ඇසට නොපෙනෙන අප අවට රැඳෙන අදෘශ්‍යමාන බලවේග

  👤  4452 readers have read this article !
2017-10-29

අසවල් කාලයේ අසවල්රටේ අසවලා වී සිටියේ මේ මම ම වෙමියි බුදුරජාණන් වහන්සේ පැවසූ බව ජාතක කතාවල සඳහන් වෙයි. ශ්‍රාවක ශ්‍රාවිකා චරිතවලද අතීත භවයන්හි අසවල් පුද්ගලයා ලෙස සිටියේ "මම" ම වෙමියි පැවසූ අස්ථා බොහෝය.

වර්තමාන පුනර්ජන්ම කතාවලද එසේම සඳහන් වෙයි. එහෙත් මේ සෑම තැනම සිටි පුද්ගලයා දෙවැනි තැන සිටි පුද්ගලයාද නොවේ. එහෙත් එම දෙදෙනාම එක් කෙනකුව "මම" බව පවසා ඇත. ඔහු හෝ ඇය මිනිසකු නම් මුලින් සිටි තැනැත්තා මළේය. ඔහුගේ සිරුර වළ දමා දිරාපත්ව ගියේය. නැතහොත් පුලුස්සා දැම්මේය. එහෙත් නැවත උපන්නේය. නැවත නැවතත් උපන්නේය. දිගින් දිගට මළේය. නැවත උපන්නේය. මෙහි ඉවරයක් නැත. මරණයට පත්ව පුලුස්සා දැමූ හෝ වළ දැමූ පුද්ගලයා තුළ සෙසු අයට නොපෙනෙන තවත් කෙනකු සිටි බව පිළි ගැනීමට සිදුවේ.

අපට පෙනෙන්ට සිටි මිනිසා මළේය. මරණයේදී ගන ශරීරයෙන් ඉවත්ව යන ක්‍රියාකාරී උපාදානස්කන්ධ සංයුතිය සියුම් ද්‍රව්‍ය ඇසුරු කර ගෙන පවතින විට සාමාන්‍ය ව්‍යවහාරයේදී භූතාත්ම හෙවත් භූතයෝ යැයි හඳුන්වනවා. මේ විශ්වයේ පවතින ඉතාම අඩු සත්ත්ව කොට්ඨාසය බ්‍රහ්මයෝ. ඊළඟට වැඩියෙන් ඉන්න කොටස දෙවියෝ, දෙවියන්ට වඩා වැඩියි මනුෂ්‍යයෝ, වර්තමානය වන විට මිනිස් ගහණය කෝටි සත් සියය ඉක්මවා සිටිනවා. මිනිස්සුන්ට වඩා වැඩියි තිරිසන් සතුන්. එක කුහුඹු ගුලක සිටින කුහුඹු ප්‍රමාණය ගැන සිතන විට මේ ලෝකයේ තිරිසන් සතුන් කොයි තරම් සිටිනවාදැයි සිතා ගන්න පුළුවන්. කෝටි ප්‍රකෝටි ගණනින් සිටිනවා. අන්න ඊටත් වැඩියි භූතයෝ. කල්ප කාලාන්තරයන් තිස්සේ ලෞකික සම්පත් කෙරෙහි ආශාවෙන්, තණ්හාවෙන්, තරහවෙන්, වෛරයෙන් මැරුණු හැම කෙනකුම උපදින්නේ භූතාත්මවල හා නිරයවල.
මෙලොව පවත්නා භෞතික සම්පත් හා පුද්ගලයන් කෙරෙහි බැඳුණු තණ්හාව නිසා උපාදාන කරගත් ඇලීම් හා ගැටීම් මරණයේදී සිහිපත්වීමෙන් මෙසේ දුගතිගාමී වෙති. මිනිස් ජීවිතයකින් නික්ම ගොස් භූතාත්ම ලබා පෙර ආත්මයේ හැඩ හුරුකම් සහිත සියලුම ශරීර දරා කොපමණ කලක් යනතුරු (ඒ පැරණි හැඩහුරුව දරා) සිටී දැයි නිශ්චය කළ නොහැකියි.

මොග්ගල්ලාන මහ තෙරුන් වහන්සේ හා ලක්ඛණ මහ තෙරුන් වහන්සේ පිළිබඳ පාරාජිකා පාලියේ චතුත්ථ පාරාජිකාවේ සඳහන් පුවත්හි මිනිස් ඇසට නොපෙනෙන ශරීරවලින් දුක් විඳිමින් සිටි භූතයන් ගැන සඳහන් වෙනවා. ඒ පූර්ව ජාතිවල කළ වැරදිවලට විපාක විඳිමින් සිටි අයයි.

මේ මනුස්ස ලෝකයේ ධන සම්පත් හා බල පුළුවන්කාරකම් ඇති මිනිස්සු බොහෝ දෙනකුට මෙවැනි දුගතිගාමී පරලොවක් ඇතැයි හිතෙන්නේ නැති තරම්. ඒ තරමටම කාම සම්පත්වල ඇලී ගැලී ජීවත්වන්නේ. ඔවුන්ට සිත පිළිබඳව සිතේ ක්‍රියාකාරීත්ය පිළිබඳව, ධනය හා බලය තර කර ගැනීම සඳහාම පහළ වන සිතිවිලි පිළිබඳව, ඒවායේ පාපී අකුසල බව පිළිබඳව හිතෙන්නේ නැහැ. තණ්හාව නිසාම හිතෙන්නේ නැහැ. මේ වගේ අය මරණයෙන් පසු කෙළින්ම යන්නෙ අපායට. ඒ වගේ බලවතුන්, ධනවතුන්, දේශපාලනඥන්, නිලධාරීන්, මරණයෙන් පසු වැසිකිළිවල ඉපිද දුක් විඳින අවස්ථා අපේ ගවේෂණවලදී අනාවරණය වී තිබෙනවා. ඒ වගේම දුක් විඳින යකැදුරන්, කපුවන්, පූජකයන්, ශ්‍රමණයන් පවා අනන්ත දුක් විඳින භූතාත්මවල ඉපිද සිටිනවා.

මේ දකුණු ජර්මනියේ රොසන්හීම් නගරයේ සිදුවූ දෙයක්. නගරයේ ප්‍රසිද්ධ නීතිඥ මහත්මයකුගේ කාර්යාලයේ 1967 වර්ෂයේ ශීත ඍතුවේ අවුල් සහගත දෙයක් සිදු වුණා. මේ කාර්යාලයේ දුරකතනය ඉබේම නාද වෙන්න පටන් ගත්තා. ඇතැම් විට කාර්යාලයේ තිබුණු සියලුම දුරකතන එකවරම නාද වුණා. කාර්යාලයේ යමෙක් දුරකතනයක් පාවිච්චි කරන විටත් වෙනත් ශබ්දවලින් ඊට බාධා පැමිනුණා.

කාර්යාලයේ ප්‍රධානි මේ පිළිබඳ දුරකතන සමාගමට පැමිණිලි කළා. ඒ දුරකතන සමාගමේ ඉන්ජිනේරුවන් පැමිණ මේ ගැන පරීක්ෂණ කළත් කිසිම වරදක් දෝෂයක් හොයාගන්න බැරිවුණා. ඒත් කිසිම කෙනෙක් පාවිච්චි නොකළ දුරකතනවල පවා ඇමතුම් දුසිම් ගණනින් සටහන් වී තිබුණා. එක් ටෙලිපෝනයක විනාඩි 15ක් ඇතුළත 46 වාරයක් ඇමතුම් ලබා ගත් බව සටහන් වී තිබුණා. එයින් පැහැදිලි වන්නේ එක් විනාඩියකට ඇමතුම් තුනක් ලබා ගත් බව. අසාමාන්‍ය වේගයකින් දුරකතන අංක කරකැවීම සිදු වී තිබෙනවා. මේක පටන් ගත්තේ 1967 ශීත ඍතුවේදීයි. ගී්‍රස්ම ඍතු වන විට කලබල තත්ත්වයත්, ටෙලිපෝන් බිලත් ඉහළ ගිහින් තිබුණා. මේ වන විට කාර්යාලයේ වෙනත් උපකරණද අසාමාන්‍ය ලෙස ක්‍රියාත්මක වෙන්නට පටන් ගත්තා. ටියුබ් ලාම්පු ඉබේටම නැවී ගැළවී යන්නට වුණා. විදුලි පහන් පුපුරන්න පටන් ගත්තා. මේසවල ලාච්චු ඉබේම එළියට ඇදී එන්නට පටන් ගත්තා. බිත්තිවල එල්ලා තිබූ පින්තූර රාමු කැරකෙන්නට වුණා. හිටි හැටියේ හේතුවක් නැතුව විදුලි බලය නිෂ්ක්‍රිය වුණා. මේ ප්‍රශ්න විසඳන්නට ආ ටෙලිපෝන් ඉන්ජිනේරුවන් හා විදුලි ඉන්ජිනේරුවන් හේතු සොයා ගත නොහැකිව පරාජය වුණා. භෞතික පැත්තෙන් විද්‍යා තාක්ෂණ අතින් ප්‍රශ්නය නොවිසඳුණාම අන්තිමේ ඊට පරිබාහිර විසඳුම් සොයන්නට සිදු වුණා.

මේ කාර්යාලයේ සිදුවන අස්වාභාවික කරදරකාරී තත්ත්වය කුමක් දැයි සොයා බලන්නට ජර්මනියේ, ප්‍රසිද්ධ අපර මනෝ විද්‍යාඥයකු වූ ආචාර්ය, හැන්ස් බෙන්ඩර් කැඳෙව්වා. මේ වගේ සිද්ධි පිළිබඳ දැකබලා බොහෝ පළපුරුද්දක් ඇති බෙන්ඩර් මහතා හා ඔහුගේ කණ්ඩායම මේ කාර්යාලයට පැමිණ පරීක්ෂණ පවත්වා මෙය "පොල්ටගීස්ට්" නමින් හඳුන්වන භූත වර්ගයට අයත් භූතයකුගේ ක්‍රියාවක් බව තීරණය කළා.

මේ පොල්ටගීස්ට් වර්ගයට අයත් භූතයන් ගැන විවිධ රටවලින් ලබාගත් තොරතුරු පරීක්ෂණයට භාජන, කළ කෙනෙක් තමයි මහා බි්‍රතාන්‍යයේ ආචාර්ය හැරී ප්‍රයිස්, ඔහුගේ පරීක්ෂණවලට අනුව මේ පොල්ටගීස්ට් වර්ගයේ භූතයා සාපරාධී, විනාශකාරී, කරදරකාරී, නපුරු, සොරගති ඇති, වැඩකට නැති, ද්වේෂ සහගතව කටයුතු කරන, කිසි කෙනකුට බය නැති, වංචාකාර අමනුෂ්‍යයෙක්. මයිකල් ගොස් නමැති බි්‍රතාන්‍ය ලේඛකයා ලෝකය පුරා විවිධ රටවල මෙබඳු ඇත්දැකීම් දහසකට වඩා එකතු කැර පොතක් සකස් කැර තියෙනවා. මේ වර්ගයේ භූතයන්ට විවිධ වේෂයන්ගෙන් පෙනී සිටින්නත් පුළුවන්. ඉතා බර බඩු පවා ඔසවා විසි කරන්නට පුළුවන්. තෙල් භාජන පවා ඉහිරවා තිබෙනවා. සංගීත භාණ්ඩ ඉබේ වාදනය කෙරෙනවා පෙනෙන්නේ මේ භූතයන්ගේ ක්‍රියාකාරකමක්. වාහන පවා ඉබේ ගමන් කරවන්න පුළුවන්.

මෙවැනි භූතයන් තුළ නොසන්සිඳෙන ද්වේෂයක් පවතින බව පෙනෙනවා. එසේ ද්වේෂයක් උපාදාන වශයෙන් සිත්හි තැන්පත්ව ඇත්තේ පුද්ගලයා භූතයකුව උපදින්නට පෙර ආත්මභවයේ අනුන් කෙරෙහි තරහවෙන් වෛරයෙන් කේ‍රා්ධයෙන් ඊර්ෂ්‍යාවෙන් යුක්තව ජීවත්ව ඇති බැවිනි. එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා බුදු දහමෙහි මෛත්‍රි භාවනාව නිතර නිතර භාවිත කරන්ට උගන්වයි. කෙනකුගේ ජීවිතය සැනසිලිදායක කිරීමට මෛත්‍රි භාවනාව ක්‍රියාත්මක වන ආකාරය මෙත්තානිසංස සූත්‍රයේ උගන්වයි එසේම මෛත්‍රි වඩන්නා යක්ෂ ප්‍රේතාදී අමනුස්සයන් වී දුගතිගාමී නොවන බවද මරණින් මතු බ්‍රහ්ම තලයන්හි උපදින බව ද උගන්වයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon