විත්තියේ නීතීඥ පීනියස් ක්වාස් ඔසී කොරයාගේ හරස් ප්‍රශ්න අසයි අගමැති ඝාතනයට තමා සම්බන්ධ බවට කතාවක් පැතිරෙන බව තමා දන්නවාද?

  👤  2531 readers have read this article !
2017-10-22

උදේනි සමන් කුමාර
විත්තියේ නීතිඥ පීනියස් ක්වාස් මහතා ඔසී කොරයාගෙන් හරස් ප්‍රශ්න ඇසීම.
වි. නීතිඥ - අගමැති ඝාතනයට තමා සම්බන්ධ බවට කතාවක් පැතිරෙන බව තමා දැන සිටියාද?
කොරයා - එහෙම දෙයක් මා දන්නේ නැහැ.
වි. නීතිඥ - පාර්ලිමේන්තුවේ පවා ඒ ගැන කියවුණා.
කොරයා - එහෙම කතාවක් මා අසා නැහැ.
වි. නීතිඥ - මේ නඩුවේ විත්තිකරුවන් තමාගේ මිත්‍රයන් පිරිසක්?
කොරයා - නිව්ටන් පෙරේරා හැර අනෙක් අය මා දන්නේ නැහැ.
වි. නීතිඥ - තමා නිව්ටන්ට දුන්නේ පොයින්ට් 450 රිවෝල්වරයක්?
කොරයා - ඔව්.
වි. නීතිඥ - පී. 1 රිවෝල්වරය පොයින්ට් 450 නොව පොයින්ට් 455 එකක් බව කිව්වොත් ඔබ පුදුම වෙනවාද?
කොරයා - මට ඒක කියන්න බැහැ.
වි. නීතිඥ - ඔබ  නිව්ටන්ට දුන්නේ පොයින්ට් 450 රිවෝල්වරයක් බව මෙහිදී කියා සිටියා?
කොරයා - ඔව්.
වි. නීතිඥ - එය පො. 450 නොවේ නම් මේ රිවෝල්වරය ඔබ නිව්ටන්ට දුන් එක නොවෙයි?
කොරයා - මා නිව්ටන්ට දුන්නේ මේ රිවෝල්වරයමයි. එය පොයින්ට් 450 බව කියන්නේ මා එයට පො. 450 පතරොම් දැමූ නිසා.
වි. නීතිඥ - ඒ පතරොම් දමා රිවෝල්වරය පාවිච්චි කරන්න හැකි වුණාද?
කොරයා - ඔව්.
වි. නීතිඥ - ඔබට හොඳ දැනුමක් තිබෙනවා?
කොරයා - ඔව්.
වි. නීතිඥ - කොරයා මහතා පො. 450  රිවෝල්වරයට පො. 455 පතරොම් දාන්නට බැහැ. හරියන්නේ නැහැ. ඔබ ඒක පිළිගන්නවද?
කොරයා - ඔව්.
වි. නීතිඥ - නිව්ටන්ට දුන්නේ පො. 450 මිස පො. 455 නොවෙයි?
කොරයා - ඔව්. මගේ රිවෝල්වරය පො. 450 එකක්.
වි. නීතිඥ - ඔබට හොඳටම විශ්වාසයි සහතිකයි.
කොරයා - ඔව්.
විත්ති පාර්ශ්වය වෙනුවෙන් රාජනීතිඥ සී.ජේ. වීරමන්ත්‍රි හරස් ප්‍රශ්න ඇසීම.
වි. නීතිඥ - තමා අධ්‍යාපනය ලැබුවේ කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයේ.
කොරයා - ඔව්. මා සෙන්ට් ජෝෂප් ආදි ශිෂ්‍යයෙක්. 
වි. නීතිඥ - තමා එම විදුහලින් නෙරපනු ලැබූ ආදි ශිෂ්‍යයෙක් නේද?
කොරයා - නෙරපුවේ නැහැ. වාර අවසානයෙන් පසු මා පාසලට නොඑවන ලෙස විදුහල්පති මගේ පියාට දන්වා තිබුණා.
වි. නීතිඥ - ඔබ සුරාබදු පරීක්ෂකවරයෙක් වශයෙන් සේවය කළා.
කොරයා - ඔව්.
වි. නීතිඥ - සුරාබදු සාජන්ට්වරයකු වූ සුගතපාල මහතාට වෙඩි තැබීම සම්බන්ධයෙන් ඔබට  විරුද්ධව නඩුවක් තිබුණා?
කොරයා - මා එයින් නිදහස් වුණා.
වි. නීතිඥ - කොහොම වුණත් ඒ සිදුවීමෙන් පසු තමා සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ඉවත් කළා.
කොරයා -  ඔව්.
වි. නීතිඥ - ඊට පසු ඔබ රේන්ද ජාවාරම්කරුවකු වුණා?
කොරයා - ඔව්.
වි. නීතිඥ - රංජනී කුලී මෝටර් රථ සමාගමේ මිනී මැරුම් නඩුවට තමා අත්අඩංගුවේ සිටියා?
කොරයා - මා ඒ නඩුවෙන් නිදහස් වුණා.
වි. නීතිඥ - පො. 450 රිවෝල්වරය ඔබ මිලදී ගත් එකක්ද?
කොරයා - නැහැ. මට එය ලැබුණේ කොච්චිකඩේ පියදාසගෙන්.
වි. නීතිඥ - පියදාස බෝම්බ පහරකින් මරණයට පත් වුණා.
කොරයා - ඔව්.
වි. නීතිඥ - අඟුරුකාරමුල්ලේ පන්සල ළඟදී ජෙමා යන අයව කපා කොටා බරපතළ තුවාල සිදු කිරීම ගැන තමාට විරුද්ධව නඩුවක් තිබෙනවා?
කොරයා - මා ඒ හැම නඩුවකින්ම නිදහස්.
වි. නීතිඥ - තමා වෙනත් පියදාස කෙනකුගෙන් තවත් පිස්තෝලයක් ගත්තා?
කොරයා - ඔව්. පොයින්ට් 38 පිස්තෝලයක් ගත්තා.
වි. නීතිඥ - ඒ පියදාසත් වෙඩි තැබීමකින් මැරුණා?
කොරයා - ඔව්. ඒ බව දන්නවා.
වි. නීතිඥ - තමාට මේ තරම් ආයුධ මොකටද?
කොරයා - මගේ සතුරන්ගෙන් ආරක්ෂා වීමට.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon