පහන් ලක්ෂයක් දල්වා සිරි දළදා හිමි පිදූ රාජාධි රාජසිංහ රජුගේ සැඟවුණු තොරතුරු

  👤  3977 readers have read this article !
2017-10-29

කුඩා කල පටන් කන්ද උඩරට හැදී වැඩුණු හෙයින් ශ්‍රී රාජාධි රාජසිංහයන් උඩරැටියකු ලෙස හැදී වැඩුණු බවත් එවකට මල්වතු විහාරයේ නායක හිමියන්ගේ දක්ෂතම ශිෂ්‍යයකු වූ බවත් ඉතිහාසයේ ලියවී තියෙනවා. භාෂා බොහොමයක් උගත් රාජාධි රාජසිංහයන් කාව්‍ය රසිකයකු මෙන්ම දක්ෂ කවියෙකු ද වෙලා තියෙනවා. කොහොම නමුත් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමන්ටත් දරුවන් නොහිටපු නිසාවෙන් ඔවුන්ගෙන් අනතුරුව 1782දී රජකමට පත් වෙන්නේ මේ ශ්‍රී රාජාධි රාජසිංහ රජතුමන්. ඒ උඩරට තුන්වැනි නායක්කර් රජතුමන් විදියට.

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමන් ඇති කළ ශාසනික ප්‍රබෝධය තමන්ගේ රාජ්‍ය කාලයේදී ද ඒ විදියටම පවත්වාගෙන යන්න කටයුතු කළ ශ්‍රී රාජාධි රාජසිංහ රජතුමන් නිතිපතා දළදා පූජා පවා පවත්වමින් මහා සංඝයා විෂයයෙහි පැවැත්වූ දන් වැට ද එලෙසින්ම පවත්වාගෙන යන්න කටයුතු කරලා තියෙනවා. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමන්ගේ රාජ්‍ය කාලයේ දී සියමෙන් ලක්දිවට වැඩම කොට නැවත උපසම්දාකර්මය ඇති කළ උපාලි නම් මහා තෙරුන් රාජාධි රාජසිංහ රජතුමන් විසින් වැඩම කරවනු ලැබ සෙංකඩගල නුවර දකුණු දෙසින් වූ පුෂ්පාරාම නම් විහාරයේ වාසය කිරීමට සලස්වා එහිදී ඥත්තිදුතිය නම් විනය කර්මයක් ද සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සැලසුවා කියලයි කියවෙන්නේ. ඉන් අනතුරුව පුෂ්පාරාමයේ පෝය ගෙය යළිත් ගොඩනංවා සිවු දිග මහා සංඝයා වහන්සේට පූජා කළ බවත් සඳහන්.

ඒ වගේම ශ්‍රී රාජාධි රාජසිංහ රජතුමන් එක් රාත්‍රියක පහන් ලක්ෂයක් දල්වා දළදා හාමුදුරුවන් පුදන්න කටයුතු කරලා තිබෙනවා. තමන්ගේ ශරීර ප්‍රමාණයට ලෝහමය බුද්ධ ප්‍රතිමාවක් ද කරවා තියෙන රජතුමන් ගංගාරාම විහාරයේ දැකුම්කලු චෛත්‍යයක් ද ගොඩනංවා තිබෙනවා. වාර්ෂිකව මහා කඨින පූජෝත්සව පැවැත්වීමට ද මෙතුමන් කටයුතු කර තිබෙනවා. මෙවැනි බොහෝ ආගමික කටයුතුවලට උර දීලා තියෙන ශ්‍රී රාජාධි රාජසිංහ රජතුමන් දැහැමි රජ කෙනෙක් කියලා ආයෙත් කිව යුතු නැහැ.
රාජාධි රාජසිංහ රජතුමන් නායක්කර් වංශික රජකු වුණත් සිංහල රජ කෙනකුටත් වඩා පාලි, සංස්කෘත, සිංහල භාෂා ගැන අපූර්ව දැනුමක් තිබූ කෙනෙක්. අසදෘශ මහා ජාතක කාව්‍යයට සිංහල සන්නස ලියලා තියෙන්නෙත් මේ රාජාධි රාජසිංහ රජතුමන්මයි.

රාජාධි රාජසිංහ රජතුමන්ගේ කාලය හෙළදිවට දේශපාලනික වශයෙන් වැදගත් වූ කාලයක්. ඒ කාලයේදී ඉංග්‍රීසීන්ගේ බලපෑම් විතරක් නෙවෙයි. උඩරට අල්ලගන්න වෙර දරන ලන්දේසීන් සේම ත්‍රිකුණාමලය වරාය අල්ලාගන්න වැර දරන ප්‍රංශ ජාතිකයන්ගෙනුත් විවිධ බලපෑම් එල්ල වූ කාලයක්. ඒ වගේම මේ ත්‍රිකුණාමල වරාය අල්ලාගන්නට බි්‍රතාන්‍යයන් සහ ප්‍රංශ ජාතිකයන් යුද වැදුණේ මේ කාලයේදීයි.
1791දී රාජාධි රාජසිංහ රජතුමන් උඩරට ආරක්ෂා කර ගැනීම සඳහා දේශසීමාවලට ආරක්ෂක හේවායන් යෙදෙව්වා. එය දැනගත් පහතරට පාලනය නතුකරගෙන සිටි ලන්දේසීන්ද ඔවුන්ගේ දේශ සීමාවලට ආරක්ෂක භටයන් යෙදෙව්වේ උඩරටින් පැමිණ පහතරට අල්ලා ගනීවි කියන බයෙන්.
පසුව ඇතිකරගත් සම්මුතියකට අනුව දෙපිරිසම දේශසීමාවල උන්නු ආරක්ෂකයන් ඉවත් කරගත්ත ද එකල හැම මොහොතකම රජුගේ රාජ්‍ය බලය බිඳ දැමීම සඳහා මාන බලමින් සිටි පිළිමතලව්වේගේ ඔත්තුවක් නිසාවෙන් ලන්දේසීන් සහ උඩරට රජු අතර ආයේ හිත් අමනාපකම් ඇති වුණා. පිළිමතලව්වේ විසින් ලන්දේසීන් වෙත දෙන ලද ඔත්තුව නිසාවෙන් ලන්දේසීන්ට විරුද්ධව කටයුතු කිරීම සඳහා රාජාධි රාජසිංහ රජු ප්‍රංශ ජාතිකයන් වෙත යවන ලද රහස් හසුනක් ලන්දේසීන් විසින් මඟදී අත්පත් කරගනු ලැබුවා.
කොහොම නමුත් ඔය කාලේදී බි්‍රතාන්‍යයෙන් නියෝජිතයකු එනවා රාජාධි රාජසිංහ රජුව හම්බවෙන්න. ඒ ලන්දේසීන් රටෙන් එළවලා දාන්න සහයෝගය ඉල්ලගෙන. නමුත් දුරදිග කල්පනා කරන රාජාධි රාජසිංහ රජු එයට කැමැති වෙන්නේ නැහැ.

ඉංග්‍රීසීන්ගේ අරමුණ වුණේ මුළු ලංකාවම අල්ලා ගැනීම වන නිසාවෙන් කවදාහරි උඩරටටත් බලපෑම් කරාවි කියන දේ රජු හිතන්නට ඇති. කොහොම නමුත් රජුගේ අනුදැනුමකින් තොරව ඉංග්‍රීසීන් ලන්දේසීන් සමඟ යුද වැදී ලංකාවම අල්ලා ගන්නවා. උඩරටට ඊළඟට ඉංග්‍රීසීන් ඒවි කියන සැකය තිබුණු නිසා උඩරට හමුදා සන්නද්ධව තියාගන්න රජු කටයුතු කළා. නමුත් ඉංග්‍රීසීන් සුදුසු කාලය එළැඹෙන තෙක් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළා.

රාජාධි රාජසිංහ රජුගේ මෙවැනි රාජ්‍ය ප්‍රතිපත්ති රැසක් ඉතිහාසයේ දක්නට ලැබෙනවා. රාජාධි රාජසිංහ රජු ලේසියෙන් කිසිවකුට නැමෙන රජකු වුණේ නැහැ. තීරණයක් ගත්තත් ගන්නේ බොහෝ හිතා බැලීමෙන් අනතුරුවයි කියලා තමයි ඉතිහාසයේ පෙන්වා දෙන්නේ.
1798 ජූලි මාසේ 28 වැනිදා දවසක රාජාධි රාජසිංහ රජුගේ මරණය සිදු වුණා කියලා ඉතිහාස පොත්වල ලියවුණත් ඒ ඉතිහාසයේම තවත් අතුරු කතාවකුත් ලියවෙනවා. එනම් බල ලෝභයෙන් මත් වුණු පිළිමතලව්වේ සහ රජු හදා වඩා ගත්තු රජුගේ ඥාති පුත්‍රයා වූ කන්නසාමි කුමාරයාගේ කුමන්ත්‍රණයක් නිසා රජුව බොරු වළක වට්ටවා මරා දැමුවායි කියන කතාව.
ඒ වගේම රජුගේ මරණය සිදු වී දින ගණනාවකට පසුව ඒ ගැන රටට දැනුම දෙන්න පිළිමතලව්වේ කටයුතු කරලා තියෙනවා. ඒ ඊළඟ රාජ උරුමය වෙනුවෙන් කන්නසාමි කුමාරයාගේ නම ස්ථීර වන තෙක්.

කොහොම නමුත් රාජාධි රජුගේ අභාවයෙන් පසුව මේ කන්නසාමි කුමාරයා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු නමින් රජ වෙනවා. ඒ වගේම පසුකාලීනව මේ කන්නසාමි කුමාරයා එහෙම නැත්නම් මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිළිමතලව්වේගේ හිස ගසා මරාදමනවා.
මේ සියලු මරණවලට මූලිකම කරුණ වෙන්නේ බල ලෝභය. ඒ වගේම ඉතිහාසයේ ලියවෙන තවත් අපූරු කතාවක් තමයි පිළිමතලව්වේ යනු කන්නසාමි කුමාරයාගේ පියා කියන කතාව.

කොහොම නමුත් බල ලෝභයෙන් මුසපත් වුණු ශ්‍රී වික්‍රම රාජසිංහ තමන්ගේ පියාණන්ව සහ තමන් හදාවඩා ගත් තමන්ගේ සුළු පියාණන්ව මරා දැමුවා සේම රාජාධි රාජසිංහ රජුගෙන් අනතුරුව ලංකාවේ රජු විදියට රජ වෙනවා. කොහොම නමුත් ඔහු තමයි ලංකාවේ අවසන් රජු වෙන්නෙත්.
එස්. රණසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon