවිට එහි ඒ හැටි වෙනසක් දකින්නට නොලැබෙන්නට ද ඉඩ තිබේ.

ඊළඟට සිදු කළ හැකි හොඳම දෙය නම් සිතට පීඩා දෙන සිතිවිලි ලියා තැබීමයි. එහෙත් පෙරදිග ලෝකය ඒ කාරිය ගැන ඒ හැටි විශ්වාසයක් තබන බවක් නොපෙනෙයි. ඒ වෙනුවට සිදුකළ හැකි වන්නේ විශ්වාසවන්ත මිතුරකු හෝ පවුලේ සාමාජිකයන් සමඟ මෙකී හැඟීම් බෙදා ගැනීමය. එය නම් ටක්කෙටම හරියන බෙහෙතක් බව අපි අත්දැකීමෙන් දක්නෙමු. බාගවිට අප ළඟ නැති පිළිතුර ඔවුන් සතුව තිබෙන්නට පුළුවන.

පරාජයකදී නොකළ යුතුම දෙයක් වන්නේ ස්වයං දෝෂාරෝපණයයි. අනෙක් වචනයකින් කිවහොත් තමා විසින්ම හෑල්ලුවට ලක්වනු ලැබීමයි. එහිදීය අප ලෝකය දෙස ඇස්හැර බලන්නට අවශ්‍ය වන්නේ. බාගවිට අපගේම ඉතිහාසය දෙස ඇස් හැර බැලූ විට අප එයට වඩා දරුණු පරාජ ලද අවස්ථා තිබෙන්නට පුළුවන. එහෙත් අප ඒවාට හැකි අයුරින් මුහුණදී තිබේ. ස්වයං ප්‍රතිරූපයට හානි කර ගැනීමෙන් සිදුවන යහපතක් නොමැති බව හඳුනාගන්නට එය හොඳටම ප්‍රමාණවත්ය.
ඊළඟ කාරණාව නම් පරාජය භාර ගැනීමය. "ඔව්, මට එය වැරදුණා" යැයි කීම පරාජිත හැඟීම් සමනය කර නව ආරම්භයක් ලබාගන්නට ඇති හොඳම ක්‍රමයකි.
පාලිත ජයකොඩි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon