අත්තාණි කණු හිටවලා නීතිය මේ යැයි පෙන්වලා පොදු දේපළ ගසා කෑ අය එදා මෙල්ල කළ හැටි

  👤  1994 readers have read this article !
2017-10-22

මහජන මුදල් ගසා කන නිවටයන් අප සමාජය තුළ අද පවා නැත්තේ නොවේ. මොවුන් මතු අත්බැව්වල සුනඛයන් හා කවුඩන් වී උපත ලබන බව එදා අපේ පැරැණි සිංහල සමාජය විසින් ජනතාව වෙත සන්නිවේදනය කළේ ජනතාව තුළ ඒ පිළිබඳ බිය උපදවන්නටය.

වත්මන් සමාජ වාතාවරණය අපේ පැරැණි සිංහල සමාජය තුළ එදා පැවැති බවටද එම සන්නිවේදන ස්වරූපය සාක්ෂි දරනු ඇත. තවද පොදු දේපළ සාංඝික දේපළක් හෙයින් ඒවා උපභෝග පරිභෝග කිරීම නිසා බලු කපුටු වන බව එදා පැවැති පොදුජන විශ්වාසය පමණක් නොව එකල පැවැති රාජත්වය විසින් පවා ඒ තත්ත්වය පිළිගෙන තිබිණි.
මේ බැව් අද අපට දක්නට ඇති ටැම් ලිපි ර්ථීඪතතචප ධ්දඵජපඪනබඪධද හෙවත් අත්තාණි කණු නමින් ප්‍රකට ශිලා ලිපි විශේෂය මඟින් සිදු කෙරී ඇති සන්නිවේදනය සැබැවින්ම වාචික සන්නිවේදනය පමණක් නොව රූප සන්නිවේදනයද යොදා ගත් පැරැණි සන්නිවේදන ස්වරූපයන් ලෙසින් හඳුන්වා දිය යුතුව ඇත.

යථෝක්ත අත්තාණි කණු සැබැවින්ම නූතන යුගයේදී නම් රජය මඟින් ප්‍රකාශයට පත් කරනු ලබන පොදු දේපළ පිළිබඳ වූ ගැසට් පත්‍රයට සමාන යැයි කිව යුතුව ඇත.
කිසියම් පැරැණි විහාරස්ථානයකට හෝ ආයතනයකට හෝ දුන් වරප්‍රසාද හා ගම්බිම් හා එයින් ලැබෙන ආදායම් මේ සඳහා විෂය වී ඇත. රාජ සභාවේ නියෝගයක් ලෙසින් රාජසභාවේ නිලධාරීන් එම ස්ථානයට පෙරහරින් පැමිණ එම ලියන ලද ශිලා ටැඹ සිටුවීම සිදු කෙරෙනු ඇත. එම අවස්ථාවේ ඒ ලියන ලද ශිලා ටැඹ (අත්තාණි කණුව) එම ස්ථානයේ පිහිටුවන ලද බවට ජනතාව අතර ප්‍රචාරයක්ද ලබා දී ඇති බවක් දක්නට ලැබේ. කෙසේ වුවද මෙම අත්තාණි ටැම්ලිපි මහජනයාට කියවා දැනගැනීමට ඉතා මැනවින් දර්ශනය වන ස්ථානවල සතර මංසන්ධියක හෝ විහාරස්ථානයක නම් සුවිශේෂ ස්ථානයක, පෙනෙන සේ පිහිටුවීම දැකිය හැකිය. ඊට අමතරව නිශ්ශංකමල්ල රජතුමා විසින් රුහුණු ජනතාව අමතා කරන ලද අවවාද සහිත නිශ්ශංක ගව්ත කණුද මේ සඳහා යොදා ගන්නා ලදී. නිශ්ශංක ගව්ත කණුද අත්තාණි කණු ස්වරූපය ඇත්තේ වෙනත් කරුණක් සඳහාය.
සාමාන්‍යයෙන් අත්තාණි ප්‍රධාන ටැම්ලිපි රැසක්ම රාජසභාවෙන් කළ සම්මුති අනුව ප්‍රකාශයට පත් කර ඇත. 'අත්තාණි' යන පදයේ අදහසද රාජසභාව හෝ රාජසභාවෙන් කළ සම්මුතිය යන අර්ථය ගෙන දෙයි.

එබඳු නියෝග හෝ සම්මුති පොදු ජනතාවට දැන ගැනීම සඳහා ගල්ටැම්වල කොටවා රාජ දූතයන් හා රාජ නිලධාරීන් විසින් ඒ දීමනාව දෙනු ලබන පුදබිමේ හෝ ආයතනයකට අයත් භූමියෙහි පිහිටුවීම සාමාන්‍ය චාරිත්‍රයක් වූයේය. මෙම ඇතැම් අත්තාණි ටැම්ලිපිවල ඒ ඒ රජවරුන්ගේ රාජ පරම්පරාවන් පිළිබඳවද බොහෝවිට විස්තර කර ඇතත් අපගේ මෙම ප්‍රස්තුතය රාජ භෝග හෙවත් සාංඝික දේපළ අයුතු ලෙස භුක්ති විඳින අය බලු - කපුටු වීම පිළිබඳව විමසනු ලැබේ.

සාංඝික දේපළ හෙවත් පොදු දේපළ අයුතු ලෙස භුක්ති විඳීම නිසා එසේ කළ පුද්ගලයන් සමාජයේ ගර්හාවට ලක් කිරීම පමණක් නොව එයින් ජනතාව මුදා ගැනීම මෙම අත්තාණි කණු පිහිටුවීමේ එක් පරමාර්ථයකි. තවද එම ආයතනවලට ඒ දීමනාව යථා පරිදි නීතිගත කිරීමද යම් රාජ නීතියකින් හෝ ඒවා නැවත තහනම් කිරීමකට පවා ලක් කළ නොහැකි ආකාරයෙන් නීති පැනවීමද එයින් සිදු කර ඇත. අපේ පැරැණි සිංහල සමාජය තුළ එබඳු සාරධර්ම පැවැති බව නුදුටු අද සමාජය තුළ මේ පිළිබඳ තත්ත්වය ඉතා ඛේදනීය වන්නේය.
එකී ටැම්ලිපි හෙවත් අත්තාණි කණුවල ලේඛන පිළිබඳ අධ්‍යයනයේදී අපිට වැටහී ගිය මූලික කරුණක් නම් අද මෙන් එදා මුද්‍රිත හෝ විද්‍යුත් මධ්‍යන් නොතිබුණු ඒ පැරැණි සිංහල සමාජයේ ජනතාව අතරට එම පණිවුඩය ගෙන යෑමේ සන්නිවේදන මෙහෙවර සිදු කිරීමෙහිලා මෙම ටැම් ලිපි සුවිශේෂ කාර්යභාරයක් ඉටු කර ඇති බවයි.
එම අත්තාණි ටැම්ලිපිවල මේ බව මෙසේ සඳහන් කර ඇත.

'මෙ ඇන්නා උලඝ කළ කෙනෙක් ඇත්නම් කවුඩු බලු වෙත්වා'(මොරගොඩ ටැම්ලිපිය)
'මෙ උළග්නා කළ කෙනෙකුන් ඇත කවුටු බලු වනුයි'(නෑ ගම ටැම්ලිපිය)
'උලඝනා කළ කෙනෙක් කවුඩු බලු වාහයි'
(මැදිරිගිරිය ටැම්ලිපිය)
'මෙයට් අවුල් කළ කෙනෙක් කවුඩු බලු වූහයි'
(රඹෑව ටැම්ලිපිය)
'මෙයට් අනියා..... කවුටු.... බලු'
(බිලිබෑව ටැම්ලිපිය)

උලඝ කළ යනුවෙන් සඳහන් වන්නේ එම දීමනාවන් උල්ලංඝනය යන අරුතයි. මෙහිදී ලේඛන ගත කර ඇති මේ කරුණ රූප මාධ්‍යයෙන්ද ප්‍රකාශ කර තිබීම එදා පැවැති සන්නිවේදන ක්‍රමෝපායක් ලෙසින් අප විසින් හඳුනා ගන්නා ලදී. වචනයෙන් ප්‍රකාශ කරන ලද කරුණ රූප මාධ්‍යයෙන් එම සන්නිවේදන කාර්යය තවත් දැඩිව තීව්‍ර වන ලෙසින් ඉටු කිරීමට එදා සිංහල සමාජය විසින් විධි විධාන යොදා තිබීම එම යුගයේ හැටියට කෙබඳු දියුණුවක් එම ක්ෂේත්‍ර තුළ තිබුණේ දැයි කියාපාන සාක්ෂියක් සේ සැලකිය යුතුව ඇත. එපමණක් නොව එම දීමනාවන් ඉරහඳ පවතින තාක් කල් පැවැතිය යුතු බව ප්‍රකාශ කර ඉර හා හඳ රූප සටහනින්ද ඒ බව දක්වා ඇත.

මේ අනුව විමසා බලනවිට මෙවැනි පොදු වස්තූන් හා ජනතාව සතු මිල මුදල් ගසා කන්නන් බලු කපුටු වී උපත ලබන බව ලිඛිතව ඉතා දැඩි ලෙසින් සමාජයට පෙන්නුම් කෙරෙන සන්නිවේදන ක්‍රමයක් පැවැති අපේ සිංහල සමාජ රටාව තුළ පැවැති ඒ සන්නිවේදන ක්‍රමෝපාය තවදුරටත් පර්යේෂණයට ලක් කළ යුතු වන්නේය. අපේ රටේ පැරැණි පුදබිම් හා සම්බන්ධ වූ පුරාවස්තු මංකොල්ල කන හා ඒවා මිල මුදලට හුවමාරු කරන්නන්ට පමණක් නොව දාගැබ් හා පුරාවිද්‍යා ස්ථාන බිම් කිසිම ඉවක් බවක් නැතිව බුල්ඩෝසර් කරන බැකෝ යන්ත්‍රවලින් හාරන දුෂ්ට චේතනාවෙන් ක්‍රියා කරන පාපකාරී පුද්ගලයන්ට මතු අත් බැව්හි පමණක් නොව මේ ආත්මයේදීම අත්වන ඉරණම පිළිබඳව සාක්ෂි මෑත ඉතිහාසයෙන් වුවද අපිට හමු වී ඇත.

අතීතයේ පැවැති අප සමාජයේ සාරධර්ම පෝෂණය කිරීමෙහිලා ඉහත සඳහන් ආත්තාණි කණු පිහිටුවීමෙන් සිදුකරන ලද සේවාව ඉතා ප්‍රබල වූවකි. එදා සමාජය තුළ එවැනි දූෂිත නරයින් වාසය කරන්නට ඇත. ඔවුන් ගර්හාවට ලක් කරන්නටත් දීමනාවන් යථා පරිදි නොකඩවා ඒ ආගමික ආයතනවලට ලබාදීම සඳහාත් මෙවැනි සන්නිවේදන ක්‍රමෝපායන් යොදා ගැනීම එම යුගයේ හැටියට ඉතා විශිෂ්ට වූ කාර්යයක් වන්නේය. අද වැනි විවෘත ආර්ථිකය අනිෂ්ට ඵල විපාක සඳහා යොදා ගෙන ඇති සමයක ජනතාව මුහුණ පා ඇති වටපිටාව පිළිබඳ සලකා බලනවිට මෙම අතීත සන්නිවේදන ක්‍රමය සැබැවින්ම අදටත් වලංගු වන්නේය.

එබැවින් රජවරු නීතිය මේ යැයි, එය කැඩූ කළ ලැබෙන දඬුවම් පෙන්වා ඇත්තේ නිකමට නොවේ. පොදු දේපළවලට අත තිබ්බොත් බලාගෙනයි! කියන්නාක් මෙනි.
විජිත කේ. පතිරණ

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon