අලුත් පරපුරට අමරදේවයන් හිටියත් එකයි නැතත් එකයි

  👤  4241 readers have read this article !
2017-10-29

පණ්ඩිත් අමරදේවයන් යනු හෙළයේ ගාන්ධර්වයාය. දේශීය සංගීතයේ සුවිශේෂී සුගායන ලකුණය.
එතුමා වියෝවී වසරක් සපිරෙන මොහොතේ මහාචාර්ය සුනිල් ආරියරත්න සමඟ "මව්බිම" කළ සංලාපයකි මේ.
පණ්ඩිත් අමරදේවයන් යනු මෙරට සුවිශේෂී සංගීත සලකුණයි. එතුමා වියෝ වී දැන් වසරයි.

අවුරුද්දක් ගෙවී ගියත් පණ්ඩිත් අමරදේවයන් තවමත් අප අතර ජීවත් වෙනවා කියන හැඟීම තමයි නිරන්තරයෙන් දැනෙන්නේ.
එතුමන්ගේ කටහඬ තවමත් අපේ දෙසවන් තුළ රැව් පිළිරැව් දෙනවා. මෙහෙම වෙන්නේ කිසිදු මාධ්‍යයක අමරදේවයන්ගේ ගීත සතුටුදායක විදියට ප්‍රචාරය නොවන පසුබිමකයි.
රූපවාහිනි හා ගුවන් විදුලි මාධ්‍ය ගැන කතා කළොත් එතුමාගේ ගීත ප්‍රචාරය වෙන්නේ අල්ප වශයෙන්. නමුත් දශක ගණනාවක් අපි එතුමාගේ ගීත අහලා එතුමාව ළඟින් ඇසුරු කරලා තිබෙන මතකයන් එක්ක එතුමා මිය ගොසින් කියලා අපට තවම හිතෙන්නේ නැහැ. තවමත් එතුමාගේ ජීවන සුවඳ අපට දැනෙනවා. ඒ සුහද ළෙන්ගතු කතාබහ ඇසුර අපේ මතකයේ තිබෙනවා. එතුමා අප සමඟ ඇසුරු කළ විදිය තවමත් අප වටා භ්‍රමණය වෙනවා.

මට හිතෙන්නේ අපේ පරම්පරාවේ හැමෝටම මේ සිතුවිල්ල පොදුයි. අපට හිතෙන්නේ එතුමා තවමත් අපි අතර සිටිනවා කියලයි. මේ තත්ත්වය අප ජීවිත අවසාන වනතුරු පවතීවි.
ඔබ විශ්වවිද්‍යාල සිසු සිසුවියන් සමඟ ප්‍රායෝගිකව ඇසුර පවත්වන ගුරුවරයෙක්. අලුත් පරපුර අමරදේව චරිතය ගැන ඇති උනන්දුව කොහොමද?
ඔවුන්ට එහෙම උනන්දුවක් නැහැ. ඇත්ත කතාව ඒකයි. මට හිතෙන්නේ එක්තරා කාලයක මුළු විශ්වවිද්‍යාල පද්ධතියම තිබුණේ ප්‍රබුද්ධ ස්ථානයක. එකල සාහිත්‍ය ගැන කතා කළොත් ඔවුන් කියෙව්වේ වටිනා කියන නව කතා කෙටි කතා හා කවි. ඔවුන් ඇහැව්වේ හරවත් සාහිත්‍ය රසයක් ඇති ගීත.

අද වෙද්දි හාත්පසින්ම මේ තත්ත්වය වෙනස් වෙලා. අද විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන බොහෝ අය ළඟ ජංගම දුරකතන තිබෙනවා. මේ ජංගම දුරකතනවලට යොදාගෙන තිබෙන "රිගින් ටෝන්ස්" ගැන සමීක්‍ෂණයක් කරලා බලන්න. අන්න එතකොට බලාගන්න පුළුවන් මේ ළමයින්ගේ සැබෑ රුචිකත්වය කොහොමද කියලා. මට හිතෙන විදියට ඔවුන්ට අමරදේවයන් ජීවත් වුණත් මියගියත් විශේෂත්වයක් නැහැ.

අමරදේවයන්ගේ ගීතවලට ඇලුම් කළා. එවැනි ගීත උනන්දුවෙන් ඇසූ පරපුර මීට දශක එකකට එකහමාරකට කලින් ඉවර වුණා කියලා තමයි මට හිතෙන්නේ.
කවුද මේ වෙනස ඇති කළේ. කොහොමද ඒ රසාස්වාදය නැති වුණේ.
ඊට සම්පූර්ණයෙන්ම වගකිව යුතු වන්නේ මෙරට විද්‍යුත් මාධ්‍යයයි. ඔවුන් ජනතාවගේ රුචිකත්වය මොට කළා. අද පාසල් අධ්‍යාපනය ලබන දරුවාගේ මෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දරුවන්ගේ රුචිකත්වය මොට වෙලා.
මීට දශක කිහිපයකට පෙර විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ පෙන්වූ නාට්‍ය හා පවත්වපු සංගීත වැඩසටහන් ගැන අවධානය යොමුකර බලන්න. ඒවා හැම එකක්ම ප්‍රබුද්ධ මට්ටමේ නිර්මාණ. ඒත් අද මේ පරිශ්‍ර තුළ පෙන්වන නාට්‍ය හා සංගීත වැඩසටහන් දෙසට හැරී බලන්න. අලුත් පරපුරේ රුචිකත්වය ඔබට එයින් හඳුනා ගන්න පුළුවන්.
අද අමරදේවයන් පමණක් නෙවෙයි ප්‍රබුද්ධ යැයි සඳහන් කිසිදු සංගීත ශිල්පියෙක් මේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඇති ප්‍රසංගවල නැහැ.
සියලු විශ්වවිද්‍යාලවල තත්ත්වය මෙහෙමද?
කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව උගන්වන නිසා ටිකක් විතර එහි උසස් නාට්‍ය කලාවට පැවැත්මක් තිබෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළත් මේ පහත් නිර්මාණවලට ඉඩක් නැහැ.

නමුත් මා උගන්වපු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඇතුළු බොහෝ විශ්වවිද්‍යාල තුළ ඇති රුචිකත්වය ගැන මට කනගාටුයි. මේ විශ්වවිද්‍යාල තුළ පෙන්වන්නේ කසිකබල් නාට්‍ය. සංගීත ප්‍රසංගයක් ගැන කතා කළත් එහෙමයි. බොහෝ විශ්වවිද්‍යාල තුළ ඇත්තේ මෙවැනි පහත් රසාස්වාදයක්.
අලුත් පරපුර පණ්ඩිත් අමරදේව චරිතය හැදෑරිය යුතු ද? කියැවිය යුතුද?

ඔව්. පණ්ඩිත් අමරදේවයන් අධ්‍යයනය කරනවා නම් කියන්නේ සිංහල සංගීතය අධ්‍යයනය කරනවා හා සමානයි. එතුමන් ප්‍රබුද්ධ ගායකයෙක්, විශිෂ්ට වාදකයෙක්. එමෙන්ම වේදිකා මුද්‍රා නාට්‍ය මෙන්ම චිත්‍රපට සඳහා සංගීත අධ්‍යක්‍ෂණය කළ කෙනෙක් නමුත් එහෙම නම් කරලා එතුමන්ව පැත්තකින් තියන්න බැහැ. එතුමා මහා ප්‍රාඥයෙක්.
එතුමාට මම මහා ප්‍රාඥයෙක් කියලා කියන්නේ නිකම්ම නෙවෙයි. පණ්ඩිත් අමරදේවයන් අපට ගැළපෙන සංගීත සම්ප්‍රදායක් සොයමින්, ඒ පිළිබඳව ගවේෂණය කරමින් පර්යේෂණය කරමින් විපුල පල ලබාගත් මහා ගාන්ධර්වයෙක්. ඔහු උත්තර භාරතීය සංගීතය බැහැර කරලා අපට ගැළපෙන සංගීතයක් නිර්මාණය කර ගැනීමට බැරි බව ඔහු හොඳින්ම අවබෝධ කර ගත්තා. එතුමා උත්තර භාරතීය සංගීතය මහා සම්ප්‍රදායක් ලෙස යොදාගෙන අපේ ජන සංගීතය චූල සම්ප්‍රදායක් හැටියට යොදා ගෙන බොහෝ අත්හදා බැලීම් කළා. ඒ වගේම අන්තයට නොයා බටහිර සංගීතයත් ඔහු තරමක් දුරට යොදා ගන්න ඔහු කටයුතු කළා. බටහිර සංගීතය සම්පූර්ණයෙන්ම බැහැර කළේ නැහැ.
කෙසේ හෝ මෙතුමා ගොඩනැඟූ ඒ සම්ප්‍රදාය තමයි දිගින් දිගට විවිධත්වයකින් යුතුව ඉදිරියට ගලාගෙන ආවේ. එතුමා මුල් අවධියේ ආනන්ද සමරකෝන් හා සුනිල් ශාන්ත යන මහත්වරුන් යටතේ ලබා ගත් ආභාසයත් මීට බලපෑවා. එතුමන්ලාට මඟහැරුණු තැන් මෙතුමා හඳුනා ගත්තා.

අලුත් පරපුරේ වගකීම පණ්ඩිත් අමරදේවයන්ට මඟහැරුණු දේ සොයමින් එතුමා හඳුන්වා දුන් මාවත කලඑළි කරමින් ඉදිරියට ගෙන යෑමද?
ප්‍රේමසිරි කේමදාසයන් අත්හදා බැලූ ඇතැම් සංගීත සම්ප්‍රදායන් අත්හදා බලන්න අමරදේවයන් උත්සාහ කළේ නැහැ. උදාහරණ හැටියට කිව්වොත් "සංධ්වනි හා ඔපෙරා" මේවා පණ්ඩිත් අමරදේවයන් පුළුවන්කම තිබුණත් කරන්න උත්සාහ කළේ නැහැ. අන්න ඒ අඩුව තමයි කේමදාසයන් පිරෙව්වේ. අමරදේවයන් මේ "සංධ්වනි" හා "ඔපෙරා" වලට හිත යොමු නොකොළේ ඒවා මේ බිමේ රෝපණය කරන්න තරමක් අපහසු බව දැන ගත් නිසයි.

නමුත් මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ "කරදිය" හා "නල දමයන්ති" කියන මුද්‍රා නාට්‍ය දිහා ඕනෑකමින් බැලුවොත් මෙහි "සංධ්වනි" හා "ඔපෙරා" ශෛලිය මනාව පෙනෙන්නට තිබුණා. "බවකඩතුරාව" හා වෙස්සන්තර නාට්‍යවලත් මේ ලක්‍ෂණ තිබුණා.

මෙයින් පෙනෙන්නේ අමරදේවයන් බටහිර සංගීතය සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කර නැති බවයි.
ඔව්. මෙතුමන් ප්‍රථමයෙන්ම සංගීත අධ්‍යක්‍ෂණය කළේ "රන්මුතුදුව" චිත්‍රපටය වෙනුවෙන්. මෙහි "ගලන ගඟකි ජීවිතේ" කියන ගීතයේ අවසානය බටහිර ගීතිකා කාණ්ඩ යටතේ යොදා ගන්නවා. මෙයින් පෙනෙන්නේ ඔහු තැනට සුදුසු විදියට බටහිර සංගීතය යොදා ගත්තා කියන එක දැන් බලන්න දෙලොවක් අතර චිත්‍රපටයේ "ගයන ගැයුම්" ගීතය. ඒ සඳහා යොදා ගන්නේ "කැලිප්සෝ" ගායන කණ්ඩායමක්. නෙවිල් පෙරේරා කියන බටහිර ශෛලියෙන් ගී ගයන ගායකයෙක්ව ඒ වගේම "බඳුන් පිරී" ගීතය තුළත් බටහිර ආභාසය තදින්ම තිබෙනවා.

අමරදේවයන්ගේ ගීතවල බොහෝ විට තිබෙන්නේ දුක වේදනාව හා ජීවිතයේ යථාර්ථය පිළිබඳවයි. ඔහුගේ සංගීත නිර්මාණ තුළත් මේ ආභාසය තදින් පෙනෙන්නට තිබෙනවා. මෙහෙම වෙන්නේ අපේ ජන සමාජයේ යථාර්ථය ඔහු හොඳින් හඳුනාගත් නිසාද?

අමරදේවයන් සංගීත ශිල්පියෙක් වගේම ඉතා හොඳ සාහිත්‍යවේදියෙක්. මේ නිසාම ඔහු සිංහල සාහිත්‍ය තම නිර්මාණවලට යොදා ගන්න උනන්දු වුණා. ඔහු කර්ණ රසය දනවන ගීත තෝරා ගත්තා. මහගම සේකරයනුත්, මානවසිංහයන්, ඩෝල්ටන් අල්විස්, අරිසෙන් අහුබුදු මෙන්ම රත්න ශ්‍රී ගේ ගීතවලදී පවා ඔහු මේ කර්ණ රසයෙන් උපදින ශෝකය පිළිබඳව අවධානය යොමු කළ බව පෙනෙනවා.
ඔහු තම සමකාලීනයන් සහ අනුප්‍රාප්තික සංගීතඥයන් අතර සාහිත්‍ය දැනුමෙන් උසස් කෙනෙක්. පණ්ඩිත් අමරදේවයන් සිංහල හා ඉංගී්‍රසි භාෂාව ඉතා හොඳින් දැන සිටියා. ඒ භාෂා දෙකෙන්ම සාහිත්‍ය පරිශීලනය කිරීමට ඔහු සමත් වුණා.

ඇල්බට් පෙරේරා කියන සාමාන්‍ය පවුලක කෙනෙක් තමයි උසස් ගාන්ධර්වයෙක් බවට පත් වෙන්නේ. මේ ධෛර්යවන්ත බවත් අලුත් පරපුරට වටිනවා. ආදර්ශයක් වෙනවා.
ඔව්. එතුමන් දුප්පත් වඩු පවුලක දරුවෙක්. එවැනි කෙනෙක් තමයි ලෝක පූජිත කලාකරුවෙක් බවට පත්වෙන්නේ. ලක්‍ෂ ගණන් කලාකරුවෝ ඉන්න ඉන්දියාව වගේ රටකින් "පද්ම ශ්‍රී" කියන විශේෂ සම්මානය ඔහුට පිරිනැමෙනවා. මේක යළි කවදා වේවිද කියලා හිතන්නවත් අපේ රටේ කෙනකුට බැහැ.

ඇත්තටම අලුත් පරපුර මේ ධෛර්යවන්ත චරිතය ගැන අධ්‍යයනය කළ යුතුයි ඒ වගේම ඔහු තුළ ඉතා සුවිශේෂී දෙයක් තිබුණා. ඒ තමයි "අසේව නාච බාලානං - පණ්ඩිතා නනන්ච සේවනා" කියන බුදු වදන ඉතා හොඳින් ප්‍රගුණ කළ හැකියි.

ඔහු මිය යන තුරුම මේ බුදු වදන තුළ සිටියා. ඔහු අප්‍රබුද්ධ ඇසුර වෙනුවට තෝරා ගත්තේ ප්‍රබුද්ධ ඇසුර. යමක් ඉගෙන ගන්න පුළුවන්, දැන ගන්න පුළුවන් දැනුමක් ඇති පුද්ගලයන්ව තමයි ඔහු නිරන්තරයෙන්ම ඇසුරු කළේ. ඒක අමරදේවයන් තුළ තිබුණු සුවිශේෂී චරිත ලක්‍ෂණයක්. එතුමා මුල් කාලයේදී ඇසුරු කළේ කුමාරතුංග මුනිදාසයන්ව, මහාචාර්ය සරච්චන්ද්‍රයන්ව, ලෙස්ටර් ජේම්ස් පීරිස් හා චිත්‍රසේන වැනි දැවැන්තයන්ව. එතුමන් මිය යන තුරුම ඇසුර පැවැත්වූයේ මෙවැනි උගතුන් සමඟයි.
පණ්ඩිත් අමරදේවයන් ලොකු පෝසතෙක් නෙවෙයි. එතුමන් ජීවත් වුණෙත් බොහොම සරලව.

වෘත්තීමය ගායකයෙක් හැටියට මේ වගේ රටක ජීවත් වීම අපහසුයි. එහෙම කරලා දරු පවුල් නඩත්තු කරන්න බැහැ. අමරදේවයන් මුලදී ජීවත් වුණේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සහ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සේවය කරලා ලබාගත් වැටුපෙන්. ඉන් පසුව යම් යම් ආයතනවල උපදේශකවරයෙක් විදියට සේවය ලබා දීලා සුළු වැටුපක් ලබා ගත්තා.

එහෙන් අපි දන්නවා ඔහුට කෝටි ගණන් මුදල් අරගෙන පෝසත් වෙන්න ඕනෑ තරම් අවස්ථා තිබුණු බව. ඔහුට සංගීත කණ්ඩායමක් එක්ක නව රිද්මයට ගී ගයන්න ඇරැයුම් කළ අවස්ථාව මගේ මතකයට එනවා. ඔහු ඒ ඇරැයුම ප්‍රතික්‍ෂේප කළේ ලැබෙන ලොකුම ලොකු මුදල පැත්තකට දමලයි.
ඊළඟට ලොකු ලොකු දේශපාලනඥයෝ සල්ලි මිටි තියලා දේශපාලන වේදිකාවට ගොඩවෙන්න කියලා කතා කළා. ඒත් එතුමා ඊට කැමැති වුණේ නැහැ.
එතුමා ජීවත් වුණේ පුංචි ගෙදරක. පාවිච්චි කළේ කුඩා වාහනයක්. තමන්ගේ පුතාට ගෙයක් හදන්න දුන්නේ පදිංචි වෙලා ඉන්න ගෙදර පැත්තක කොටසක්. මේ අග්‍රගණ්‍ය සංගීතවේදියා මන්දිරයක ඉන්න ඕන කෙනෙක්. ඒවා අපිත් දකින්න කැමැතියි. නමුත් ඔහු ප්‍රතිපත්ති ගරුකව ජීවත් වුණා. මේ අල්පේච්ඡ ජීවිතයට විමලා අමරදේව මැතිනියගේ රුකුලත් විශාල පිටිවහලක් වුණා.

අමරදේවයන් කියන්නේ පුංචි ලෑලි කඩයකින් තේ කෝප්පයක් බොන්න වුණත් කැමැති සරල මනුස්සයෙක්. ඔහු තමන්ගේ දරුවන්ටත් ඒ ආභාෂය ලබාදී තිබෙනවා.
පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන් මේ වන විට ගොඩනඟන "අමරදේව අසපුව" ගැන එතුමා ජීවත්ව සිටියදී ලොකු උනන්දුවකින් පසු වුණා.

ඔව්. දැන් මේ වැඩකටයුතු ඇරැඹී තිබෙනවා. අමරදේවයන්ට වුවමනා වුණේ "අමරදේව අසපුව" සාම්ප්‍රදායක විදිහට සංගීත පන්ති පවත්වන ආයතනයක් කරන්න නොවෙයි. එතුමන්ට වුවමනා වුණේ, අමරදේව අසපුව තුළ සංගීත පුස්තකාලයක්, විවිධ රටවල සංගීතය ශ්‍රවණය කළ හැකි ශ්‍රවණාගාරයක්, දෙස් විදෙස් ශ්‍රාස්ත්‍රීය සංගීත ශිල්පීන්ට ප්‍රසංග පැවැත්විය හැකි ශාලාවක් හා සංගීත පුහුණුවීම සඳහා අවශ්‍ය ශාලාවක් ඒ තුළ ස්ථාපිත කරන්නයි. මම විශ්වාස කරනවා ඉදිරියේදී ගොඩනැඟෙන "අමරදේව අසපුව" තුළ මේ දේවල් ස්ථාපිත වේවි කියලා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon