උදේනි සමන් කුමාර මාඕ සේතුංගේ දර්ශනයට කැපවූ ශ්‍රී ලාංකිකයා

  👤  2666 readers have read this article !
2017-10-22

ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භක නායකයකු වූ එන්. ෂන්මුගදාසන් ගැන නව පරම්පරාව නොදනී. ෂන් යන කෙටි නමින් මෙරට වමේ ව්‍යාපාරය හැඳින්වූ මෙම මානව ප්‍රේමී මිනිසා සිය ජීවිත කාලය මෙන්ම දැනුමද විප්ලවීය ශ්‍රී ලංකාවක් බිහිකර ගැන්ම උදෙසා කැප කළේය.

ෂන්මුගදාසන් වඩාත් ප්‍රකට වූයේ චීන මහජන සමුහාණ්ඩුවේ සභාපති මාවෝ සේතුංගේ මෙරට අනුගාමිකයා වශයෙනි. ඔහු මාඕ සේතුංගගේ ඉගැන්වීම් අනුව යමින් ලංකා කොමියුනිස්ට් පක්ෂයේ (චීන පිල) ආරම්භ කළේය. පසු කලෙක ලංකාවේ වමේ ව්‍යාපාරයේ ප්‍රබලයන්වූ බොහෝ නායකයන් චීන පිලෙන් දේශපාලනයේ 'අ' යන්න උගත් අය වෙති.

ෂන්මුගදාසන් උපත ලැබුවේ 1920 යාපනයේ මනිපායිහිදීය. ඔහු කුඩා කල සිටම ඉගෙනුමෙහි අති දක්ෂයෙකි. ප්‍රාථමික අධ්‍යාපනය යාපනයේ සිදුකළ 'ෂන්' 1938දී කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත්ව බටහිර ඉතිහාසය ප්‍රධාන විෂය ලෙස හදාරමින් දෙවන පෙළ සම්මාන උපාධියක් ලබාගත්තේය. විශ්වවිද්‍යාලය තුළ ඔහු කැපී පෙනෙන සටන්කාමී ශිෂ්‍ය නායකයකු විය. ඔහු විශ්වවිද්‍යාල ජීවිතය තුළ ශිෂ්‍ය සංගම් සභාපති ධුරය මෙන්ම ලේකම් ධුරයද දැරුවේය.

දෙවන ලෝක යුද්ධය ආරම්භ වීමත් සමඟ විශ්වවිද්‍යාලය තුළ අධිරාජ්‍ය විරෝධී පත්‍රිකා බෙදා හැරීමේ චෝදනාවට ලක්ව අවස්ථා කීපයකදීම පන්ති තහනමට ලක් විය. විශ්වවිද්‍යාලයේ උප කුලපති වූ අයිවෝ ජෙනින්ස් ලියා ඇති පේරාදෙණියට පාර (ඊඩඥ අධචඤ බධ ර්ථීඥපචඤඥදඪරච) නම් ග්‍රන්ථයේ ෂන් ප්‍රමුඛ පෙළේ ක්‍රියාකාරී ශිෂ්‍ය නායකයකු වූ බව සඳහන් කර තිබේ.

විශ්වවිද්‍යාලයෙන් ෂන් පිට වූයේ 1943 දීය. ලබාගත් සාමාර්ථයන් අනුව පහසුවෙන්ම කථිකාචාර්ය ධුරයකට යා හැකිව තිබූ ෂන් ඒ අවස්ථාව අත්හැර ලංකා කොමියුනිස්ට් පක්ෂය ආරම්භයේදීම ඊට සම්බන්ධ වූයේය. 1947දී රාජ්‍ය සේවක වැඩ වර්ජනය සාර්ථක කිරීමට කැපවූ ඔහු 1953 හර්තාලයේදීද කැපවී ක්‍රියා කළේය.

මාක්ස් - ලෙනින් වාදය ග්‍රහණය කරගත් හෙතෙම මාක්ස්වාදී දර්ශනය ඉගැන්වීමෙහිලා අති දක්ෂයෙක් විය. ඔහු ඉංගී්‍රසි, දෙමළ හා සිංහල භාෂා තුනෙන්ම දේශන පැවැත්වීමට සමතෙක් විය. මාඕවාදියකුවූ ෂන් පෙනී සිටියේ උතුරේ කුල පීඩනයට ලක්වූ දෙමළ ජනයා වෙනුවෙනි.

එවකට යාපනයේ පැවැති තත්ත්වය අනුව හින්දු ආගම ඇදහුවද කෝවිල්වලට යෑමේ වරප්‍රසාදය හිමි වූයේ උසස් යැයි සම්මත කුල වල ජනයාට පමණි. උතුරේ මාවිද්දිපුරම් කෝවිලට කුල හීන ජනයා ඇතුළු වීම තහනම් කර තිබුණේ අෑත කාලයක සිටය. 1968දී ෂන් අඩු කුලේ යැයි සම්මත ජනයා සංවිධානය කර විශාල පිරිසක් සමඟ කෝවිලට ඇතුළු විය. මහාචාර්ය සී. සුන්දරලිංගම් ඇතුළු උසස් කුලවල නායකයන් ඊට දැඩි විරෝධයක් පළ කළේය. එහෙත් ෂන් අත්හැරියේ නැත. පෙඩරල් පක්ෂ නායකයන් සටන අත්හැර ඉවත්ව ගියේය. පොලිසිය කෝවිල් භූමියට පැමිණියේය. මාවිද්දිපුරම් ප්‍රශ්නය සමාජ අරගලයක් බවට පරිවර්තනය විය.

අගමැති ඩඩ්ලි සේනානායක යාපනේ නියෝජ්‍ය පොලිස්පති ආර්. සුන්දරලිංගම් මහතාට ඉතා නිවැරදි එඩිතර නියෝගයක් ලබාදුන්නේය. එනම් කෝවිල පොදුවේ සියලුම හින්දු බැතිමතුන්ට විවෘත විය යුතු බවය. එතැන් සිට මාවිද්දිපුරම් කෝවිල සියලු හින්දු බැතිමතුන්ට විවෘත වූයේය.

සෝවියට් කොමියුනිස්ට් පක්ෂය හා චීන කොමියුනිස්ට් පක්ෂය අතර න්‍යායික මත ගැටුම් ඇති වූයේ 1963 වසරේය. ෂන් චීන පිල නියෝජනය කරමින් ලංකා කොමියුනිස්ට් පක්ෂය අත්නොහැර සිටියේය. එම අර්බුදය තුළ ෂන් 'කම්කරුවා' යන පුවත්පත පටන් ගත්තේය. ඔහු සභාපති මාඕ සේතුං සමඟ ඉතාමත් ළඟ සම්බන්ධතා තැබූ ශ්‍රී ලාංකිකයාද වන්න්ය. ෂන් සිය සමස්ත දේශපාලන ජීවිතයම ගත කළේ කොමියුනිස්ට් සමාජයක උතුම් අරමුණු ඉටු කරගත්තා අභිලාෂයෙනි. 1993 පෙබරවාරි 8 වැනිදා එන්. ෂන්මුගදාසන් අභාවප්‍රාන්ත වූයේ ලන්ඩන් නුවරදීය.

යූ. ආර්. පෙරේරා (කනිෂ්ඨ)

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon