2025 වන විට ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ආර්ථික හා වෙළෙඳ කේන්ද්‍රස්ථානය බවට පත් කරනවා

  👤  3431 readers have read this article !
2017-10-23

අතීතයට වරද පටවමින් සිටීමෙන් සිදුවන යහපතක් නැහැ. අපි උත්සාහ ගත යුත්තේ අතීත වැරදි නිවැරදි කර ගනිමින් ඉදිරි ගමනක යෙදෙන්නටයි.
2016 වර්ෂයේදී අපගේ පාලනයෙන් තොර අභියෝග මෙන්ම, දේශීය හා ගෝලීය තත්ත්වයන් ඉදිරියේ පවා දළ දේශීය නිෂ්පාදිතයේ 4.4%ක වර්ධන වේගයක් පවත්වාගන්නට අපිට හැකි වුණා. විරැකියාව 4.2%ක මට්ටමේ තබා ගන්නටත් අය වැය පරතරය 5.4% දක්වා අඩු කර ගන්නටත් හැකි වුණා.

වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වැඩි වශයෙන් ර¼දා පැවැතුණේ යටිතල පහසුකම් සඳහා කෙරෙන දැවැන්ත රාජ්‍ය ආයෝජන මතයි. එමඟින් ශක්තිමත් වුණේ ඉදිකිරීම් කර්මාන්තය වැනි ක්ෂේත්‍ර පමණයි. කෙසේ වෙතත් ඒ සමඟම ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ අපනයන කොටස ක්‍රමිකව අඩු වුණා.
රජයේ ආදායම දිගින් දිගටම අඩුවීමත්, ඒ සමඟ දැඩි වියදම් ගලනයත් හේතුවෙන් දේශීය හා විදේශීය ණය මඟින් අය වැය පරතරය පියවාලන්නට සිදුවුණා.
2015 දී රජයේ මුළු ආදායමින් 90.6%ක්ම වැය කළේ ණය සේවා සඳහායි. 2016 දී මේ සංඛ්‍යාව 80%ක්.

අපේ ආදායමට වඩා වියදම් වැඩි වීම සම්බන්ධව අවධානය යොමු කිරීම හදිසි අවශ්‍යතාවක්. දේශීය ආදායම් පනත සම්මත කර ගැනීමෙන් ආදායම් උත්පාදනයෙන් මූල්‍ය ස්ථාවරත්වය ගොඩනැඟීමේ ක්‍රියාවලියකට මුලපුරා ඇති අතර දැනටමත් එමඟින් යහපත් ප්‍රතිඵල දක්නට ලැබී තිබෙනවා.

රාජ්‍ය මූල්‍ය ශක්තිමත් වී ඇති අතර පසුගිය වසර දෙක ඇතුළත ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. 2014 දී 11.6%ක් වූ දළ දේශීය නිෂ්පාදිතය හා ආදායම අතර අනුපාතය 2016 දී 14.2% දක්වා ඉහළ ගියා. 2017 වර්ෂයේ මුල් හය මාසය ඇතුළත දළ දේශීය නිෂ්පාදිතය හා ආදායම අතර අනුපාතය 6.7%ක් වාර්තා කර තිබෙන අතර 2016 වර්ෂයේ මුල් අර්ධය තුළ ඒ අනුපාතය වූයේ 6%ක් පමණයි. දැනට දළ දේශීය නිෂ්පාදිතයෙන් 79.3%ක් වන ණය බර 2020 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 70%ක් දක්වා පහත බැස්සවීමට බලාපොරොත්තු වෙනවා. ඒ වන විට අය වැය පරතරය 3.5%කට අඩුවෙන් තබා ගැනීමට අපේක්ෂා කරනවා.

රාජ්‍ය ණය ගෙවීම් සලකා බලද්දී, 2017 අගෝස්තු අග වන විට පවතින ණය ප්‍රමාණයට අනුව 2018 දී අපට රුපියල් කෝටි එක්ලක්ෂ අනූ හත්දහස් හාරසීයක් (බිලියන 1974ක්) ගෙවීමට සිදුවෙනවා. 2019 දී ගෙවන්නට සිදුවන මුදල රුපියල් කෝටි එක්ලක්ෂ පනස් එක්දහස් පන්සියයක්. 2018 සහ 2019 වසරවල අප රුපියල් කෝටි තුන්ලක්ෂ හාරදහසකට අධික මුදලක් ණය වශයෙන් ගෙවිය යුතුයි.
නව අවදානම් තත්ත්වයන්ට සහ ව්‍යුහාත්මක හා නියාමන වෙනස්කම්වලට සරිලන පරිදි රාජ්‍ය ණය කළමනාකරණයෙහි වූ අපගේ සාම්ප්‍රදායික ප්‍රවේශයන් වෙනස් කළ යුතු වෙනවා.

නව දේශීය ආදායම් පනත යටතේ අප විසින් සිදුකළ වෙනස්කම් ජාත්‍යන්තර ප්‍රජාවේ මෙන්ම දේශීය ආර්ථික නියෝජිතයන්ගේ ද ප්‍රසාදයට ලක් වුණා.
නව දේශීය ආදායම් පනත, විදේශ විනිමය පනත, හිමිකම් කළමනාකරණ පනත, රාජ්‍ය ව්‍යාපාරවල සංස්ථාපිත අරමුණු හා සමීප මූල්‍ය සම්බන්ධීකරණය ආදී ප්‍රතිසංස්කරණ ඔස්සේ අප මේ රටේ ආර්ථික සම්පත් හා මූල්‍ය රාමුව ශක්තිමත් හා විචාරවත් කළමනාකරණයක් වෙත ගෙන යනවා.

ජනතාවට දුෂ්කරතා ඇති කරන කෙටි කාලීන මිල උච්චාවචනය පාලනය කිරීම සඳහා වර්ෂය මුළුල්ලේ සාධාරණ මිලකට ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමේ හැකියාව ඇති කරන්නට අප බලාපොරොත්තු වනවා. එසේ කිරීම සඳහා අප දේශීය සැපයුම් හා බෙදාහැරීම් ජාලය දියුණු කරනවා. ඒ අතර සාධාරණ මිලකට ආහාර නිෂ්පාදනය හා අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තරගකාරී වෙළඳපොළ තුළ ආනයනය කිරීමට අවසර ලබා දෙනවා.

අපේ ඉලක්කය වර්ෂ 2025 වන විට ශ්‍රී ලංකාව පොහොසත් රටක් කිරීමටයි. අපේ දැක්ම වන්නේ මේ ජාත්‍යන්තර සබඳතා කේන්ද්‍රයේ වටිනාකම යළි ලබා ගැනීමයි. මෙහිදී දශක ගණනාවක් තිස්සේ අපේ වර්ධනය වීමේ හැකියාව මොට කළ පටු ප්‍රතිපත්ති පසකට දමන්නට අපට සිදුවනවා.
අපි වාර්ෂික ඒකපුද්ගල ආදායම ඩොලර් 5,000 දක්වා වැඩි කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි රැකියා දස ලක්ෂයක් උත්පාදනය කරන්නට බලාපොරොත්තු වෙනවා.
වාර්ෂික සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය ඩොලර් බිලියන 5ක් දක්වා ඉහළ නැංවීම අපේ ඉලක්කයයි. වාර්ෂික අපනයන දෙගුණ කරමින් ඩොලර් බිලියන 20 දක්වා ගෙන ඒමට සැලසුම් කරනවා.

අපගේ ප්‍රබලම අවශ්‍යතාව වන්නේ ජනතාවට දැනුම පදනම් වූ ආර්ථිකයන්ට හවුල් වීමට හැකි වන පරිදි අධ්‍යාපනය හා කුසලතා සංවර්ධනය පුළුල් කිරීමයි.
තරුණයන්, උසස් පෙළ සමතුන් හා කාන්තාවන් අතර විරැකියා අනුපාත පිළිවෙළින් 18.5%ක්, 39.5%ක් සහ 6.5%ක්. මෙයින් පිළිබිඹු වන එක කරුණක් වන්නේ දේශීය ශ්‍රම වෙළෙඳපොළේ ව්‍යුහාත්මක දුර්වලතාවයි. අනෙක කුසලතා ගැළපීමේ අයෝග්‍යතාවයි.

මේ දුර්වලතා හඳුනාගනිමින් රජය අපේ අධ්‍යාපන ක්‍රමයේ මූලික ප්‍රතිසංස්කරණ ගණනාවක් කරන්නට පියවර ගන්නවා. අපි සියලු දෙනාටම 13 වසරක අධ්‍යාපනයක් සහතික කරනවා. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු ශිෂ්‍යයන් උසස් අධ්‍යාපනයට, වෘත්තීය අධ්‍යාපනයට, සෘජු අපේක්ෂිත රැකියාවන්ට රැකියා පුහුණුවට යොමු කරනවා.
යුගයේ අවශ්‍යතාවක් වන තොරතුරු සන්නිවේදන තාක්ෂණ කුසලතාව පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කරන අතර අදාළ විෂය ක්ෂේත්‍රයෙන් විශ්වවිද්‍යාලයට බඳවා ගන්නා පිරිස වැඩි කරනවා. එය ඩිජිටල් ආර්ථිකයක් සවි බල ගැන්වීමේ රජයේ පුළුල් අරමුණු හා උත්සාහයට සමගාමීව සිදුවන්නක්.

විදේශ රැකියා හා දේශීය ශ්‍රම වෙළෙඳපොළ අවශ්‍යතා අතර සමබරතාවක් ඇති කිරීම සඳහා ප්‍රතිපත්තීන් සකස් කිරීමට රජය සැලසුම් කරනවා. පළමු පියවර වශයෙන් වෙළෙඳපොළේ ශ්‍රම හිඟය පියවනවා. විදෙස් රැකියා ප්‍රවර්ධනය කරන්නේ ඉහළ ආදායම් සඳහා අවස්ථාවන් ඇති විට පමණයි. එසේම පුහුණු ශ්‍රමිකයන් මඟින් වැඩි ආදායම් ලබා ගත හැකි අවස්ථාවල පමණයි.

පොදු ප්‍රවාහන පහසුකම් වැඩි දියුණු වීම, නම්‍යශීලී සේවා මුර වැනි යහපත් සේවා පරිසර නිර්මාණය කිරීමෙන් විදේශගත ශ්‍රී ලාංකිකයන් රටේ වර්ධන ක්‍රියාවලියට ක්‍රියාකාරීව දායක කර ගැනීමේ හැකියාව ඇති වෙනවා. එමඟින් ඒ හැකියාවන් මෙරට සංවර්ධනයට එක් කර ගැනීමට මෙන්ම සමස්ත සේවා තත්ත්වයන්හි වැඩි දියුණුවක්ද බලාපොරොත්තු විය හැකිය.

දැනට සමස්ත සේවා නියුක්තියෙන් 60.2%ක් නිරත වන්නේ අවිධිමත් හා නීති විරෝධී ආර්ථික ක්‍රියාකාරකම්වලයි. 40%ක් අවදානම් ගණයේ රැකියා කරන අයයි. ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක් හෝ බලපත්‍රයක් ලබාදීම මඟින් සමාජ පිළිගැනීම හා සේවා සුරක්ෂාව තහවුරු කර සියලු රැකියාවන්හි ප්‍රමිතිය නංවාලීමට කටයුතු කරනවා. එම රැකියාවන්හි අවිධිමත් භාවය අවම කිරීමට හේතු වේවි.
අවිධිමත් රැකියාවන්වල නියුතු පුද්ගලයන් සඳහා විශ්‍රාම ප්‍රතිලාභ ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කරනවා. මෙමඟින් විශ්‍රාම යෑමෙන් පසු ඇති විය හැකි නැති බැරිකම අඩු කිරීමට හැකි වෙනවා.

පැහැදිලි ලෙස නිර්වචනය කළ කාර්මීකරණ උපාය මාර්ගයක් හේතුවෙන් නිෂ්පාදන අංශ යළි පණ ගැන්වීමට අප ක්‍රියා කරනවා.
2016 වසරේ මිලියන 2කට වඩා වැඩි සංචාරකයන් ප්‍රමාණයක් ගෙන්වා ගැනීමෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5ක ආදායමක් ලබන්නට අපට පුළුවන් වුණා. 2015 සංචාරක කර්මාන්තයෙන් සැපයුණු දේශීය රැකියා ප්‍රමාණය 320,000ක්. සංචාරක ක්ෂේත්‍රය ශක්තිමත් කරලීමෙන් හැම වසරකම සංචාරකයන් මිලියන 5ක් ආකර්ෂණය කර ගැනීම අපේ ඉලක්කයයි.
වේගයෙන්ම ප්‍රසාරණය වන අපේ සංචාරක වෙළෙඳපොළ චීනය සහ ඉන්දියාවයි. ඒ අනුව අපේ සංචාරක උපාය මාර්ග වෙනස් කළ යුතුව තියෙනවා. වැඩි වැඩියෙන් වියදම් කරන සංචාරකයන් මෙරටට පැමිණෙන රටවල් හා ගමන් සම්බන්ධතා වැඩිදියුණු කළ යුතුව තියෙනවා.
ආර්ථික වර්ධනය පිළිබඳව අවධානය යොමුකරන අතරම, ජනතාවගේ මූලික අවශ්‍යතාවන් සම්බන්ධව අප අමතක කරන්නේ නැහැ. 'වසර 2025දී සැමට සෙවණ' ලබාදීමට අප ක්‍රියා කරනවා.

සහන පොලී යටතේ නිවාස ණය ලබාදීමට අප ජාතික ඉතිරිකිරීමේ බැංකුවට රුපියල් බිලියන 75ක් වෙන්කර දී තියෙනවා. එසේම නාගරික පුනර්වර්ධන වැඩසටහන සහ අනෙකුත් නිවාස වැඩසටහන් සඳහා තවත් රුපියල් බිලියන 75ක් වෙන්කර තියෙනවා.
අධ්‍යාපනය, සෞඛ්‍ය, විදුලිය, මාර්ග සහ අධිවේගී මාර්ග ආදී සමාජ ආර්ථික යටිතල පහසුකම් සඳහා තිරසර ආයෝජනයක් අවශ්‍ය බව අපි පිළිගන්නවා. ශ්‍රී ලංකාව මැදි ආදායම් සහිත රටක් බවට පත් කරන්නට මෙය හේතු වෙනවා. මේ ආයෝජන අවස්ථාවන් සපුරා ගැනීමට රාජ්‍ය පෞද්ගලික සහයෝගිතාව භාවිත කිරීම අපේ අරමුණයි.
අපේ අරමුණ සියලු පුරවැසියන්ට වැඩි ආදායම් සහ උසස් ජීවන තත්ත්වයක් ලබා ගත හැකි පරිසරයක් නිර්මාණය කිරීමයි. ඒ නිසා අපේ ප්‍රධාන ප්‍රමුඛතාවක් වන්නේ කාන්තාවන්ට ආරක්ෂිත සේවා කොන්දේසි සැකසීමයි.

කාන්තාවන්ට සුව පහසුවෙන් රැකියා සඳහා යන්නට එන්නට හැකි අයුරින් පොදු ප්‍රවාහන සේවා වැඩිදියුණු කළ යුතුයි. අපි සැහැල්ලු දුම්රිය පද්ධතියක් හඳුන්වා දෙන්නේ මේ අරමුණු ඇතුවයි. එවිට තදබදයකින් තොරව ආරක්ෂිතව ගමනාගමනයේ යෙදෙන්නට ඉඩකඩ සැලසෙනවා.

කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය දිරිමත්, ශක්තිමත් කිරීමට අප ක්‍රියා කරනවා. මේ ව්‍යවසායන් තුළ කාන්තාවන්ට වැඩි කාර්යභාරයක් ඉටු කළ හැකියි.
බස්නාහිරට සීමා වී තිබුණු සංවර්ධනය දකුණට, වයඹට, මධ්‍යමට හා මුළු රටම බෙදී යන ක්‍රමවේදයක් අය වැය මඟින් සැකසෙනවා. හැකියාවෙන්, දක්‍ෂතාවයෙන් හා ශක්තියෙන් ඉදිරියට යා හැකි අය අය වැය මඟින් දිරිමත් කරනවා. එසේ නොහැකි දුර්වල අයට අය වැය මඟින් අත දෙනවා.

මෙය මුළුමහත් සමාජයම ඉහළ තලයකට ඔසවා තබන අභියෝගාත්මක ගමනක්. 2025 වන විට මුළු රටම පොහොසත් කරවන සැලැසුමක්. ශ්‍රී ලංකාව යළිත් ඉන්දීය සාගරයේ ආර්ථික හා වෙළෙඳ කේන්ද්‍රස්ථානය ලෙසට පත් කරවීමේ වෑයමක්.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon