මහනුවර යුගයේ සැඟවී තිබුණු උමං කිහිපයක අබිරහස්

  👤  2773 readers have read this article !
2017-10-22

අතීත ලංකාවේ පොළොව යටින් _ ගංගා යටින් - සතුරු බලකොටු ආක්‍රමණය සඳහාත් රහසිගත ගමනාගමන කටයුතු සඳහාත් සතුරු ආපදාවකදී රහසිගතව පලා යෑම සඳහාත් උමං හෑරීමේ කලාවක් පැතිරී තිබිණි. දේශීය ශිල්පීන් මීට පුරුදු වී සිටියද වඩාත් ප්‍රකට වූයේ දකුණු ඉන්දියාවෙන් ලංකාවට පැමිණි 'පල්ලරු' නම් ඉන්දීය ගෝත්‍රය මේ උමං කැණීමේ අති දක්ෂයන් වූ බවයි. බොහෝ සිංහල ජනකතාවල වනයේ ජීවත් වූ 'පල්ලරු' කණ්ඩායම් ගැන කියවෙයි. අපේ ජනකතාවල එන පල්ලරු යනු එදා දකුණු ඉන්දියාවෙන් පැමිණ වනාන්තර ආශ්‍රිතව කණ්ඩායම් ලෙස ජීවත් වූ උමං කැණීමෙහි අති දක්ෂ දකුණු ඉන්දියානු පල්ලරු ගෝත්‍රයයි.

කෝට්ටේ හයවැනි බුවනෙකබාහු (ක්‍රි.ව. 1521 _ 1551) කාලයේ රජුගේ බෑනා වූ වීදියේ බණ්ඩාර පෘතුගීසීන් විසින් සිරගත කරන ලදී. රජුගේ දියණිය සමුද්‍රාපල්ලරුන්ට මුදල් දී පොළොව යටින් උමඟක් කැණ වීදියේ බණ්ඩාර නිදහස් කරගත් බව "රාජාවලියේ" කියයි. සීතාවක පළමු රාජසිංහ රජු (ක්‍රි.ව 1551-1581) කොළඹ පෘතුගීසි බලකොටුව වටකොට මාස ගණනක් එය හාත්පසින් වටකොට ඇළවල් කපා බේරේ වැව හිස්කොට පෘතුගීසීන් හෙම්බත් කර තිබියදී ගෝවෙන් පැමිණි ආධාර නිසා සීතාවක රාජසිංහ රජුට පසුබැසීමට සිදුවිය. එහිදී රාජසිංහ රජු පෘතුගීසි කොටුවට පිවිසීමට රහස් උමං මාර්ග කැණීම් කරන්නට ඇතැයි අනුමාන කළ හැකිය.

සෙංකඩගල ලංකාවේ අගනුවර බවට පත්වන්නේ 1592දීය. ඒ පළමු විමලධර්මසූරිය රජ බලන සටනේදී සීතාවක රාජසිංහ රජු පරදවා දන්තුරේ සටනින් ජය ගැනීමෙන් පසුව පෘතුගීසීන් ළඟ හැදුණු වැදුණු උඩරට රාජ්‍ය නීත්‍යනුකූලව හිමි දෝන කතරිනා හෙවත් කුසුමාසන දේවි කුමරිය අල්ලා බලෙන් විවාහ කර ගැනීමෙනි. ඕලන්ද ජාතික බලදියෙස් නම් පූජකවරයාගේ 'ලංකා ඉතිහාසය' අනුව ඒ වන විට කුසුමාසන දේවි අවුරුදු ‍ෙදාළහක දැරියක වූවාය.

උඩරට රාජධානිය තුළ සතුරු ආපදාවලදී රජුන්ට පලා ගොස් සැඟවීමට දුෂ්කර අෑත ප්‍රදේශවල උප රාජධානි කීපයක් විය.
හේවාහැට නුදුරු නිලඹේ/ මහියංගණයේ අලුත්නුවර/ හුන්නස්ගිරියේ මැදමහනුවර/ හඟුරන්කෙතට නුදුරු ගලඋඩ ඉන් කීපයකි. රොබට් නොක්ස් උඩරට රජුන්ගේ උප රාජධානි පහක් ගැන කියයි. නරේන්ද්‍රසිංහ රජු කුණ්ඩසාලේ අගනුවර අතහැර 1715 හඟුරන්කෙත දියතිලකපුර තම අගනුවර කර ගත්තේය. ඒ සතුරු ආපදාවලින් ආරක්ෂා වීමටයි.
මැද මහනුවරට නුදුරු හුන්නස්ගිරියේ ගලේනුවර මුල්ම ආරක්ෂිත බළකොටුවක් ලෙස සකස් කළේ සෙනරත් රජුය. (ක්‍රි.ව 1604 _ 1634) හුන්නස්ගිරි කන්ද මැද ඉතා දුෂ්කර ලෙස ළඟාවිය යුතු ගලේනුවර රජුන්ට සැඟවී සිටිය හැකි රජමාලිගාවක් විය. මෙම බළකොටු රජමාලිගාවේ රජවාසලක සියලු පහසුකම් සහිතව සකස් විය. මෙම බළකොටුව තවමත් දැකිය හැකිය. හුන්නස්ගිරි කන්ද ඉහළ සිට ගලාහැලෙන ළඟාවීම අතිශය දුෂ්කර දිය ඇල්ලක් පාමුල ගලේනුවරට ඇතුළුවන රහස් ‍ෙදාරටුව විය. රහස් ‍ෙදාරටුවේ සිට ගලේකොටුවේ රජමාලිගාව වෙත ළඟාවිය හැකි රහස් උමඟක් සෙනරත් රජු කරවීය. ඉතා උසක සිට අධික වේගයෙන් පහළට කඩාහැලෙන දියඇල්ල පාමුල තල් අත්තක් ඔසවා ගත් රජු හදිසි ආපදාවකදී මෙම උමඟේ ‍ෙදාරටුව ළඟ රහස් ‍ෙදාරටුවට අත තැබූ විට රහස් ‍ෙදාරටුව විවෘත විය. ඒ රජවරුන්ට පමණක් සීමා වූ රහසක් විය. 1815 ඉංග්‍රීසීන් උඩරට ආක්‍රමණය කරන විට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු තම බිසෝවරුන් හා ඉතාම සීමිත රහස් පිරිවරත් සමඟ ගලේනුවරට යෑමට හුන්නස්ගිරියට ගොස් තල් අත්ත විහිදුවා උමඟේ ‍ෙදාර විවෘත කර ගැනීමට උත්සාහ කළත් රජුට උමඟේ ‍ෙදාරටුව විවෘත වූයේ නැත. සිත තදින්ම කලකිරුණු රජු අසල පිහිටි තම හිතවතකුගේ නිවසේ සැඟවුණේ ඒ නිසාය.
මහනුවර නගර සීමාවේ රහස් උමං

මහනුවර නගරයේ අලංකරණයට කටයුතු රැසක් සිදුකළ ශ්‍රී වික්‍රම රාජසිංහ (ක්‍රි.ව. 1798-1815) රජු දේවේන්ද්‍ර මූලාචාරි ලවා දළදා මැඳුර අසල බෝගම්බර කිරිමුහුද _ ඒ වටා විසිතුරු වැව් බැම්ම _ වැව කෙළවර කුණ්ඩ ශාලාව - වැව මැද ග්‍රීෂ්ම දූපත හා එහි ගොඩනැඟිල්ල කරවීය. කුංකුණාවේ සුමංගල හිමි ලියූ පාලි රාම් සන්දේශයේ බෝගම්බර කිරිමුහුද වැවේ පිපී නටන විසිතුරු ජලජ පුෂ්ප _ ග්‍රීෂම දූපතේ හෙවත් සීතල මාලිගාවේ ඇති ගොඩනැඟිලි කදිම ලෙස වර්ණනා කරයි. රජු වැව මැද පිහිටි මෙම ග්‍රීෂ්ම දූපතට ළඟාවූයේ ඔරුවෙනි. දළදා මැඳුර අසල උල්පැන්ගෙය සිට වැව මැද දූපතට ළඟාවීමට කඹ බැඳ සකස් කළ කඹ පාලමක් එදා තිබී ඇත. මේ පාලමේ පියගැට දෙකක් තවමත් උල්පැන්ගේ දිය යට ඉතිරිව ඇත.

මහනුවර රාජධානිය මුල සිටම රාජධානියේ ආරක්ෂාව සඳහා නගරය වටා උඩවාහලවත්ත හෙවත් උඩවත්තකැලේ රක්ෂිතය පිහිටා තිබිණි. කිසිම අයකුට උඩවත්ත කැලේ ගස්වැල් කැපීම තහනම් විය. ඒ නිසා උඩවත්ත කැලේ තහංචි කැලෑවක් විය. පේරාදෙණිය සිට ගලහ තෙක් විහිදී ගිය හන්තාන කැලේ විශාල භූමි ප්‍රදේශයක එදා පැතිර තිබිණි. ඒ හැර ලේවැල්ල තොටුපලේ සිට රන්ටැඹේ දක්වා පල්ලේකැලේ රක්ෂිතය විහිදී තිබුණි. රට මැද යන එන කුඩා මංමාවත් හැර මුළු මහනුවරම උඩවත්ත කැලේ _ හන්තාන කැලේ හා පල්ලෙකැලේ යන කැලෑවලින් එකට ආවරණය වූ ආරක්ෂිත නගරයක් විය. අදටත් උඩවත්තකැලේ රාජකීයයන් වස්තුව සැඟවූ රාජකීයයන් දිය නෑ වැවක සුළු කොටසක් ඉතිරිව ඇත.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු නිරන්තර ඉංග්‍රීසි ආක්‍රමණ බියකින් ජීවත් විය. ඒ නිසා රජු හදිසි ආපදාවකදී පලා යෑමට උමං මාර්ග දෙකක් මහනුවර කරවා ඇත. පළමු උමං මාර්ගය සෙංකඩගල රජමැඳුරේ සිට කිරිමුහුදට යටින් කිරිමුහුද මැද පිහිටි සීතල මාලිගාව දක්වාය. හදිසි ආපදාවකදී සතුරන් රජමැඳුර වටකළොත් රජුට රජමැඳුරේ සිට කිරිමුහුදට යටින් උමඟ දිගේ කිරිමුහුද මැද පිහිටි හුදෙකලා ආරක්ෂිත මැදුරකට පලා යා හැකිවිය. දැනට අවුරුදු හතළිහකට පමණ පෙර දළදා මැඳුරේ දිය අගලට නුදුරු කෙළවරක අඩි හතක් පමණ උස උමඟක් හදිසියේ මතුවිය. බොහෝ අය මේ උමඟ බැලීමට ගියහ. තරුණවියේ සිටි මාද මේ උමඟ බැලීමට ගිය බව මට මතකය.

දෙවැනි උමං මාර්ගය ශ්‍රී වික්‍රම රජුගේ රජමැඳුරේ සිට පොළොව යටින් උඩවත්ත කැලෑව මැදට විහිදී තිබිණි. සමහර විට ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට පෙර උඩරට රජ කළ රජවරුන්ද මේ රහස් උමං භාවිත කළ බවට සිතිය හැකිය. උඩවත්ත කැලෑව මැදට ආපදාවකදී පලාගිය රජු ඉන්පසු අෑත ප්‍රදේශයකට පලා යෑමට උපක්‍රම හා පහසුකම් තිබී ඇත. කාලය සමඟ ඇති වූ භූමි වෙනස්කම්, නාය යෑම්, පස්කඳු කඩා වැටීම්, භූමි කම්පා, නිසා මේ පැරණි උමං මාර්ග භාවිතයට ගත නොහැකි තරම් විනාශ වී ඇති බව අනුමාන කළ හැකිය.
වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ
එස්.කේ. ජයවර්ධන

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon