‘මෙන්න මිනිස්සු’ බැන්ඩියමුල්ලේ සිඤ්ඤප්පු ජීවිතය ගැන කියන කතාව

  👤  3138 readers have read this article !
2017-10-22

ශි්‍රයානි අජන්තා විතාන

මගේ වයස දැනට අවුරුදු 75කට වැඩි මිස අඩු නැත. හොඳ සනීපයෙන් හා සිහියෙන් සිටිමි. තවම දුර්වලකමක් මට නොදැනේ. කොල්ලා කාලයේ කාරණා පවා මට තවම මතක තිබේ. ඒ කාලයේ පටන්ම අපි උදේට කෑවේ හීල් බත් හෝ උණු බත්ය. උදේ ගෙදර තිබෙන බත් හැළිය බල බලා තේ බීමට කඩවලට යන සිරිතක් මගේ නැත.

කඩෙන් කෑම කනවාට අපේ මවුපියෝ සතුටු නැත. කවුරුත් අරන් දුන්නත් අපි කඩවලින් කෑවේ නැත. කඩෙඅප්පන් කන්න පුරුදු වෙන්න එපා යැයි වැඩිහිටියෝ අපට නිතර අවවාද කළෝය. ඒ වුණත් මගේ ළමයින් ලොකු වෙද්දී සමහර දාට ඒ සිරිත වැරදුණි. ඒ අය කඩෙඅප්පන්ම ඕනෑ කියති. මා තේ වතුර බොන්න පුරුදු වුණේ වයස අවුරුදු 40 තරමේදීය. අහේනියක් වුණාම අනෙක් බොහෝ මිනිසුන් වාගේ තේ වතුර හැළියක් විතර බොන පුරුද්දක් මට නැත. මම හොඳ කුරුම්බා ගෙඩියක වතුර බොනවාය.
සුරුට්ටු පාවිච්චියක් කවදාවත්ම මට තිබුණේ නැත. දැන් වුණත් සුරුට්ටුවක් ලැබුණොත් බාල කොලුවාට ගෙනැවිත් දෙනවා මිස මට ඕනෑ නැත. රක්ෂාවක් වශයෙන් කුලී වැඩ කරන්න යෑමක් නැත. වයස අවුරුදු 12 කාලයේ පටන් මගේ වැඩ ගොවිතැනය. රා ගේන කළේක වතුර බීමේ පුරුද්දක් නොතිබූ මට වැඩපොළකදී අනෙක් උදවිය සමඟ රා බොන පුරුද්දක් ඇති විය. ඒ වරද මා අතින් සිදු වූයේ අවුරුදු 6ක් පමණි. දැන් මා රා බීමක් නැත. ළමයි ලොකු වෙන විට මම ඒ පුරුද්ද අත්හළෙමි.

අද වන තුරුත් නිකන් බලා සිටීමට කඩවලට යෑමේ පුරුද්දක් නැත. හත් අට දෙනා එකතු වී අනුන්ගේ ඕපදූප උස්මිටිකම් කතා කිරීමේ පුරුද්දද නැත. නෙරෙංචි, දාම්අදින තැන්වලට වී නිකන් බලා සිටීමටද මම පුරුදු නොවුණෙමි. කජු මද ගහන්නේ කොහොමද කියාවත් මට නොතේරේ.

මගේ පුරුදු ඇඳුම සරමයි ලේන්සුවය. දාඩිය දමන නිසා බැනියම් අඳින්නට බැරිය. පපුවට හුළං වැදීම සනීපයකි. හෙම්බිරිස්සාව අල්ලන හේතුවක් වගක් නැත. මුළු ජීවිතයටම ලෙඩකට කියා හැදුණේ උණසන්නිපාතය පමණය. කවදාවත් ඉංගී්‍රසි බේතක් ගත්තේ නැත. දැන් රටේ වසංගතයක් වාගේ හැදෙන දියවැඩියාව, ප්‍රමේහය ආදී කිසි ලෙඩක් තවමත් නැත. කෙනෙක් දීලාවත් මම ජීවිතේට ඇඟේ සබන් ගාලා නැත. නමුත් මගේ ඇඟේ අලුහන් හෝ දද කවදාවත්ම තිබුණේ නැත. අලුතක් වන තුරු මගේ දත් හොඳට තිබිණි. ඊයේ පෙරේදා දතක් දෙකක් හැලුණත් කන් ඇසීම ඇස් පෙනීම අඩු නැත.

ඉලන්දාරි කාලේ දවසට වී බෙර දෙක තුනක නියරවල් රහින්ට වී බෙරයක ඉර වැල්ලක් කොටන්ට පුළුවන්කම තිබුණා. දැනුත් ඊට අඩු වුණොත් ස්වල්පයකි. මගේ වැඩිමල් ළමයාට දැන් වයස 40කි. මේ ළමයින්ට මා එක්ක හරි හරියට වැඩ කරන්නට තවමත් බැරිය. හැන්දෑවේ ඇඟපත සෝදාගෙන ගෙදර ඇවිත් අහල පහළ සෑහෙන අය සමඟ ගොවිතැනක් බතක් ගැන ඊට ඔබින කතාබහක් කර කර උන්නාම දවල් වැඩ කරපු අමාරුව මතක නැති වේ. ඒ මිසක ඇඟේ අමාරුවට කියලා ඉර බසින කොටම ඇඳට වැටිලා අපට පුරුද්දක් නැත. රෑ කෑමට පසුවත් ගොවිපොළවල එළවළු කොරටුවල රවුමක් දෙකක් ඇවිද පැමිණ නිදා ගත්තාම නැඟිටින්නේ කුකුළා දෙවැනි සැරේ අඬලනකොටය. කොපමණ නින්ද ගියත් සිඤ්ඤයියේ කියා දෙපාරක් ඇහැරවන්න ඕනෑ නැත. ඊට පසුව ඕනෑකමටවත් නින්ද යන්නේ නැත.

දැන් ළමයි ටිකක් කම්මැළිය. අපේ ළමයින්ටත් ඇහැරවන්නේ මමය. ළමයි දවල්ටත් ටිකක් බුදියන්නට පුරුදුව සිටිති. අපට නම් දවාලට බුදියන පුරුද්දක් තිබුණේම නැත. පාන්දර පාන්දර වයිතාලේ ඇවිදින්ට ගියාම පිනිබෑවාට තෙමුණට හෙම්බිරිස්සාව නොසෑදේ. වටින් ගොඩින් එළිවෙනකොටම සීතල වතුරෙන් මූණ සෝදාගෙන උදේ හීල ඒ වෙලාවටම සූදානම් නැත්නම් වැඩට යෑම මොහොතක් පමා කරන්නේ නැත. එහෙම දාට ගෙදර උදවිය කුඹුරට ඇඹුල නොගෙනත් ඉන්නෙත් නැත. දැනටත් උදැල්ලක් ගෙන වෙලට බැස්සාම ඉර හැරෙන තුරු ගොඩ නොවී වැඩ කළ හැකිය. අමුඩ ගහන්න පටන්ගත් දා සිට එළවළු කොටුවක් දෙකක් වැරදුණේ නැත.

දැනුත් කොවුල් 1000ක බුලත් කොටුවක් තිබේ. එක බණ්ඩක්කා කොටුවෙන් රුපියල් 80ක් ගත්තා මතකය. ඉලන්දාරි කාලේ මට මවුපියන්ගෙන් වැඩි දේපොළක් අයිති වුණේ නැත. නමුත් ගොඩින් අක්කර ගණනක්ද මඩින් වී බෙර කීපයක්ද මගේ වීරියෙන් හරිහම්බ කරගත්තා. පරණ ගේ ගාණකට නැති නිසා මට අලුතෙන් ගෙයක් සාදන්ට හිතුණා. දැන් කාලෙ ඇත්තෝ වගේ ගේ‍ෙදාර හදන්න ගොස් මම ණය වුණේ නම් නැත. ඒ කාලේ බුලත් කොටුවලින් කටුසර බෝගවලින් එකතු කළ මුදල් පවුම් 100ක්ම ගැනලා ගෙදර උදවිය අතට දීලයි ගේ හදන්න පළමු කොස් ගහ කපන්න එළියට බැස්සේ. ගෙයි වැඩ ඉවර වෙලා සල්ලි තත්ත්වේ කොහොමද ඇහුවාම තවත් රුපියල් 50ක් ඉතුරුව තියෙනවා යැයි කියනවා ඇසුණි.

අනුන් සමඟ අඬදබර කරගෙන නඩුහබ කියාගන්නට උසාවියකට මුලාදෑනි කෙනෙක් ඉදිරියට කවදාවත් ගියේ නැති වග කියන්න බොහොම සතුටුයි. පවුලෙත් වැඩි බරාබැරියක් නැත. ණය තුරුස් ගැන කරදරයක්ද නැත. මට තියෙන එකම බය තවත් කලක් යනකොට වැඩක් පලක් කරගන්ඩ බැරුව නිකම් ඉන්නට සිදුවේදෝ කියන එකය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon