හිටිගමන් නොපෙනී යන වැඩ හිටපු තැනුත් පෙන්වන ලොව පුරා සැරිසරන රහතන් වහන්සේලා ගැන කියන කතා

  👤  3455 readers have read this article !
2017-10-22

ජනප්‍රවාද අනුව ලංකාවේ වැඩ විසූ අන්තිම රහත් හිමි දුටුගැමුණු රජු කල (ක්‍රි.පූ. 161-137) වැඩවිසූ මලියදේව හිමිය. කාවන්තිස්ස-දුටුගැමුණු රජුන් කල එතැන ජීවත් විය. මලියදේව හිමි වැඩි කලක් වාසය කළේ පොල්ගහවෙල නුදුරු වට්ටාරම විහාරයේය. කොත්මලේ අසුල්පිටිය හිමි වැඩසිටිය තවත් ස්ථානයකි. මහවැලි ගඟ අසල පිහිටි තිස්පනේ පාලම අද්දර පිහිටා තිබූ ඉපැරැණි යෝධ ඇටඹ ගහ හා බුදුන් සිටි ලෙන නමින් ප්‍රකට ගල්ලෙන මලියදේව හිමි කල් ගෙවූ ස්ථානයකි. කොත්මලේ පුසුල්පිටිය විහාරයද මලියදේව හිමියන්ගේ පා පහස ලද බිමකි. පස්වැනි සියවස මුල ලංකාවට ආ චීන ජාතික පාහියන් හිමිගේ ලංකා විස්තරය අනුව අනුරාධපුරයේදී අපවත් වූ රහත් හිමි නමකගේ ආදාහන උත්සවයක් ගැන පාහියන් හිමියෝ විස්තර කරති. හයවැනි සියවස මැද අත්තනගලු විහාරයේ වැඩවිසූ හිමිනමක් පොළොව ගුරුලුවාගෙන රහත් වූ බව අසා අනුරාධපුර රජු පැමිණ හිමියන් වන්දනා කළ බව පාලි අත්තනගලු වංශය කියයි. ලංකාවේ වැඩවිසූ අන්තිම රහත් හිමිනම මේ අත්තනගලු වෙහෙර වැඩ විසූ හිමිනමය.

ඉන්පසු අද වනතුරු ලංකාවේ වැඩවිසූ රහත් හිමිවරුන් ගැන වංශකතා හෝ සාහිත්‍ය මූලාශ්‍රවල තොරතුරු දක්නට නැත. මීට හේතු කීපයකි.
පරසතුරු ආක්‍රමණ සමඟ රාජධානි වෙනස්වීම. පිටරට හා යාපන රාජධානියෙන් එල්ල විය හැකි ආක්‍රමණ ගැන සංකාව.
බෞද්ධ භික්ෂූන් අතර තිබූ භාවනාමය උනන්දුව අඩු වී යෑම. ඔවුන් ලෞකික පැත්තට නැඹුරු බව වැඩි වීම.
පොළොන්නරු කල මාඝ රජුගේ ආක්‍රමණයෙන් පසු රජරට මුළුමනින්ම විනාශ වී යෑම. රජරට ජනාවාස තුරන් වී යෑම. අතරින් පතර රහත් හෝ සෝවාන් ඵල ලැබූ හිමිවරු සිටියා නම් ඒ කිසිවකු ගැන තොරතුරු සැඟවී ගියේය.

පය තබන තැනින් නෙලුම් මල් පිපී මතු වන හිමිනමක් කුරුණෑගල කල ලංකාවට වැඩමවූ පුවතක් චූලවංශයේ සඳහන් වෙයි. එහෙත් එතුමා රහත් හිමිනමක් බව කියා නැත.
මහනුවර යුගය වන විට බුදු සසුන බෙහෙවින්ම කිලිටි වී උපසම්පදාව පවා තුරන් විය. එහෙත් පොදු පිළිගැනීම අනුව බුදුහිමිගේ ශාසනය අවුරුදු පන්දහසක් පවතින බැවින් ධර්ම විනය පවතින රටක රහත් හිමිවරුන් පහළ වීමට බාධාවක් නැත. අවශ්‍ය වන්නේ ධෛර්යය, උනන්දුව, භාවනාව හා චිත්ත ඒකාග්‍රතාවයි.

බෞද්ධ ඇදහිලි විශ්වාස නොකළ මනමේ නාට්‍යයේ වැද්දා ලෙස රඟපෑ පසුව සත් සමුදුර චිත්‍රපටයේ රඟපෑ එඩ්මන්ඩ් විජේසිංහ 1960 වසරේ වළල මධ්‍ය මහා විද්‍යාලයේ උප ගුරුවරයෙක් ලෙස සේවය කළේය. එදා සල්ගල ගිය ඔහුට එහි අධිපති හිමියන්ගේ මුහුණ හා හිස වටා අද්භූත රැස් වළල්ලක් දැක අතිශයෙන් පැහැදුණු බව ශිෂ්‍යයන් වූ අපට පැහැදිලි කළේ දැඩි භක්තියකිනි.

නාගරික හා ග්‍රාමීය පන්සල්වල ලෞකික ජීවිතවලට බරව සැප සම්පත් මැද සිටින භික්ෂූන්ට වඩා මේ අරමුණු ඉටු කරගත හැක්කේ අෑත පිටිසර හුදෙකලා ආරාමවල වාසය කරන භාවනායෝගී භික්ෂූන්ටයි. එමෙන්ම සියලු සැප සම්පත් අත්හැර දමා මෙහි පැමිණ බුදුදහම වැලඳගෙන උගත්කම් ඇතිව භාවනාවට හිත යොමු කරන බටහිර රටවලින් පැමිණි උගත් භාවනානුයෝගී හිමිවරුද මේ අතර සිටිති.

මෑත කාලයේ බුරුමයේ රහත් බව ලබාගත් හිමිනමක් වැඩවිසූ බව වාර්තා වෙයි. ඉන්දියාවේ හිමාලය හා ටිබෙට් රට ආශි්‍රතව කල් ගෙවන ලාමා හිමිවරුන්ගේ භාවනා බලය අතිශයින් දැඩිය. ඔවුන්ගේ අරමුණු ඉහළය.

ලංකාවේ සල්ගල වනය, ශ්‍රීපාද අඩවිය, පොල්ගස්දූව ආරණ්‍ය හා වෙනත් වනවාසී භාවනා ස්ථානවල දවසේ වැඩි පැය ගණනක් භාවනානුයෝගීව
කල් ගෙවන ආරණ්‍යවාසී භික්ෂූන් ඇත. මෑතදී අපවත් වූ බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය හිමි කිසියම් ඉහළ මාර්ග ඵලයක් ලබා සිටි නමුදු උන්වහන්සේ ඒ හෙළි කළේ නැත. සැබෑවටම රහත් බව ලබන, සෝවාන් බව ලබන අය එය රහසක් ලෙස රැක ගන්නා අතර කිසි විට තමා ලැබූ තත්ත්වය හෙළි නොකරති.

ශ්‍රීපාද අඩවියේ ගල්ගුහා ආශි්‍රතව හිටි ගමන් අහසින් යන එන අතුරුදන් වන හිමිවරුන් ගැන දුටුවන් කියන කතා රැසක් ඇත. ශ්‍රීපාද අඩවියේ අවුරුදු පහක් සේවය කළ මට ඒ තොරතුරු රැසක් වාර්තා විය. වනගත හුදෙකලා ආරණ්‍යවල හෝ පිටරටවලින් පැමිණ චාම් දිවි ගෙවන බටහිර උගත් භික්ෂූන්ගේ භාවනාමය හැකියාවන් අතිශයින් ඉහළය. එවැනි හිමිවරුන් අතර රහත් හිමිවරුන් හා සෝවාන් හිමිවරුන් ඇති බව කීම වැරැදි නැත. එහෙත් ඒ හිමිවරු කිසි විටෙක තමා ඒ තත්ත්වයට පැමිණ ඇති බව ලෝකයට ප්‍රකාශ නොකර රහසේම අපවත් වෙති. ඒ නිසා අද ලෝකය ලංකාව රහත් හා සෝවාන් වූ හිමිවරුන් සිටින රටක් ලෙස සැලකීමේ කිසිම වරදක් නැත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon