ඇලපාත නිලමේ මියයයි අදිකාරම් දේපොළ පවරා ගනී

  👤  3463 readers have read this article !
2017-10-22

උදේනි සමන් කුමාර

ඔක්තෝබර් 20 තලාපිටියේ ඔෟෂධහාමි පැමිණ දන්වයි

දැනට රටේ කටයුතු කෙරීගෙන යන ආකාරයට සිදුවන අයුතු ක්‍රියා නිසා වසන්ට හැටියක් නැති බව කියයි.

පුරාණ කාලයේ ප්‍රභූවරයෙක් මැරුණු විට ඔහුගේ දේපොළ රාජසන්තක කරන පුරුද්දකුත් පැවතිණි. නමුත් එය රජුන් විසින්ම තහනම් කර තිබිණි.

සබරගමුවේ ඇලපාත නිලමේ කාලක්‍රියා කොට දැනට මාස හතරක් හෝ පහක් වෙයි. පළමු අවස්ථාවේදී අදිකාරම් පගෝදි 7,000ක් හෝ 8,000ක් වටිනා ආභරණ පෙට්ටියක් තමා වෙත ගෙන්වා ගත්තේය. ඊට අමතරව ඇලපාත නිලමේට අයත්ව තිබූ පොල් ගස් 2,000ක් සහිත බලිබත්තොට වත්තද අයිති කර ගත්තේය. ඊට පසු තවත් ආභරණ පෙට්ටි දෙකක් හෝ තුනක් ගෙන එනු පිණිස ඇලපාත වලව්වට මිනිසුන් යැවීය. එහෙත් ඇලපාත ළමාඑතනී ඊට විරුද්ධත්වය පළ කර මිනිසුන් හරවා යැවීය.

එවිට අදිකාරම කළේ මියගිය ඇලපාත නිලමේට අයත් ලක්ෂ දෙක තුනක වස්තුව සඟවා ඇති බව දන්වා කන්දේ නුවර ප්‍රවෘත්ති මණ්ඩලයට සන්දේශයක් යැවීමය. එවිට කටුපුල්ලේ ආඥාවක් රැගෙන ලස්කිරිඤ්ඤා භටයන් 8 දෙනකු පැමිණියහ. ඒ සමඟ කිරිපෝරුව මොහොට්ටාලද වළඳුරේ මොහොට්ටාලද තවත් ප්‍රධානීන් දෙදෙනෙක්ද බටුගෙදර සිට සැතපුම් 5ක් මඟ ගෙවා ඇලපාතට පැමිණියේය.

ඔවුන් එහි පැමිණෙන විට රෑබෝ වී තිබිණි. රාත්‍රියේම ඇලපාත වලව්වට ගිය පිරිස වලව්වේ සියලු වස්තුව පවරා ගන්නා ලෙස නියම කළ රාජ ආඥාව ළමාතැනීට පෙන්වා වැන්දඹුවටත් ඇගේ දියණියන් තිදෙනාටත් අරන් හදාගත් පුතාට නිවෙසින් පිටවන ලෙස දැන්වූහ. ඔවුහු වෙනත් යා හැකි තැනක් නොවූයෙන් අසල්වාසී වෙද රාලගේ ගෙදර ගියහ. ඔවුන්ගේ ආහාර පිණිස හාල් මල්ලක් ගෙන යෑමට සැරසුණු නමුත් ඊටද අවසර දුන්නේ නැත. එදින රාත්‍රියේම ඇලපාත වලව්ව වටා මුරකාවල් යොදන ලදී.

පසු දින උදෑසන වලව්වේ තිබූ සියලු වස්තුව ගණන් බලන ලදී. පෙට්ටි 2,500ක් සහ යකඩ ආයුධ විශාල ප්‍රමාණයක්ද එහි වූයේය. වලව්වේ සේවය කළ කංකානම් ඇතුළු සේවකයන් පස්දෙනෙක්ද සිටියේය. ඔවුන් මහ වාඩියට ගෙනගොස් බර බැඳ අත්වලින් එල්ලා වධයට පමුණුවන ලදී. යටි පතුල් හා පපුවද උදලු රත් කර පලුස්සන ලදී. තවද කසයෙන් තළමින් වස්තුව සැඟවූ තැන් විමසන ලදී. එසේ ප්‍රශ්න කර වළලා තිබූ භාජන 3ක් හෝ 4ක් හෝ 5ක් සොයාගනු ලැබීය. මේ සියලු වස්තුව කන්දේ නුවර රජුගේ නාමයෙන් අත්පත් කරගත් වලව්වේම සඟවා තබා තිබේ. වාරිගම නිලමේ පවසන්නේ තමාටත් ඇලපාත නිලමේට වූ දේම සිදුවිය හැකි බවය. ඒ නිසා අපගේ අදහස්වලට ඔහු එකඟතාව පළ කරයි.

මේජර් ඩේවි කන්දේ නුවරට ගෙනැවිත් පෞද්ගලික නිවෙසක සිර කර සිටියදී අසනීප විය. ඔහුගේ ඇඟ ඉදිමී තිබිණි. දින 30කට පසු ඔහු මියගියේය. එදින රාත්‍රියේම මළසිරුර නුවරින් පිට කළේය. එය ගෙන ගියේ කොහිද යන්න කිසිවකු නොදනී. ඔහු ගැන කතා කිරීම පවා තහනම් කරන ලදී.

ඇලපාත නිලමේගේ වස්තුව උදුරාගැනීම ගැන එක්නැලිගොඩ නිලමේ කිසිත් නොදනී. ඒ වස්තුව රජුට අත්වීමට වඩා ඉංගී්‍රසීන්ට අත්වූවා නම් හොඳ බව ඔහු කියා ඇත. ඔහු එහි යන විට ඇලපාත නිලමේගේ වස්තුව ගණන් බලමින් තිබී ඇත. ඇහැළේපොළ මහ අදිකාරම කෙරෙහි සබරගමුවේ සියලුම මිනිස්සු අප්‍රසාදයෙන් පසුවෙති. අදිකාරම ආහාර විශාල ප්‍රමාණයක් එකතු කරයි. ඒවා දිනපතා ඔහුගේ කෑම සඳහාත් කන්දේ නුවරින් පැමිණෙන අමුත්තන් සඳහාත්ය. ආහාරවලට අමතරව තෑගි පිණිස ගෙන එන දැකුම්ද විය. සෑම දින අටකට දහයකට වරක් ආහාර, උදලු, යකඩ බඩු පෙට්ටි රැගත් කුලීකරුවන් 10ක් 12ක් අදිකාරම විසින් ඔහුගේ භාර්යාව වාසය කරන සත් කෝරළේ කොස්සින්න වලව්වට යවයි.

ජෝන් ඩොයිලිගේ බුද්ධි අංශ වාර්තා 15

1810 - 1815 තෙක් කන්ද උඩරට බි්‍රතාන්‍ය රජයේ පළමුවන කොමසාරිස් සහ නේවාසික ප්‍රමුඛ නිලධාරියා වශයෙන් සිටි ජෝන් ඩොයිලිගේ බුද්ධි අංශ වාර්තා ලෙස අප ඉදිරිපත් කරන මෙම ලේඛන 1917දී ලංකා සිවිල් සේවාවේ කටයුතු කළ එච්.ඩබ්ලිව්. කොඩ්රින්ටන් විසින් රාජකීය ආසියාතික ලංකා සමිතියේ 25 වැනි වෙළුමේ පළ කර තිබිණි. ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් මෙම තොරතුරු රසවත්ය, අරුත්බරය. අපි එය කොටස් වශයෙන් ඔබ වෙත ගෙන එන්නෙමු. නිදහස් ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය මුළුමනින් අහිමි වූ ඒ මාරක අවුරුදු පහ පිළිබඳ අභ්‍යන්තර තොරතුරු ගෙනෙන මේ සටහන් විශ්වාසදායක මූලාශ්‍ර වන්නේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon