ඇමතිතුමා බාරය ඔප්පු කළත් කාලිමෑණියන් බාර ගත්තේ නෑ

  👤  2664 readers have read this article !
2017-10-22

දෙනෝ දාහක් බැතිමතුන් කාලි මෑණියන්ගේ පිහිට පතාගෙන කෝවිලට එන්නේ තමන්ට වූ අසාධාරණයක්, සතුරු කරදරයක්, විපත්තියක් පිළිබඳව පැමිණිලි කිරීමටය. නියමිත පූජෝපහාර දී තම දුක් ගැනවිල්ල ගැන කන්නලව් කිරීමෙන් පසු ඔවුන්ගේ අභිප්‍රාය ඉටු වූ පසු දෙවියන්ට වූ බාරහාර පොරොන්දු ඉෂ්ට කරන්නේ නැත. අමතක වීමෙන් හෝ දැන දැනම ඔවුන් අතින් ඒ පොරොන්දු ඉටු නොකෙරේ. තම අභිප්‍රාය ඉටු වූ පසු ඔවුන්ට දෙවියන්ද අමතකය. කාලි මෑණියන්ට වූ බාරහාර ඔප්පු නොකිරීමෙන් ලැබෙන්නේ අනිටු ප්‍රතිඵලය. එසේ බාරහාර ඔප්පු නොකරන අය වෙනත් කරදරවලට මුහුණ පාන බව බැතිමතුන්ගේ විශ්වාසයකි.

ඒ වගේම තමන් අත වැරැදි තිබියදී අනෙක් අයට වින කටින්නට මෑණියන් ඉදිරියේ කන්නලව් කරන අයට ද කිසිසේත්ම සමාවක් ලැබෙන්නේ නැත. එවැනි අයටද නොසිතූ විරූ කරදරවලට මුහුණ පාන්නට සිදුවූ අවස්ථා බොහෝ බව හලාවත, මුන්නේශ්වරම, අයියනායක දේවාල පාරේ පිහිටි ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිලේ ප්‍රධාන පූජක මහේන්ද්‍රසාමි පවසයි. මෙවැනි සිද්ධීන් රැසක අත්දැකීම් මහේන්ද්‍රසාමි සතුව ඇත.

කාලි මෑණියන්ට බැතියෙන් කොතරම් පුද පූජා ඉටු කළද කෙනකුගේ දෛවය හෝ කර්මය වෙනස් කළ නොහැකි බව පූජකවරු පවසති. කාලි මෑණියන්ගේ හාස්කම් පිළිබ¼දව ලියැවුණු ග්‍රන්ථවල එවැනි සිද්ධීන් කිහිපයක් සඳහන්ව ඇත.
ඉන් එක් සිද්ධියක් මෙසේය.

පාලන බලයේ සිටි එක්තරා පක්‍ෂයක ඇමැතිවරයකුට පක්‍ෂයේ අයගෙන්ම විවිධ බාධක හා විරුද්ධවාදිකම් ඇති විය. මේ විරුද්ධවාදිකම් එන්න එන්නම වැඩිවන විට ඒවා ඉවසා ගෙන ඉන්න ඔහු අපොහොසත් විය. තම හිත මිතුරන්ගේ උපදෙස් මත ප්‍රසිද්ධ දෛවඥයකු මුණ ගැසීමට මේ ඇමැතිවරයා තීරණය කළේය. ඔහුගේ හඳහන බැලූ දෛවඥයා පැවැසුවේ මහා භද්‍රකාලි කෝවිලට ගොස් තම කන්නලව්ව ඉදිරිපත් කර සියල්ල යහපත් අන්දමින් ඉටුවුවහොත් කෝවිලට මී ගවයන් දෙදෙනකු පූජා කර බාරය ඔප්පු කරන බවට පොරොන්දු වන ලෙසටය.
ඇමැතිවරයා මහ භද්‍රකාලි කෝවිලට පැමිණ පූජෝපහාර දක්වා කාලි මෑණියන්ට තම කන්නලව්ව ඉදිරිපත් කර තම කාරණය යහපත් ලෙස ඉටුවුවහොත් මී ගවයන් දෙදෙනකු කෝවිලට පූජා කරන බවට පොරොන්දු විය.

මෙසේ බාර වී සති දෙකක් පමණ ගත වන විට ඔහුගේ කරදර ටිකෙන් ටික අඩුවන්නට විය. මින් සතුටට පත් ඇමැතිවරයා මෑණියන් ඉදිරියේ පොරොන්දු වූ පරිදි මී ගවයන් දෙදෙනකු ලොරියක පටවා ගෙන විත් කාරණාව ප්‍රධාන පූජකවරයාට විස්තර කළේය. ඒ අනුව පූජාව භාර ගැනීමට කටයුතු සූදානම් කෙරිණි.
ඇමැතිවරයාගේ මිනිසුන් මී ගවයන් දෙදෙනා ලොරියෙන් බා ගැනීමට යද්දී උන් පසු වුණේ දැඩි නොසන්සුන්තාවකිනි. කෙසේ හෝ මහත් උත්සාහයක් දරා එම සතුන් ලොරියෙන් බා ගත්තද උන් කුලප්පු වී දේවාල භූමිය පුරා දුවන්නට වූයේ එහි සිටි බැතිමතුන් ද කලබලයට පත් කරමිනි.

අවසානයේ දේවාලයේ සේවය කරන කිහිපදෙනකුද එක්වී ඉතා අමාරුවෙන්ම මී ගවයන් දෙදෙනා මෙල්ල කරගෙන පූජාවට සූදානම් කෙරිණි. පූජාව ආරම්භ කිරීම සඳහා මල් මාලය දමන විට නැවතත් කලබල වූ උන් පූජකවරයාගේ කකුලකුත් පාගා ගෙන දුවන්නට වූයෙන් එතැන හරි කලබලයක් සිදුවිය. මෑණියන් මේ පූජාවෙන් සතුටු නොවන බව කෝවිලේ පූජකවරුන්ට ඒ අවස්ථාවේ වැටහිණි. මෙය අසුබ ලකුණක් බව ඔවුන්ට අවබෝධ විය.

මේ සිද්ධියෙන් පසු සතියක් ගත නොවිණි. ඒ ඇමැතිවරයා කොටි බෝම්බයකට හසුවී මිය ගියේය.
මේ සිද්ධියෙන් පැහැදිලිවම පෙන්නුම් කරනුයේ කෙනකුගේ දෛවය හෝ කර්මය මෑණියන් වෙනුවෙන් පූජා සිදු කළද වෙනස් කළ නොහැකි බවය.
නන්දන තෙන්නකෝන්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon