තුන්වෙනිදා මෛත්‍රි-මහින්ද හමුවෙයි ද ?

  👤  5087 readers have read this article !
2017-10-29

පක්ෂ භේදභින්න වීම බහුලව සිදුවන්නේ පරාජය වූ විටය. එහි ආදීනව ගිය දශක දෙක තුළ වැඩියෙන්ම අත්වින්දේ එක්සත් ජාතික පක්ෂයයි. කැරැලි පිට කැරැලි සේම බුරුතු පිටින් පක්ෂය මාරු කිරීම් එක්සත් ජාතික පක්ෂය මොනවට අත්වින්දේය.

දැන් ඒ ආදීනව අත්විඳින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ය. එහි එක් පිරිසක් ඒකාබද්ධ විපක්ෂය බවට පත්ව සිටින අතර අනෙක් පිරිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස ආණ්ඩුව සමඟ එක්ව කටයුතු කරයි. කෙසේ වෙතත් මීළඟ මැතිවරණය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය ඉන්නේ තීරණාත්මක "අවුලකය." එකට යනවද, වෙන්ව යනවද? යන කාරණය ගැන තීන්දුවකට එන්නට
දෙපාර්ශ්වයටම දැන් සිදුව තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සාකච්ඡාවක් එළැඹෙන තුන් වැනිදා ජනපති මෛත්‍රිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
එහිදී එළැඹෙන පළාත් පාලන මැතිවරණය පිළිබඳ විශේෂ තීරණ රැසක් ගැනීමට නියමිත බව වාර්තා වේ.

මේ අතර හිටපු ජනාධිපති මහින්දගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ විශේෂ රැස්වීමක් 03 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සාකච්ඡාව ස¼දහා

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් සහභාගි වන්නේද යන්න පිළිබඳ එහිදී තීරණය කිරීමට නියමිතය. ඒ අනුව මෛත්‍රි කැඳවා ඇති රැස්වීමට සහභාගී වනවාද නැද්ද යන තීරණය මහින්දලා තුන්වන දා ගනු ඇත. ඒත් සමග පක්ෂයේ අනාගතය ගැන "තීරණාත්මක" තත්ත්වයට දෙපාර්ශවය මුහුණ දෙනු ඇත.

කැබිනට් හමුව දැන් නිරන්තරයෙන් උණුසුම් මුහුණුවරක් ගනී. එකිනෙකා අතර පරස්පරතා ඉස්මතුවන තැනක් බවට එය පත්ව තිබේ.
මෙවර කැබිනට් හමුව ජනපති මෛත්‍රිගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෛත්‍රි පැමිණෙන විට එක්තරා ඇමැතිවරයෙක් එහෙ මෙහෙ ඇවිදිමින් සිටිනු දුටුවේය. ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයට අමුත්තෙකි. ඔහු "සුජීව සේනසිංහ"ය. ඔහුගේ කැබිනට් ඇමැති මලික් සමරවික්‍රම වෙනුවට මේ දිනවල වැඩ බලන්නේ සුජීවය.
"ඔය පොඩි ළමයි එහෙම වාඩි වෙන්න, නැත්නම් මම වේවැල ගන්නවා."

මෛත්‍රි කැබිනට්ටුවට ආරම්භ කළේ එහෙම කියමින්. මෛත්‍රි ඒ විහිළුව කළේ සුජීව ඉලක්ක කොටගෙනය.
කෙසේ වෙතත් කැබිනට් රැස්වීම වැඩි වෙලාවක් සැහැල්ලුවෙන් ගලා යන්නට ඉඩක් ලැබුණේ නැත. සැහැල්ලුව බින්දෙ කබීර් හෂීම්ය.
මැතිවරණ ප්‍රමාදය පිළිබඳ වූ කරුණක් මුල් කරගනිමින් කබීර් හෂීම් අමාත්‍යවරයා කතා කළේය. ඔහුගේ චෝදනාව එල්ල වූයේ ෆයිසර් මුස්තාපාටය.
චෝදනාත්මක ස්වරයකින් උස් හ¾ඩින්, තම හඬ අවදි කළ කබීර් හෂීම් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

"බලන්න ෆයිසර් ඇමැතිතුමා එක එක අණපනත් ගේනවා. ඒකෙන් තමයි මැතිවරණයන් පැවැත්වීමට දවසින් දවස කල් යන්නේ, මේක හරිම ප්‍රශ්නයක්"
මෙම චෝදනාවෙන් තරමක් කලබලයට පත්වූ මුස්තාපා අමාත්‍යවරයාද උස් හඬකින් ඊට ප්‍රතිචාර දැක්වීය.

"මොනවද මේ කියන්නේ, ඔය විදියට මට චෝදනා කරන එක වැරැදියි. අලුත් මැතිවරණ ක්‍රමයක් ගේන එක ගැන හැමෝම එකඟ වුණානේ. එයට අවශ්‍ය කටයුතු නිසයි මැතිවරණ ප්‍රමාද වුණේ, රජය ගත්ත තීරණයක් ක්‍රියාත්මක කරන එකයි මම කළේ. හිතා මතා මැතිවරණ ප්‍රමාද කරන්න මට අවශ්‍ය නැහැ"
කබීර් හෂීම් පැවැසුවේ, එක්සත් ජාතික පක්ෂය සැමවිටම ප්‍රමාදයකින් තොරව මැතිවරණ පැවැත්වීම වෙනුවෙන් පෙනී සිටින බවයි.

"කුමන හෝ ක්‍රමයකට, ඉක්මනින් ඡන්දය පැවැත්විය යුතුයි කියන මතයේ එදත් එ.ජා.ප.ය. හිටිය. අපිට අවශ්‍ය මැතිවරණ ප්‍රමාදයකින් තොරව පැවැත්වීමටයි. මේ විදියට මැතිවරණ ප්‍රමාද වුණොත් ජනතාව කලකිරෙනවා."

මෙහිදී යළිත් ඊට පිළිතුරු ලෙස මුස්තාපා මහතා අවධාරණය කර සිටියේ අවශ්‍ය අණපනත් සම්මත කිරීමට කාලය ගත වන බවත් තමාගේ වරදකින් ඡන්දය කල් නොයන බවත්ය.
දෙදෙනාගේ විවාදය තරමක් උණුසුම් අතට හැරෙන බවත් පෙනෙන්නට වූයෙන් එය සමථයකට පත් කිරීමට ජනපතිවරයාද මැදිහත් විය.
"ඔය දෙන්න දැන් ඔය විදියට වාද විවාද කරලා වැඩක් නැහැ. ඕක නවත්තන්න අපි ප්‍රමාදයකින් තොරව මැතිවරණ පවත්වන හැම උත්සාහයක්ම ගන්නවා" ජනපතිවරයා දැඩිව සඳහන් කළේය.

ඉහළ යන භාණ්ඩ මිල පිළිබ¼දව ඉකුත් කැබිනට් රැස්වීමේදී ඇමැති රිෂාඩ්ට දසතින් චෝදනා එල්ල විය. අනුර යාපා එවර ඔහුට එරෙහිව කතා කළේය. මෙවර එවරටත් වඩා දැඩි විවේචනයක් රිෂාඩ්ට එල්ල විය.

"මේ කමිටු වැඩක් නෑ. මේවා ඉවත් කරලා මෙහි වගකීම ඔබතුමා යටතට ගන්න."
ඇමැති රාජිත කෙළින්ම ජනපතිට කීවේය.
"අත්‍යවශ්‍ය ආහාර මිලවත් පාලනය කරන්න බැරි වෙලා තියෙනවා. මිල පාලනයට අදාළ ආයතන අසාර්ථකයි. "අනුර යාපා නැවත පැවැසීය.
"ඔව්, මේ විදියට බඩු මිල ඉහළ ගියොත්, ජනතාව අපිට ‍ෙදාස් කියාවි, ඉක්මනින්ම බඩු මිල අඩුකරන්න බැරි වුණොත් අපිට මැතිවරණයකටවත් හරියට මුහුණ දෙන්න බැරිවෙනවා"

මෛත්‍රි මෙහිදී මෙම විවාදයට එක්වෙමින් දැඩිව ප්‍රකාශ කර සිටියේය.
ස.තො.ස. ආයතනය මේ වන විට පවතින තත්ත්වය පිළිබඳව මෙහිදී පුළුල් ලෙස කරුණු සාකච්ඡා විය. වෙළෙඳපොළට බලපෑම් කිරීමට අවශ්‍ය ශක්තිය හා ධාරිතාව ස.තො.ස. සතුව නොමැති බව බොහෝ දෙනකුගේ මතය විය.

"රජය බදු අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය ආහාරවල මිල පාලනයටත් පියවර යොදා තිබෙනවා. ඒත් ඒ පියවරයන්වල වාසිය පොදු ජනතාවට තවම ලැබිලා නැහැ. ඒ පිළිබඳව අප අවධානය යොමු කළ යුතුයි" අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද මෙහිදී අවධාරණය කර සිටියේය. "ඔව්, රජයේ තීන්දු, තීරණ පහළ මට්ටමේදී, නිසි පරිදි ක්‍රියාත්මක වෙනවාදැයි සොයා බලන්න වෙනවා. මේ සම්බන්ධව කමිටුවක් පත්කිරීමෙන් ප්‍රතිඵලයක් ලැබේවි යැයි මම හිතන්නේ නැහැ. අපි මේ සම්බන්ධව
කටයුතු කිරීමේ වගකීම අමාත්‍යවරයකුට පැවරිය යුතුයි" පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා මෙහිදී යෝජනා කර සිටියේය.

අනතුරුව රංජිත් සියඹලාපිටිය කියා සිටියේ විදුලිබල මණ්ඩලයේ සේවක වැටුප් වැඩි කරමුයි කියාය. හැබැයි මංගල ඊට එකහෙළා විරුද්ධ විය.
"මම මේකට බොක්කෙන්ම විරුද්ධයි."
ඒ මංගලගේ අදහසය.

ග්‍රාම ශක්ති ව්‍යාපාරය දියත් කිරීම පසුගියදා සිදුවිණි. එය ජනපති මෛත්‍රිගේ සංකල්පයකි. ග්‍රාමීය ව්‍යවසායකයන්ට විවිධ ව්‍යාපාර ආරම්භ කිරීමට උපදෙස් හා අත හිත දීම මෙන්ම ඔවුන්ට අවශ්‍ය ණය ලබාදීම සඳහාද මේ යටතේ සැලසුම් සකස් කොට තිබිණි. ව්‍යාපාරය ජනගත කිරීමේ උළෙල පසුගියදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මහ ඉහළින් පැවැත්වූයේ මෛත්‍රිගේ ප්‍රධානත්වයෙනි. එයට එස්.බී. දිසානායක, මහින්ද සමරසිංහ, සජිත් ප්‍රේමදාස ඇමැතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
රටේ දිළිඳුකම පිටුදැකීමේ කාර්යයේදී චක්‍රලේඛවලට නොව හෘද සාක්ෂියට මුල්තැන දී කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රි සියලු නිලධාරීන්ගෙන් මෙහිදී ඉල්ලා සිටි අතර ඇති හැකි ව්‍යාපාරිකයන්ටම ණය ලබාදීමේ බැංකුවල වත්මන් පිළිවෙතට ජනාධිපතිවරයා එහිදී සියුම් පහරක් එල්ල කළේය. ජනාධිපති කාර්යාලයෙන් සැලසුම් කළ ග්‍රාම ශක්ති ව්‍යාපාරය ක්‍රියාවට නැඟීමේ වගකීම් පැවරී තිබෙන්නේ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයටය.

ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම සම්මාන උළෙලටද මෛත්‍රි පසුගියදා සහභාගි වූ අතර එය සංවිධානය කොට තිබුණේ ජයවර්ධනපුර සරසවියෙන් අධ්‍යාපනය ලබා රටට කැපී පෙනෙන සේවයක් කරන විද්වතුන් පිරිසකට සම්මාන ප්‍රදානය කිරීමටය. ජයවර්ධනපුර සරසවියෙන් බිහිවූ ඇමැතිවරුන් වන එස්.බී. දිසානායක හා රංජිත් සියඹලාපිටිය මන්ත්‍රිවරුන් වන බන්දුල ගුණවර්ධන හා සුනිල් හඳුන්නෙත්ති මෙහිදී ජනාධිපතිතුමා අතින් ශ්‍රී ජයවර්ධනපුර
ප්‍රදීප ප්‍රණාම සම්මානයෙන් පිදුම් ලැබූ අතර විවිධ ක්ෂේත්‍රවල ඉහළ තනතුරු හොබවමින් රටට සේවය කරන තවත් පිරිසක් මෙහිදී සම්මානයට පාත්‍ර විණි.
රජය විසින් ප්‍රතිසංස්කරණය කළ මහනුවර විහාරස්ථානයකට පසුගිය සති අන්තයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගියේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඇතුළු පිරිසක් සමඟින්ය. එහිදී මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමි යෝජිත නව ව්‍යවස්ථාව ගැන මධ්‍යස්ථ ලෙස අදහස් පළ කළ අතර නුවර අධිවේගය අත්‍යවශ්‍ය බවද උන්වහන්සේ දැඩි ලෙස ප්‍රකාශ කළහ.

"නුවර අධිවේගය නවත්තන්න ඒකාබද්ධයේ හා මාධ්‍යවල කුමන්ත්‍රණයක් තිබෙනවා. මොන බාධක ආවත් අපි පාර හදනවා" අගමැතිවරයා මෙන්ම කිරිඇල්ල මහතාද කීය.
අනතුරුව මහනුවර වෙළෙඳ සංගමයේ රැස්වීමටද අගමැතිවරයා එක්වූ අතර එහිදීද අධිවේගයේ දැඩි අවශ්‍යතාව ඔවුන්ද පෙන්වා දුන්නේය.
එහෙත් නුවර අධිවේගයේ දූෂණ පවතින බවට චෝදනා කළ ජවිපෙ ඒ ගැන පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටි අතර අගමැතිවරයා හා සභානායක කිරිඇල්ල ඇතුළු ආණ්ඩුව ඊට එකඟ වූහ.

මැතිවරණයක සේයාවක් දිස්වෙමින් තිබියදී ඇමැති මංගල අය-වැයට මහන්සි වෙමින් සිටී. මෙය ඔහුගේ "මංගල අය-වැය" වීමත් සහන ඉල්ලා දසතින් හඬ නැඟෙත්දීත් ඔහුගේ අය වැය තීරණාත්මකය. කෙසේ වෙතත් ඔහුගේ අය-වැය පිළිබඳව "රහස්" කිහිපයක් අපට ලැබී තිබේ. ඒ අනුව සාපේක්ෂව වශයෙන් සහන රැසක් මෙවර අය-වැයෙන් ලැබෙනු ඇතැයි කියැවේ. එමෙන්ම විදිමත් ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් හඳුන්වාදීමට මුදල් අමාත්‍යවරයා කටයුතු කරමින් සිටිනබවත් එහිදී සමස්ත ශ්‍රී ලාංකිකයන් සඳහා වූ සමාජ ආරක්ෂණ වළල්ලක් (ඉධජඪචත ඉචටඥබර දඥබ) ක්‍රියාවට නැංවීමට මූලික අවධානය යොමුව ඇති බවත් වාර්තා වෙයි.

මේ අතර, ශ්‍රී ලංකාව ව්‍යවසායකයන්ගේ පාරාදීසයක් කිරීමට අදාළ දිරිගැන්වීම රජය මෙවර අය-වැයෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත්, රජය ව්‍යවසායකයන් වෙනුවෙන් ඉඩම්, මූල්‍ය අනුග්‍රහය, දැනුම ලබා දෙමින් ව්‍යවසායකයන් අඛණ්ඩව රැකබලා ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් පැවැසේ.
පෞද්ගලික අංශය විසින් විදුලිය, ජල සංරක්ෂණය, කෘෂිකාර්මික ආදී
ක්ෂේත්‍රයන්හි සිදුකරන පරිසර හිතකාමී ආයෝජන සඳහා ද මෙවර අය-වැයෙන් විශාල දිරිගැන්වීමක් යෝජනා කිරීමට රජය බලාපොරොත්තු වේ.
ආයෝජන දිරිගැන්වීම සඳහා විනිවිදභාවය තහවුරු කිරීමට අදාළ යෝජනා කිහිපයක්ද මෙවර අය-වැයේදී ඉදිරිපත් කිරීමට නියමිත අතර, නව බදු පනත එහි පළමු පියවර වේ. නාස්තිය හා දූෂණය පාලනය කිරීම සඳහා නව
තාක්‍ෂණය යොදා ගැනීමට බලාපොරොත්තු වන රජය ඒ සඳහා වූ
ආයෝජනයන් දිරිගැන්වීමටද බලාපොරොත්තු වේ.

ඒ අනුව ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදායම්
දෙපාර්තමේන්තුවේ හා සුරාබදු දෙපාර්තමේන්තුවේ වංචා හා දූෂණ අවම කරලීම රජයේ අපේක්‍ෂාව වේ.
එසේම මෙවර අය-වැයේදී කාන්තාවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට මුදල් අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමුව ඇති බවද පැවැසේ. පාසල් දරුවන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීම කෙරෙහිද අවධානය යොමුව ඇති බව පැවසේ.
ඉකුත් 21 වැනිදා තිස්සමහාරාම, නැදිගම්විල නවෝදා පානීය ජල ව්‍යාපෘතිය සංවර්ධනයට රුපියල් ලක්ෂ 98ක් ප්‍රදානය කර අනතුරුව හුංගම විජයබා ජාතික පාසලේ අත්පන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 36 දෙනකුට රුපියල් 331,000 අත්පන්දු ක්‍රීඩා උපකරණ ලබාදී අවසන් වෙද්දීම සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා වෙත දුරකතන ඇමැතුමක් ලැබුණේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගෙන්ය.

"කොහොමද, තිස්සමහාරාම 'මිනි යොවුන් පුරය' කියා අගමැතිවරයා අසද්දී සජිත් කීවේ "1 වැනිදා ඉඳන් 5 වැනිදා වෙනතුරු යොවුන් පුරය පවත්වන්න සියල්ල සූදානම්. 3 වැනිදා සර්ගේ පැමිණීම අපි අපේක්‍ෂා කරනවා. තිස්සමහාරාම යොවුන් පුර වැඩසටහනට සමගාමීව යොවුන් ගම්මාන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම වෙනුවෙන් අලුත් යොවුන් ගම්මාන කීපයකට මුල්ගල් තබන්නත් කටයුතු කරනවා" කියාය.
එවර අගමැතිවරයා "බොහොම හොඳයි. ඉතා උනන්දුවෙන් ඊට සහභාගි වෙන්න බලාපොරොත්තු වෙනවායි කීය.
"කුඩා යොවුන් පුරයක් හෝ අපට ලබාදීම අගය කරනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයට ලොකු යොවුන් පුරයකුත් ලබා දෙන්න" කියා සජිත්
අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.

"කුඩා යොවුන් පුරයක් මදිද? අගමැතිවරයා අසද්දී සජිත් කීවේ "සර් හම්බන්තොට කියන්නේ තරුණ අසහනය ඉස්මතු වුණු දිස්ත්‍රික්කයක්, ඒ නිසා දිස්ත්‍රික්කයම වෙළාගන්න පුළුවන් යොවුන් පුර වැඩසටහනක් කරන්න
ලැබුණොත් එයින් හුඟක් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්" කියාය. "බලමු.... බලමු.... මම උදවු කරන්නම්කෝ" අගමැතිවරයාගේ පිළිතුර විය.
වවුනියාවේදී පැවැති "නිල මෙහෙවර"ට ජනාධිපති මෛත්‍රි සහ අගමැති රනිල් යන නායකයන් දෙදෙනාම සහභාගි වීම විශේෂයක් විය. ඇමැති වජිර එහි ගොස් කටයුතු සංවිධානය කළේය. හදිසියේ ඔහුට පැමිණි දුරකතන ඇමතුමකින් කියැවුණේ ජනාධිපතිවරයා රැගත් හෙලිකොප්ටර් යානය වවුනියාව ගුවන් හමුදා කඳවුරට ආසන්න වෙමින් පවතින බවය. මේ හෙලිකොප්ටරයේ ජනාධිපතිවරයා සමඟ ඇමැති ගයන්ත කරුණාතිලක මහතාද පැමිණ සිටියේය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ගයන්ත සමඟ ගුවන් හමුදා කඳවුරේ උදෑසන ආහාරය පිළියෙල කළ ස්ථානයට ගොස් සුළු මොහොතකට පසු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රැගත් හෙලිකොප්ටර් යානයද ගුවන් හමුදා කඳවුරට සේන්දු විණි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උදෑසන ආහාරය ගනිමින් කතා බහේ නිරත විණි. එය නායකයන් දෙදෙනාට
අදහස් හුවමාරු කර ගැනීමට ලැබුණ හොඳ අවස්ථාවක් බව පෙනෙන්නට තිබිණි. රටේ නායකයන් දෙදෙනා සහ මැති ඇමැතිවරු නිල මෙහෙවර උත්සවය පැවැති සෛවප්‍රගාස බාලිකා විද්‍යාල ක්‍රීඩාංගණයේ ඉදිවූ වේදිකාවට පැමිණෙන විට උත්සව භූමිය අතුරු සිදුරු නැතිව පිරී ඉතිරී ගොස් තිබිණි. ආරක්ෂක අංශ වාර්තාවලින් පැවැසුණේ 10,000කට අධික පිරිසක් මේ භූමියට පැමිණ සිටි බවයි.

මේ වන විට පොළොන්නරුව, ගාල්ල, වවුනියාව, මුලතිව්, කිලිනොච්චි, මන්නාරම හා කුරුණෑගල දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය නිල මෙහෙවර වැඩසටහන් 63ක් පවත්වා අවසන් කර තිබූ අතර ජනතා ගැටලු දිස්ත්‍රික් මට්ටමින් විස¼දා අවසන් කිරීමේ ජාතික උත්සව පොළොන්නරුවේ හා ගාල්ලේ අවසන් කර තිබිණි. වවුනියාවේ පැවැත්වුණේ එවැනි තුන්වැනි ජාතික නිල මෙහෙවර ජනපති ජනතා සේවා වැඩසටහනයි. මේ සඳහා උතුරු පළාත නියෝජනය කරන
පක්ෂ-විපක්ෂ දේශපාලනඥයන් විශාල පිරිසක් පැමිණ සිටියහ.
සාමාන්‍යයෙන් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් පැමිණෙන උත්සවයකදී ජාතික ගීය එකම අවස්ථාවකදී සිංහලෙන් හා දෙමළෙන් ගායනා කරන්නේ නැත. වැඩසටහන ආරම්භයේදී එක් භාෂාවකින් ජාතික ගීය කියා අනෙක් භාෂාවෙන් වැඩසටහන අවසානයේ ජාතික ගීය ගායනා කිරීම සම්ප්‍රදාය වී තිබේ. නැතිනම් කාටත් සුදුසු ආකාරයට ජාතික ගීය වාදනය කිරීම සිදුවෙයි.

නමුත් මෙවර නිල මෙහෙවර උත්සවයේදී ජාතික ගීය ගායනා කිරීමේ ක්‍රමය වෙනස් විණි. පළමුවෙන්ම ජාතික ගීය සිංහලෙන් ගායනා කළේ වවුනියාවේ සිටින දෙමළ භාෂාව කතා කරන සිසු සිසුවියන් පිරිසක් විසිනි. ඒ මොහොතේම ජාතික ගීය දෙමළ භාෂාවෙන් යළි ගායනා කෙරිණි. ඒ උපතින්ම සිංහල යැයි සම්මත වූ දරු දැරියන් පිරිසක් විසිනි.
උත්සවයේදී කතා කළ ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවත් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ආගමික නායකයන් හා ඇතැම් කණ්ඩායම් විසින් ගෙන යන ප්‍රචාරයන් හා ඒවාට මාධ්‍ය මඟින්
වෙන්කරන ඉඩකඩ පිළිබඳ දැඩි විවේචනයක් කළහ.
උත්සව භූමියේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමට අමුත්තියක් පැමිණියාය. ඒ ඝාතනයට ලක්වූ විද්‍යා දැරියගේ මවයි. උත්සවය අවසානයේ ජනාධිපතිවරයා විද්‍යා දැරියගේ නිවෙසට ගිය අතර ඇමැති ගයන්ත
කරුණාතිලකත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රි කාදර් මස්තානාත් ජනාධිපතිවරයා සමඟ එහි ගියේය.

ඔවුන් විද්‍යා දැරියගේ නිවෙසට යද්දී අගමැති රනිල් වික්‍රමසිංහ සහ ඇමැති වජිර අබේවර්ධන වවුනියාවේ එක්සත් ජාතික පක්ෂ කාර්යාලය විවෘත කිරීමට එක්වූහ.

ජාතික සම්පත් විකුණා දැමීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින්
හම්බන්තොටදී පවත්වන ලද උද්ඝෝෂණය දා අත්අඩංගුවට ගෙන තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින පිරිසගේ සුවදුක් සොයා බැලීම ස¼දහා හිටපු ජනාධිපති මහින්ද පසුගිය සෙනසුරාදා එහි ගියේය.

නීතිඥවරු පිරිසකුත් කැටුව මහින්ද යන විට ප්‍රසන්න රණවීර, උපාලි කොඩිකාර සහ අජිත් ප්‍රසන්න කතාබහක නියැළෙමින් සිටියහ. ඔවුන්
මුණගැසුණු මහින්ද "කොහොමද කට්ටිය?යැයි ඇසුවේය. පිරිසගෙන් මහින්දට බන්ධනාගාරයේ පහසුකම් නොමැතිවීම ගැන පැමිණිලි රැසක් ලැබිණි.

ඉඩකඩ පහසුකම් නොමැති වීම, ඉවසිය නොහැකි දුර්ගන්ධය මෙන්ම
මකුණන්, මදුරුවන්ගෙන් සිදුවන අපහසුතා සම්බන්ධයෙන්ද පිරිස මහින්දට කරුණු කීහ.
"අපේ ආණ්ඩුව අඟුණුකොළපැලැස්සේ අලුත් බන්ධනාගාරයක් හැදුවේ මේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්නයි. එතැන ඔක්කොම පහසුකම් තියෙනවා. මේ ආණ්ඩුව බන්ධනාගාරය විවෘත කළාට තවම ඒකේ වැඩ කෙරෙන්න පටන් අරන් නැහැ. බොරුවට තංගල්ලේ ගොඩගහගෙන ඉන්නේ නැතුව ඒ අය
අඟුණුකොළපැලැස්සට ගෙනිච්චා නම් මේ ගැටලුව විස‍ෙ¼දනවා" මහින්ද කීවේය.

"ඔව් සර් ඒක නම් ඇත්ත. අපිව ගෙනිච්චාම තමයි අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය නියම විදියට විවෘත කෙරෙන්නේ" කොඩිකාර කීවේ සැවොම සිනහා ගන්වමිනි.

ඉරිදා රාත්‍රියේ මහින්ද කොළඹ පැවැති උත්සවයකට සහභාගි වූයේය. ගාමිණී ලොකුගේ, පී. දයාරත්න. විජිතමුණි ද සොයිසා ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට සහභාගි වී සිටියහ. මහින්ද සිටි තැනට පැමිණි විජිතමුනි කතාබහකට මුල පිරුවේය.

"කොහොමද සර්? විජිතමුණි ඇසුවේය.
"ආ විජිතමුණි කොහොමද?" මහින්ද වැඩි ගණනකට නැතුව පිළිතුරු දුන්නේය.
"සර් අපි පළාත් පාලන ඡන්දෙදි අපේ පක්ෂය කොහොම හරි දිනවන්න ඕනේ" විජිතමුණි කීවේය. එහෙත් මහින්ද එයට මහ හ¾ඩින් සිනාසුණේය. 'දිනවන්න කලින් ඡන්දේ තියන්න එපායැ. දැන් කවද්ද ඕක තියෙන්නේ?' 'අපි හිතාන ඉන්නේ දිනන්න පුළුවන් දවසක
තියන්න කියලයි සර්" විජිතමුණි කීවේය.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම අඟහරුවාදා රාත්‍රියේ පැවැත්විණි. එහිදී විශේෂ අවධානය යොමු වූයේ යෝජිත
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව පාර්ලිමේන්තුව ඉදිරිපිටදී 30 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇති දැවැන්ත උද්ඝෝෂණය සම්බන්ධයෙනි. එම උද්ඝෝෂණය සාර්ථක කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
"තිස් වැනිදා අපේ මන්ත්‍රිවරු හැමදෙනාම ඒකට සහභාගි වෙන්න ඕනේ. මේ ව්‍යවස්ථාව පරාජය කිරීම වෙනුවෙන් අපි මේ උද්ඝෝෂණය
සාර්ථකව කරන්න ඕනේ" මහින්ද පැවැසීය. එම සාකච්ඡාව නිමා වී නිවෙස බලා යන්නට සැරසෙද්දී විමල් වීරවංශ මහතා හදිසියේ අසනීප විය.
'සර්, ඇඟට පොඩි වෙනසක් දැනෙනවා'

විමල් මහින්දට කීවේය.
'එහෙනම් බලාගෙන ඉන්න හොඳ නෑ විමල්. කෝකටත් චෙක් කරගනිමු' එහෙම කීව මහින්ද එසැණින් නවලෝක රෝහලේ සභාපති ජයන්ත ධර්මදාසට කතා කළේය.
'විමල් හොස්පිට්ල් එවනවා, ටිකක් බලන්න.'
මහින්ද ජයන්තට කීය.
ඒ අනුව, විමල් නවලෝක රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැනිණි. මහින්ද පසුවදා උදෑසනම විමල්ගේ සුවදුක් බැලීමට ගියේය.
"කොහොමද විමල්? මහින්ද ඇසුවේය.

"දැන් නම් ටිකක් අඩුයි සර්" විමල් කීවේය.
"ඔයා ඉක්මනට අසනීපය සුව කරගෙන එන්න. අපිට ඉස්සරහට ගොඩක් වැඩ තියෙනවා" කී මහින්ද විමල්ගෙන් සමුගත්තේය.

පසුගිය සතියේ ඒකාබද්ධ විපක්ෂයේ පවිත්‍රා, ඉන්දික අනුරුද්ධ, ෂෙහාන් සේමසිංහ, එච්. බී. සේමසිංහ, වීරකුමාර දිසානායක යන පිරිස එස්. එම්. චන්ද්‍රසේනගේ අනුරාධපුර නිවෙසේදී හමුවූයේ විශේෂ සාකච්ඡාවක් සඳහාය. සාකච්ඡාව පැවැත්වූයේ ඒකාබද්ධ විපක්ෂය විසින් රට පුරා පැවැත්වීමට නියමිත ජන රැලි මාලාවේ පළමුවැන්න ලෙසින් අනුරාධපුරයේදී නොවැම්බර් මස 12 වැනි දින පැවැත්වෙන ජන රැලිය ගැන කතා කිරීමටය.
"අපි හැම සටනක්ම ආරම්භ කරන්නේ අනුරාධපුරයෙන්. අනුරාධපුරය කියන්නේ පුණ්‍ය භූමියක් වගේම ජය භූමියක්. ඒ හින්දා අපි 12 වැනිදා වැඩෙත් ඉතාමත් සාර්ථකව කරන්න ඕනේ" පවිත්‍රා කීවාය. "අනුරාධපුරය කියන්නේ ජය භූමියක් විතරක් නෙමෙයි මෛත්‍රිපාල මහත්තයාගේ අල්ලපු දිස්ත්‍රික්කය. ඒ හින්දා අපි අනුරාධපුරය රත් කරන්න ඕනේ පොළොන්නරුවට උණ ගැනෙන්න" ෂෙහාන් පැවැසීය.
මොරටුව හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයාගේ මංගල්‍ය උත්සවය 25 වැනිදා පැවැත්වුණේ පානදුරේදීය. මහින්ද සහ ශිරන්ති යුවළද, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් විශාල පිරිසක්ද මේ අවස්ථාවට පැමිණ සිටියහ. මනාලයාගේ පාර්ශ්වයෙන් මහින්ද ද මනාලියගේ පාර්ශ්වයෙන් ජී. එල්. ද සාක්ෂිකරුවන් ලෙස අස්සන් තැබූහ.
"සර් දැන් ආණ්ඩුවේ සූදානම පළාත් පාලන මැතිවරණය තියන්න වගෙයි. අපි කොහොම හරි මැතිවරණය දිනන්න ඕනේ." රෝහිත පැවැසීය.

"ඒක ඇත්ත. පළාත් පාලන නියෝජිතයෝ කියන්නේ අපේ බෆර් එක. අපි කරේ තියාගෙන ගිහින් හරි මේ අය දිනවන්න ඕනේ" මහින්ද කීවේය.
පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රසන්න කොළඹ ආවේ මහාධිකරණය හමුමේ විභාග වූ නඩුවකට පෙනී සිටීම සඳහාය. අධිකරණයෙන් පිටතට පැමිණි. ප්‍රසන්නව මාධ්‍යවේදීන් පිරිසක් විසින් වටකර ගන්නා ලදී. ඔවුන් ප්‍රසන්නගෙන් ඇසුවේ පාර්ලිමේන්තුවට උඩින් ගොස් බෝම්බ දැමිය යුතු බවට විමල් වීරවංශ මන්ත්‍රිවරයා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙනි. "විමල් මන්ත්‍රිතුමා ඒ කතාව කිව්වේ රටටම හොරෙන් සම්මත කරගන්න යන මේ ව්‍යවස්ථාව ගැන රට තුළ සංවාදයක් ඇති කිරීමේ අරමුණෙන්. ආණ්ඩුව හදන්නේ කොළේ වහලා ගහන්න. විමල් මන්ත්‍රිතුමාට ඕනෑ වුණේ මේ ගැන ජනතාව අතර සංවාදයකට ලක්කරන්නයි. අද එතුමාගේ අදහස ඉෂ්ට වෙලා තිබෙනවා. මමත් කියන්නේ රට බෙදන ව්‍යවස්ථාවක් ගේන්න හදන, ඒකට සහයෝගය දෙන අයට දිය යුතු එකම දඬුවම තමයි උල තැබීම කියලා. මොකද එදා රජ කාලේ දේශද්‍රෝහීන්ට දීපු එකම දඬුවම උලතැබීමයි. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහාය දීලා රට බෙදන්න උල්පන්දම් දෙන හොරිකඩයන්ටත් උල තැබීම හැර වෙන දෙන්න දඬුවමක් නැහැ."

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉතාලි ශාඛා පිහිටුවීම සඳහා සහභාගි වන්නැයි සනත් නිශාන්ත, අරුන්දික ප්‍රනාන්දු සහ යෝෂිත රාජපක්ෂට ආරාධනාවක් ලැබී තිබිණි. සනත් ඒ වන විට සිටියේ රුසියාවේය. රුසියාවේ සිටි සනත්ට දුරකතනයෙන් ඇමතූ මහින්ද කීවේ යෝෂිතත් යන බැවින් ඉතාලි යන ලෙසය. එහෙත් යෝෂිතට ඉතාලි බලා යෑමට වීසා ලැබුණේ නැත. සනත් ඇමතූ ශිරන්ති "යෝෂිතට වීසා ලැබිලා නැහැ. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා හොයලා බලන්න? යැයි කීවාය. ඒ අනුව සනත් ඒ පිළිබඳව සොයා බැලූ විට දැනගන්නට ලැබුණේ ප්‍රශ්නය වීසා ලබා දීමට විරෝධය පළ කර ඇත්තේ ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය බවය. ඔහු ඒ බව ශිරන්තිට දැනුම් දුන්නේය. කිහිපවතාවක්ම විදේශ අමාත්‍යාංශයෙන් ඉල්ලීම කළ යෝෂිතට වීසා ලැබුණේ නැත. අවසානයේදී යෝෂිතට සිදුවූයේ මෙරට සිට දුරකතනයෙන් පොදුජන පෙරමුණේ රුස්වීම ඇමතීමටය. "මේ ආණ්ඩුව දිගින් දිගටම කරන්නේ පළිගැනීම විතරයි. අද ඉතාලියට ඇවිත් කතා කරන්න හිටපු මට මේ විදියට දුරකතනයෙන් කතා කරන්න වුණෙත් ඒ පළිගැනීම් නිසයි. කොහොම වුණත් මම ඉදිරි දවසක තමුන්නාන්සේලා මුණගැහෙන්න අනිවාර්යයෙන් එනවා" යෝෂිත මිලානෝ රුස්වීමට පැමිණි පිරිසට කීවේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon