එදා මාතොට අද මන්නාරම් තොට පිළිබඳ රහස් එළියට

  👤  4291 readers have read this article !
2017-10-29

පුරාණ ලංකාවේ අනුරාධපුර අග නගරයේ සිට සතර දිසාවන්ට මුහුණලා වාසල් හතරක් තිබුණු බවත්, එම වාසල් හතර සම්බන්ධ වී ප්‍රධාන මාර්ග සතරක් තිබුණු බවත් මහාවංසය නමැති අපගේ ඉතා අගනා ඓතිහාසික තොරතුරු අඩංගු පැරැණි ග්‍රන්ථයෙහි සඳහන් වේ. ඒ අනුව මේ මාර්ග සතර වයඹින් වූ මහා තීර්ථය, උතුරේ ජම්බුකෝල පට්ටනය (සෙම්බිල්තුරේ) නැඟෙනහිර ගෝණගම පට්ටන සහ මහා කන්දරගං මෝය පිහිටි තොට යන ප්‍රධාන වරායන් සතර හා සම්බන්ධ වී තිබුණු බව එම වංස කතා සඳහනින් පැහැදිලි වේ.

සිංහල සාහිත්‍යයෙහි හා ශිලා ලේඛනවල පැරැණි වරාය වූ මහා තිත්ථය ගැන සඳහන් වන්නේ විවිධ නම්වලිනි. ඒවා නම් මහවොට්, මහපුටු, මහවුටු, මහවතුතොට, මහ පටුන සහ මාතොට යන නාමයන්ය. ක්‍රිස්තු වර්ෂ දෙවැනි සියවසේදී සකස් කළ ටොලමිගේ සිතියමෙහි මාතොට ගැන සඳහන් වන්නේ මො‍ෙදාස්තු යන නාමයෙනි.
පැරැණි ශ්‍රී ලංකාවේ වරායන් අතරේ ප්‍රමුඛතම වරායක් ලෙසින්ද, මාතොට හෙවත් මහා තිත්ථ අන්තර්ජාතික වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙසින් ද පැවැති බවට ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාක්ෂි අද අපට හමුවී ඇත. මන්නාරම් දිස්ත්‍රික්කය තුළ සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය පැතිරී තිබුණු බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි රැසක්ම දක්නට ලැබේ.
ඉන්දියන් සාගරයේ මුහුදු වෙළෙ¼දාමෙහි මධ්‍යස්ථානයක් මෙන්ම හුවමාරු මධ්‍යස්ථානයක් හැටියටද පැරැණි ශ්‍රී ලංකාව ක්‍රිස්තු වර්ෂ හය වැනි සියවසේදී විශාල වාණිජ වැදගත්කමක්ද ඇතිකර ගත්තේය. බටහිර පර්සියානු යාත්‍රිකයෝද ඉන්දියානු නැව් සහ චීනය සහ අනෙකුත් අෑත පෙරදිග රටවල යාත්‍රිකයෝද වෙළෙන්දෝද මහාතිත්ථ වරායේදී මුණගැසී ඔවුන්ගේ වෙළෙඳ භාණ්ඩ හුවමාරු කරගත් මහා වෙළෙඳ මධ්‍යස්ථානයක් හෙවත් එම්පෝරියම් නමින් අද හඳුන්වනු ලබන තත්ත්වයක් එදා මාතොටට හිමිවී තිබිණි. මේ තත්ත්වය ක්‍රිස්තු වර්ෂ දසවන සියවස දක්වාත් පැවැති බවට එතිහාසික හා පුරාවිද්‍යාත්මක සාක්ෂි අපට කැණීම්වලදී ලැබී ඇති පුරාවස්තුවලින් පැහැදිලි වේ.

මෙම මතුපිට දක්නට ලැබෙන පුරාවිද්‍යාත්මක අවශේෂවලට යට ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් සාක්ෂි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හමුවී ඇත. ඒ අනුව පැහැදිලි වන්නේ මේ ස්ථානය ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම ජනාවාස වී තිබුණු බවකි. මාතොට වරාය අසල ප්‍රදේශයේ මතුපිටින් ලැබෙන චීන මැටි බඳුන් කැබලි සහ නැඟෙනහිර දිග රටවල තිබූ පිඟන් හා වීදුරු භාණ්ඩ කැබැලි යටත් පිරිසෙන් ක්‍රිස්තු වර්ෂ දහවැනි සියවසටවත් අයත් වේ. මීට කලින් ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ දෙවැනි සියවස දක්වා වූ කාලය අයත් වූ ස්ථරයන්ගෙන් (කැණීම් අනුව) ලැබෙන්නේ කළු, රතු, මැටි බඳුන් කැබලි ඔප දැමූ බඳුන් සහ ඉන්දියාවේ අරිකමේඩු නම් ස්ථානයෙන් ලැබෙන වර්ගයේ භාජන කැබලිය.
ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාත්මක සාක්ෂි ලැබී ඇත්තේ මීටත් යට ස්තරවලිනි. බටහිර ආසියාව හා රෝමය සහ චීනය අතර සිදුවූ පැරැණි වෙළෙඳ ගනුදෙනුවලදී මේ අනුව මාතොට වරාය ප්‍රධාන සන්ධිස්ථානයක් ලෙසින් පැවැති බවට පුරාවිද්‍යාඥයන් විසින් හඳුනාගෙන ඇත.
මේ ප්‍රදේශයේ ඉතිහාස වංසකතා අනුව ක්‍රිස්තු පූර්ව හයවැනි සියවස දක්වා අෑතට දිවෙයි. මහාවංසයේ දැක්වෙන පරිදි විජය කුමරු සහ පිරිස ගොඩ බැස ඇත්තේ මාතොටට දකුණින් පිහිටි වෙරළබඩ ප්‍රදේශයකටය. පැරැණි තම්බපණ්ණි ප්‍රදේශය මාතොටට දකුණින් කුදිරමලේ තුඩුව සහිත ප්‍රදේශය අවට පිහිටියේය. එම ප්‍රදේශයද පැරැණි ජනාවාස තිබුණු බවට සාක්ෂි අපට හමු වී ඇත. මහාතිත්ථ හෙවත් මාතොට පිළිබඳ මහාවංසයේ බොහෝවිට සඳහන් වන්නේ ලංකාවට සිදුවූ පරසතුරු ආක්‍රමණ පිළිබඳවය. ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේ දී එළාර හමුදාවක් රැගෙන ලංකාවට ගොඩබට ස්ථානය මහාතිත්ථයයි. සිංහල දේශය පරසතුරු උවදුරුවලින් බේරා ගැනීමට සටන් කළ මහා කළු සිංහලයා වූ දුටුගැමුණු රජුගේ සටනින් එළාර රජ මරණයට පත්වී දින හතකින් පසු ඔහුගේ බෑනා කෙනෙක් වූ භල්ලුක සෙනෙවියා හමුදාවක් සමඟ මහාතිත්ථයට ගොඩ බැස අනුරාධපුර දෙසට ගමන් කළ බව මහාවංසය සඳහන් කරයි.

වළගම්බා රාජ (ක්‍රි. පූ. 89 - 77) යුගයේදී දකුණු ඉන්දියාවෙන් පැමිණි සතුරු හමුදාව ද පැමිණ ඇත්තේ මහාතිත්ථයට ගොඩ බැසීමෙනි. මෙහි දී ග්‍රාම යන්න නැතිව මහාතීර්ථ යන්න යෙදීමෙන් නාගරික ප්‍රදේශයක් ලෙසින් තිබූ බව විද්වතුන්ගේ අදහසයි. සහස්සවත්ථු, රසවාහිනී හා මහාවංසටීකාව වැනි ග්‍රන්ථවල ද මහාතීර්ථය හෙවත් මාතොට ගැන සඳහන් වේ.

මාතොට වෙළෙඳ මධ්‍යස්ථානය වැඩිකල් නොගොස් පරිපාලන මධ්‍යස්ථානයක් බවටද පත්වූ බවට සාක්ෂියක් ලෙස ඉතා අගනා ටැම් ශිලා ලිපියක් මන්නාරම කච්චේරිය අසලින් සොයා ගෙන ඇත. ක්‍රිස්තු වර්ෂ නව වැනි ශත වර්ෂයට අයත් මෙම ටැම් ලිපිය අනුව මාතොට පිහිටි නැව්තොට භාරව සිටි "මහපුටුලද්දා" නමැති නිලධාරියෙක් පිළිබඳ සඳහන් කරයි. මෙහි පාලකයකු සිටි බව රසවාහිනී නම් පැරැණි පාලි ග්‍රන්ථයෙහිද සඳහන් වී ඇත.
අනුරාධපුරයේ රජ කළ පස්වැනි කාශ්‍යප රජුගේ (ක්‍රි.ව. 914 - 923) ශිලා ලිපියක්ද මාතොට ගමේ තිබී හමු විය. එහි අනුරාධපුරයේ මහා විහාරයේ "බහදුරු සෙන්" නමැති පධානඝරයකට ගම්වර තුනක් දුන් බව සඳහන් කර ඇත. මේ ගම් සියල්ලම පිහිටා තිබුණේ උතුරේය. ඒවා මහාතිත්ථය අසල විය. පස්වැනි කාශ්‍යප රජුගේම තවත් සෙල්ලිපියක මහවොට්යෙහි යනුවෙන් පරිහාර දීමනාවක් ගැන සඳහන් වේ.

පැරැණි සිංහල රාජධානිය චෝල බලයෙන් මුදාගත් මහ විජයබා රජුද මහපැරකුම්බා රජුද ඔහුගේ සටන්වලදී මහාතිත්ථය පිළිබඳ සඳහන් කරන මහාවංසය එම කාලයේදීද විදේශීය රටවල් හා ලංකාව අතර සබඳතා තිබුණු ප්‍රධාන වරායක් ලෙසින් මාතොට සඳහන් කළ යුතුව ඇත.

පැරැණි උතුරු පළාතට වර්තමාන මන්නාරම් දිස්ත්‍රික්කයද ඇතුළත් විය. මේ උතුරු පළාතම පාලි වංස කතාවල සඳහන් වන්නේ උතුරපස, උතුර්පස යන නම්වලිනි.
මහාතිත්ථය මේ අනුව ඉතා පැරැණි යුගයේ සිට අන්තර්ජාතික සබඳතා පැවැත්වූ වරායක් වූයේය. මෙම මාතොට ද අනුරාධපුර හා පොළොන්නරුව මෙන්ම පැරැණි ප්‍රාකාරයකින් වට වූ බවට කැණීම්වලින් හමුවී ඇති නටබුන්වලින් පැහැදිලි වේ. මෙම අන්තර්ජාතික වෙළෙඳ මධ්‍යස්ථානය අනුරාධපුර හා සමඟ මෙන් සීගිරිය හා පොළොන්නරුව වැනි ප්‍රධාන නගර සමඟ ද පැරැණි යුගයේ සබඳතා පවත්වා ඇති අතර සිංහල රාජධානියට යටත්ව පැවැති බවද මේ සාක්ෂි අනුව පැහැදිලි වේ.

සුභානි එම්. ආරච්චිගේ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon