ගැමුණු කුමරු ආරක්ෂක අත්අඩංගුවට ගත් පසු කාවන්තිස්ස රජුගේ හදගැස්ම

  👤  2446 readers have read this article !
2017-10-22

දුටුගැමුණු ආරක්ෂක අත්අඩංගුවට පත් කිරීමට දුන් නියෝගය පිළිබඳව කාවන්තිස්ස රජු කරුණු පැහැදිලි කිරීම
මම අතිශය වේදනාකාරී තීරණයක් ගතිමි. ඉතා නිර්භීත ජාති මාමක පුතකු පිළිබඳ එවන් තීරණයක් ගැනීම පියකු හැටියට මට ඉතා වේදනාකාරී බව සැබැවි. ගැමුණු අත්අඩංගුවට ගෙන රන් මාංචු පැලඳවීම සඳහා භට පිරිසක් පිටත් කර යැවීමි.
ඔහුට මේ කරුණු තේරුම් යන තෙක් අත්අඩංගුවේ තබමි.

ගැමුණු කුමරුගේ ජීවිතය පිළිබඳ මට ඇත්තේ මහත් බියෙකි. භද්‍ර යෞවනයේ පසුවන එඩිතර පුතකු යුද්ධය සඳහා පිටත් කරනුයේ කවර නම් පියෙක්ද?
සොළී ආධිපත්‍යය අනුරාධපුරයෙන් පලවා හැර රට එක් සේසත් කිරීමේ යුද්ධ අභිලාෂය කල් දමන මෙන් කුමරුගෙන් මම වරින් වර ඉල්ලීමි. ඔහු එයට සවන් දුන්නත් එය ක්‍රියාත්මක කළේ නැත.

අවසානයේදී ඔහු 'මා කාන්තාවක යැයි' උපහාසයෙන් කියා අපහාසයට පත් කරමින් කාන්තා ඇඳුම් ආයිත්තම් එවූයේ ඒවා හැඳ පැලඳගන්න ලෙස ඉල්ලමිනි.'
ගැමුණු කුමරු කළ තවත් විස්මයජනක කටයුත්තක් මෙහිදී මට සිහිවේ. සයනාගාරයට දිව ගිය හේ යහනාවේ අත පය හකුළුවා වැදහොත්තේය. කුමරුගේ මවුබිසව විහාරමහා දේවිය අත පය දිග හැර සුවපහසුව සැතැපෙන සේ ඉල්ලා සිටියේය.

'ගඟෙන් එතෙර දමිළයෝය. දකුණින් ගොළු මුහුදය. ඉතින් කෙසේ නම් අත්පා දිග හැර සැතැපෙමි. දැයි කුමරු විමැසීය.
ගැමුණු කුමරු සොළොස් වියට පත්වූ විට ඔහු වඩාත් ප්‍රිය කළ කාර්යයක් කුමරුට පැවැරීමි. එනම් සේනාධිපති වේළුසුමනගේ උපදෙස් පරිදි දක්ෂ නිර්භීත තරුණයන් අගනුවරට ගෙනැවිත් නවාතැන් දී යුද ශිල්පය ප්‍රගුණ කරවීමට කටයුතු කිරීමයි.

මෙහිදී ගැමුණු කුමරුට යුවරජු හැටියට සුවිශේෂි වැඩ කොටසක් පැවැරේ. මා ආශ්‍රම සෑදීමේ ක්‍රියාදාමය ගෙන යද්දී තිස්ස කුමාරයා බතින් බුලතින් රට ස්වයංපෝෂණය කිරීමෙන්ද, ධාන්‍යාගාර හා අටු කොටු පුරවා තැබීමෙන්ද, භාරදුර කාර්යයක් සපුරනු ඇත.

ගැමුණු කුමරු රන් දම්වැලින් බැඳ සිරකර තැබීමෙන් මා අදහස් කළේ විශාල ජීවිත හානියක් වළක්වා මනා සේ තේරුම් ගත් හමුදාවක් සමඟ යුද පිටියට යා යුතු බවයි. විදේශ පාලකයකු යටතේ සිටින අපගේ නෑ හිතවතුන්ට විරුද්ධව වියරු යුද්ධයකට එළැඹීමට අපට නොහැකිය.

මට පෙන්වා දීමට අවශ්‍ය වන්නේ මා මේ තීරණය ගත්තේ කුමරා මට කළ අපහාසයට පළිගැනීමක් වශයෙන් නොවන බවත් පිළිවෙතක පිහිටා කටයුතු කිරීම උතුම් පිළිගැනීමක් බවත්ය. ජාතිය මුදා ගැනීමට මුල් වූ ගැමුණු කුමරු වැනි වීර පුතකු මා හට සිටීම මහත් අභිමානයකි.
විශ්‍රාමික විශේෂඥ වෛද්‍ය ආචාර්ය අමරසිරි පොන්නම්පෙරුම

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon