සර් ඔලිවර් අද්මිරාල් ලේටන්ව බේරේ කුණු වතුරින් නෑවූ හැටි

  👤  2501 readers have read this article !
2017-10-22

දෙවැනි ලෝක සංග්‍රාමය සමයේ ශ්‍රී ලංකාව තුළද යුද බියක් පැතිර ගියේය. ඒ ජපනුන් කොළඹට බෝම්බ දමන්නට සූදානමක් පවතින බවට පැතිර ගිය ආරංචිය නිසාය. එබැවින් ඒ සම්බන්ධයෙන් ලංකා ආණ්ඩුවද පෙර සූදානමකින් පසුවිය.

එලෙස බෝම්බ හෙළීමක් අනාවරණය වුවහොත් ඊට පෙර ජනතාවගේ ආරක්ෂාව සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගැනද, ඒ සඳහා ජනතාව දැනුවත් කිරීමක්ද ආණ්ඩුවෙන් සිදු කෙරිණි.

මෙකල මෙරට දේශපාලනයේ නිලය, බලය අතින් ඔලිවර් ගුණතිලක මහතා සිටියේ ඉහළ තැනකය.

ඔහු වඩාත් ප්‍රචලිතව සිටියේ හදිසියේ ඇතිවන තත්ත්වයකදී ඒ අභියෝගයට නිසි පිළියම් යෙදීමට දක්ෂයකු ලෙසිනි.

තැපැල් ස්ථානාධිපතිවරයකුගේ පුත්‍රයකු වූ හෙතෙම ජීවිතයේ දුක ජය ගනිමින් මෙරට දේශපාලනයේ හිණි පෙත්තටම නැඟි පුද්ගලයකු විය.

1921 දී ඩේලි නිවුස් පුවත්පතේ කළමනාකරුවකු වූ ඔලිවර් ගුණතිලක මහතා ඉන් පසුව දුම්රිය දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරි, ආණ්ඩුවේ සහකාර ගණකාධිකාරි ඔඩිටර් ජනරාල්, මහජන ආරක්ෂක කොමසාරිස්, ආහාර කොමසාරිස්, මුදල් ලේකම්, සෙනෙට් සභාපති, එංගලන්තයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්, මුදල් ඇමැති සහ නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාණ්ඩුකාර තනතුර දක්වාම උසස් තනතුරු දැරුවේය.

ශූර කථිකත්වයත්, තැනට සුදුසු නුවණත් නිසා මෙසේ ඉහළට නැඟි ගුණතිලක දෙවැනි ලෝක මහා සංග්‍රාම සමයේ දැරුවේ මහජන ආරක්ෂක කොමසාරිස් ධුරයයි. එවකට මෙරට පැවැති ඉංග්‍රීසි ආණ්ඩුවේ ලංකාවේ අණ දෙන නිලධාරි ලෙස කටයුතු කළේ අද්මිරාල් ජෙෆ්රි ලේටන්ය.

ඔහුගේ දෙවැනි නිලධාරියා වූයේ ඔලිවර් ගුණතිලකය.

1942 වසරේ අප්‍රේල් 6 වැනිදා ජපන්නු ශ්‍රී ලංකාවට බෝම්බ හෙළුවේය. ඒ කොළඹට හා ත්‍රිකුණාමලයටය. එහෙත් ජනතාව කලබලයට පත් නොවන අන්දමින් හා ආණ්ඩුවේ ආරක්ෂක කටයුතු නිසි ලෙස පවත්වාගෙන යමින් එදා ගුණතිලක මහතා රාජකාරියේදී දැක්වූ කාර්ය ශූරත්වය සුද්දන්ගේ මවිතයට පවා හේතු වූ බව කියැවේ.

ජපන්නු කොළොන්නාව තෙල් ටැංකි යැයි සිතා බෝම්බ හෙළා තිබුණේ අංගොඩ මානසික රෝහලටය. ඒ එහි වහලයේ රෝහලක් බව දැක්වෙන කුරුස සලකුණක් පැහැදිලිව සටහන් කර නොතිබූ නිසාය.

බෝම්බ හෙළු දා කොළඹට නළ ජලය සැපයීමද නතර කර තිබිණි. කාර්යබහුලත්වය නිසා ඒ බව නොදත් ලංකාවේ ප්‍රධාන අණදෙන නිලධාරි, (සේනාධිනායක) ජෙෆ්රි ලේටන් එදින පස්වරුවේ ස්නානය සඳහා තම නිල නිවෙසේ නාන කාමරයට ගියේය. වතුර කරාමය හැරි ඔහුට දැකගන්නට ලැබුණේ ඉන් වතුර නොඑන බවය. දැඩි වෙහෙසට පත්ව සිටි ඔහු වතුර නොමැති බව දැකීමෙන් වඩාත් කෝපයට පත් විය. හෙතෙම ඔහුගේ දෙවැනියා වූ මහජන ආරක්ෂක කොමසාරිස් ඔලිවර් ගුණතිලක දුරකතනයෙන් අමතා තම නිල නිවෙසට වතුර නොමැති බවත් වහාම ඊට පිළියමක් යොදන ලෙසත් නියෝග කළේය.

කලබල නොවූ ගුණතිලක මහතා කළේ කොළඹ ගිනි නිවන හමුදාවේ ප්‍රධානියාට දුරකතන ඇමැතුමක් ලබාදීමය.

ගිනි නිවන හමුදාවට අයත් බවුසරයකට වතුර පුරවා එය වහාම සේනාධිනායක (අණ දෙන නිලධාරීන්ගේ) නිල නිවෙසට රැගෙන ගොස් එහි වතුර ටැංකියට පුරවන ලෙසත්, වතුර සපයා ගත යුතු ස්ථානයත් පැවැසූ ගුණතිලක මහතා එම කාර්යය නිමා වූ විගස තමාට එය දැනුම් දෙන ලෙසත් ගිනි නිවන හමුදාවේ ප්‍රධානියාට දැනුම් දුන්නේය.
ගුණතිලක මහතාගේ උපදෙස් අනුව ගිනි නිවන හමුදාවේ බවුසරයකින් අණදෙන නිලධාරි ලේටන් මහතාගේ නිල නිවෙසේ වතුර ටැංකිය පිරවීමට ගතවූයේ කෙටි කාලයකි.
එදා අණදෙන නිලධාරිගේ නිල නිවෙස වූයේ පසු කලෙක පාර්ලිමේන්තුවේ කතානායක නිල නිවෙස වූ කොළඹ 03 මුම්ටාස් මහල් මන්දිරයයි.

එම නිල නිවෙසේ වතුර ටැංකිය පුරවා අවසන් බව ගිනි නිවන හමුදාවෙන් දැනුම් දුන් විගසම ගුණතිලක මහතා ඒ බව අද්මිරාල් ලේටන් මහතාට දුරකතනයෙන් දන්වා සිටියේ.

මුළු කොළඹටම වතුර නොමැති අවස්ථාවක විනාඩි කිහිපයක් තුළ තමන්ට වතුර සපයා දීම ගැන අණදෙන නිලධාරි අද්මිරාල් ජෙෆ්රි ලේටන් එදා මවිතයට පත්වූයේය.
එහෙත් ඔහු එදා ස්නානය කළේ බේරේ වැවේ කුණු වතුර බව දැන සිටියේ නැත. ඒ රහස හෙළි වූයේ ඉන් වසර ‍ෙදාළහකට පසු සර් ඔලිවර් ගුණතිලක මහතා මෙරට අග්‍රාණ්ඩුකාර තනතුරට පත්වූ පසුවය.

බන්ධුල ගුණරත්න

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon