හොඳ ආයුධ අපි හැංගුවා: ඉතිරි ආයුධ බාරදෙමු

  👤  5140 readers have read this article !
2017-10-29

ආපසු කඳවුරට යෑම මට මහත් කලකිරීමක් ගෙන දෙන්නක් විය. අපිරිසුදු නිල ඇඳුමත්, නිතර වැඩෙහි යෙදීමත් නිසා මම ඒ වනවිටත් හෙම්බත් වී සිටියෙමි.
සාම සාකච්ඡා හෝ මේ දැන් අප නැරැඹූ අවි ආපසු භාර දීම කුමක් සඳහාද?

සඳ නැති ඒ රාත්‍රිය සීතලද නොවීය. පැය හතරකට පසුව අප නැවත සිටියේ පුරුදු කඳවුරෙහිය. ගොවිපොළ නිවෙස ඉදිරිපිට මිදුලෙහි ගොඩ ගසා තිබූ ඒ පිළී ගඳ හමන නිල ඇඳුම් කන්ද තුළින් තමාගේ ඇඳුම නිවැරැදිව තෝරා ගන්නට හැමකෙක්ම යුහුසුලු වූහ. ඒ සඳහා අපිට ආලෝකය ලැබුණේ අඩු දැල්ලක් සහිත චිමිනි ලාම්පුවෙන් පමණකි.
මට මගේ ඇඳුම් කිහිපයක් සොයා ගත හැකි විය. ඒ මගේ නම ඒවායේ සඳහන් කොට තිබූ බැවිනි. එහෙත් බොහෝ අය අතට අසු වූ නිල ඇඳුම තමාගේ කොට ගත්හ.
අන් අයකුගේ අපිරිසුදු ගඳ ගසන ඇඳුමක් ලැබීම පිළිබඳව කාංචනාත්, අජන්තිත් සිටියේ අමනාපයෙනි.

වේලාව උදෑසන 2.10 විය. පැදුරට වැටී නිදාගන්නට හැදුවා පමණකි. රාත්‍රිය විනිවිද යන නළා හඬක් මතුවිය. විනාඩි ගණනක් ඇතුළත අපි අඳුරු අපිරිසුදු මිදුලේ නිදි කිරමින් වාඩි වී සිටියෙමු. පිරිවර සමඟ ආ ප්‍රභාකරන් අප ඉදිරිපස ලී පුටුවක වාඩි වූයේය. අඹ ගසේ අතු පතර චිමිනි ලාම්පුව එල්ලා තිබිණි. ලාම්පුව සුළඟින් වැනෙද්දී ඔහුගේ මුහුණ මත නොයෙකුත් සෙවණැලි ඇඳී මැකී ගියේය. අඹ ගසේ කොළ සැලුණේ හඬක් නංවමිනි.
"ලොකු අයියා ළමයි හදන්නෙවත් කොහොමද? හැම තිස්සෙම බොඩි ගාඩ්ස්ලා වටකරගෙන?"
කාංචනා මගේ කනට කොඳුරා කීවාය.

මම ප්‍රභාකරන්ගේ මුහුණ දෙස හොඳින් බැලුවෙමි. දවාලේ කතාව පවත්වද්දී වහා මතු වී නැති ගිය තරහව මේ වනවිට ඔහුගේ මුහුණ මත ස්ථිරසාර ලෙස සටහන්ව තිබිණි.
"ගෑනු ළමයිනේ අද සිද්ධ වුණු දේවල් ඔය අයට පුදුමයක් වෙන්ඩැති."
ඔහු කතාව ආරම්භ කළේය.

"මං සාම ගිවිසුමට එකඟ වුණේ සම්මුතීන් කීපයක් යටතේ, උතුර, නැඟෙනහිර පළාත් එකතු කළ යුත්තේ ස්වාධීන රාජ්‍යයක් විදියට සීමා මායිම් ඇතුවයි. තව අවුරුද්දකින් ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි. නැවත පදිංචි කිරීම් පොරොන්දු වුණු විදියට සිදුවිය යුතුයි. එයාලා ළඟ ඉන්න දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතුයි. ඔන්න ඔය වගේ දේවල්.

නමුත් මට සැකයි ආණ්ඩුව මේ ටික හරියට ඉෂ්ට කරාවිද කියන එක."
ඔහු සිටියේ අවිශ්වාස සහගතවය. සාම ගිවිසුම තාවකාලික එකකි. එසේ නම් අපේ පුහුණුව දිගටම පවත්වාගෙන යනු ඇත.
"අපේ හොඳ අවි ආයුධ ටික අවි භාර දෙන්ඩ කලින් හැංගුවා. අපි ඉතුරු ටික දීල දාමු."
මම තුෂ්ණීම්භූත වීමි. තම රයිෆලයට හාදුවක් දී ඉන්දියන් සාම සාධක හමුදාවට භාර දුන් තරුණයාගේ රුව මට සිහිපත් විය. මා ද පිටස්තරයකු වූවා නම් මේ අවි භාර දීම සහ ඉන් පසු එළැඹෙන සාමය පිළිබඳව ප්‍රබල විශ්වාසයක් ගොඩනඟා ගන්නවා නොවේද?

පසුවදාම අපගේ යුද පුහුණුව ආරම්භ කෙරිණි. තවත් සති දෙකක් එය නොකඩවා පැවැත්විණි. අවි භාර දීම, සාම සම්මුතිය, සටන් විරාමය යනාදී වචන පිළිබඳව පිටස්තර ලෝකය විශ්වාසයෙන් පසුවන්නට ඇත. එහෙත් අප දිගටම සිටියේ ඒම් සහ ඉර්ට් ආයුධ නිරන්තරවම අත දරාගෙනය.
"ටික කාලෙකට යුද්දෙ ඔහොම නිශ්ශබ්ද වේවි."

හදිසියේ දවාලෙක කඳවුරට පැමිණ අඹ ගස යට සුපුරුදු අසුනෙහි වාඩි වෙමින් ප්‍රභාකරන් එසේ පැවසීය.
"මං ආපහු ඔය ළමයි කැඳවනකල් ගෙදර යන්ඩ පුළුවන්. වැඩිම වුණොත් ඒ කාලසීමාව මාසයක් දෙකක් වේවි. හැබැයි, අපේ මූලස්ථානය එක්ක දිගටම සම්බන්ධකම් පවත්වාගන්ඩ ඕන. ගෙදර නොයන අය ඉන්නවා නම් මං ඒ අයට කඳවුරක් ලෑස්ති කරලා දෙන්නම්. හැබැයි තීරණය ඔය අය අතේ."
මගේ සිතට දැනුණේ ප්‍රීතියකි. සිත සිතා තීරණ ගන්නට වුවමනාවක් මට නොවීය. මසකට හෝ ගෙදර ගොස් අම්මා, තාත්තා හා නංගී සතුටු කළ හැකිය. මට හොඳින් නා ගත හැකිය. පිරිසුදු ඇඳුමකින් සැරසිය හැකිය. කඳවුරේ කරදරකාරී ජීවිතයෙන් මෙන්ම හිසේ උකුණන්ගෙන්ද ගැලවී ගත හැකිය.
අප කණ්ඩායමේ තුනෙන් දෙකොටසක්ම නිවෙස් කරා යන්නට සූදානම් විය. අජන්ති, කාංචනා මෙන්ම අකිලාද කඳවුරේ නවතින්නට තීරණය කොට තිබිණි. මට දැනුණේ මහත් ශෝකයකි.

"දෙවැනි වතාවටත් ගෙදර අයගේ ජීවිත අවුල් කරන්ඩ මට බෑ."
අජන්ති හේතු දැක් වූයේ එපරිදිය.
ඒ මොහොතේ ප්‍රභාකරන් ගොවිපොළ නිවෙසෙහි වූ ඔහුගේ කාර්යාලයට මා කැඳවූයේය.
"ඔයා ගෙදර යනව නම් හොඳයි, මං හිතන්නෙ. නමුත් තීරණය ඔයාගෙ අතේ."
ප්‍රභාකරන් ඉදිරිපිට වූ පුටුවේ මා වාඩි වෙත්ම ඔහු පැවසුවේය.

"ගෙදර යනව නම්, තත්ත්වය හොඳයි කියලා අඟවන්ඩ ඕන. මං කැමැතියි ඔයා ආපහු ඉස්කෝලෙ ගිහින් අපේ සංවිධානය පිළිබඳව අනිත් ළමයි දැනුවත් කරනව නම්. ගෙදර ගියාම මේ අය අතරින් වඩාත්ම අභියෝගවලට ලක්වෙන්නට සිද්ධ වෙන්නෙ ඔයාට. මොකද, ඔයාලගේ ප්‍රදේශයේ අය මේ ගිවිසුමට පක්ෂපාතී බවයි පේන්නේ. ඉන්දියන් සාම සාධක හමුදාවේ නිලධාරීන්ට ඒ අය සාද පවත්වනවාලු. ඒවා නවත්වන්ඩ බැරි වුණොත් පුළුවන් තරම් ඒ අය දැනුවත් කරන්ඩ. මුරලිත් එක්ක දිගටම සම්බන්ධව ඉන්ඩ, ආපහු එන බලාපොරොත්තුවෙන්."

"මගේ දුව ආපහු ඇවිල්ලා...!"
ගෙදර ‍ෙදාර ඇරියේ තාත්තාය.
මා ගියේ ගේ ‍ෙදාරකඩදී සතුටින් හා විස්මයෙන් විකසිත වූ අම්මාගේත්, ශිරානිගේත් මුහුණු දකින බලාපොරොත්තුවෙනි. තාත්තා ඩුබායි සිට පැමිණි බව මා දැන සිටියා නම්, මගේ මිතුරියන් සහ උකුණන්ගෙන් පිරීගත් හිසත් සමඟින් මා කඳවුරේම නවතින්නට ඉඩ නොතිබුණා නොවේ. තාත්තා දැන් නිවෙසේ සිටින බැවින් මට කොටි සංවිධානය සමඟ සබඳකම් පැවැත්වීම පහසු නොවනු ඇත. නැවත සටන් ආරම්භ වූ විට නිවෙසින් පිටව යෑමද මට අසීරු කාර්යයක් වනු නිසැකය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon