විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවාට අපේ පක්ෂය විරුද්ධයි

  👤  3967 readers have read this article !
2017-10-31

මේ ව්‍යවස්ථා සංශෝධනයේදී බලය බෙදීම සම්බන්ධයෙන් පුළුල් සංවාදයක් හරහා සියලු දෙනාගේම එකඟත්වයෙන් තීරණයකට එළැඹිය යුතුව ඇතැයි, ප්‍රවාහන හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතිවාදී ආගම්වාදී පක්ෂයක් නොවේ. සෑම කෙනකුටම සලකන, ගරු කරන පක්ෂයක්. බුද්ධාගම සම්බන්ධයෙන් ඉදිරිපත්වන විකල්ප යෝජනාවලට අපි එකඟ නෑ. මහා සංඝරත්නයට අපි කියනවා බය වෙන්න එපා කියලා. ඒ වගේම පළාත් දෙකක් එකතු කිරීමටත් අපි විරුද්ධයි."
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය සඳහා සිටිය විනිශ්චයකාරවරු පත්කිරීමටත් අපි විරුද්ධයි. ඕන නම් ශේ‍ර්ෂ්ඨාධිකරණයට විනිශ්චයකාරවරු පත්කරලා පුළුල් කරන්න. ඒ විනිශ්චයකාරවරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයට පත් කරන්න.

"විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට අපේ පක්ෂය විරුද්ධයි. පළාත් සභා බලතල පුළුල් කෙරෙන අවස්ථාවක, ජනතාවගේ ඡන්දයෙන් පත්වන ජනාධිපතිවරයකු පත්කළ යුතු බවට අප යෝජනා කර තිබෙනවා. රටේ ඒකීය භාවය ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයාට හැකියාවක් ඇතිවනවා"
"විද්‍යාත්මක පදනමක් යටතේ ඇමැති මණ්ඩලය පත්කළ යුතු බවට අපි යෝජනා කර තිබෙනවා. එහෙම සිදු වුණා නම්, විදේශ කටයුතු අමාත්‍යාංශය යටතට සංවර්ධන ලොතරැයිය යන්නේ නැහැ. අපිට ඒ පිළිබඳ අත්දැකීම් තිබෙනවා.

"ව්‍යවස්ථා එපා, කුණු කූඩයට දාන්න කියල කියනවා නම්, අපට හොඳ ඡන්ද ක්‍රමයක් ලැබෙන්නේ නැහැ. පෞද්ගලික න්‍යායපත්‍රවලට, පටු දේශපාලන වාසි බලාගෙන කටයුතු කිරීම සුදුසු නැහැ. ඊට වඩා පුළුල් වූ ජාතික කර්තව්‍යයක වගකීම අප වෙත පැවරී ඇති බව අප තේරුම් ගන්න ඕනෑ. මේ වටිනා අවස්ථාව අප නැතිකර ගන්න හොඳ නැහැ"

දෙමළ ජනතාවගේ ඉල්ලීම 'ෆෙඩරල්' යැයි
වැරැදි මතයක් තිබෙනවා

ශ්‍රී ලංකාව අනාගමික රාජයක් වියයුතු වුවත් බුද්ධාගමට ප්‍රමුඛත්වය දිය යුතු බව බෞද්ධයන් කියන්නේ නම් අප ඊට විරුද්ධ නැහැ." දෙමළ, ජාතික සන්ධාන මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් පැවැසීය. ෆෙඩරල්වාදය දෙමළ ජනතාවගේ ඉල්ලීමක් යැයි වැරැදි මතයක් තිබෙනවා. ෆෙඩරල් රාජ්‍යයක් අවශ්‍ය බව එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක පුවත්පතකට ලිපි ලිව්වා. ඒ ලිපි හයක් මා සභාගත කරනවා. කොමියුනිස්ට් පක්ෂයේ පීටර් කෙනමන් හා වෛත්‍යලිංගම් 1944දී ෆෙඩරල් ක්‍රමය ගැන ඉදිරිපත් කළ වර්තා මා සභාගත කරනවා.
ලංකාව ඒකක තුනක් බවට පත්විය යුතු බවට රාජකීය කොමිෂන් සභා ඉදිරියේ මුලින්ම අදහස ආවේ උඩරැටියන්ගෙන්. රට බෙදීම දෙමළ ජනතාවගේ අදහසක් කියන කතාව සම්පූර්ණයෙන් වැරැදියි.

අප රට එක රටක් වියයුතු බව අප පැහැදිලිව සඳහන් කර තිබෙනවා.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කළ අවස්ථාවේ පවා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන බව ප්‍රකාශ වුණා. එදා අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂද ඒ බව ප්‍රකාශකර තිබුණා.

ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් විය යුතු නමුත් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ඉල්ලනවා නම් ඒක ලබාදීමට සූදානම්. ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් විය යුතුයි. එය වගකීමෙන් කියනවා. තමන්ගේ ආගමට ප්‍රමුඛස්ථානය දිය යුතුයි කියා බෞද්ධයන් කියනවා නම් අප ඊට විරුද්ධ නැහැ.

අපි උතුරු පළාත් සභාවට
ඉඩම් අයිතිය දෙන්නෙ නෑ

අපිට නිදහස ලැබුණු දා ඉඳලා ප්‍රධාන පක්ෂ දෙක අනවශ්‍ය වෙලාවට විරුද්ධ වුණු නිසා මෙරට තිස් අවුරුදු යුද්ධයකට ඇදී ගියා" යැයි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.
"දැන් බලන්න, 1950 ගණන්වල දෙමළ ජනතාව ඉල්ලුවේ භාෂා අයිතිය. ඒක දෙනවටත් විරුද්ධ වුණා. භාෂා අයිතිය දුන්නේ නැහැ"
"ඒකීය රාජ්‍ය සංකල්පය මේ යෝජනාවලින් ආරක්ෂා වනවා. ඒකීය රාජ්‍ය කියන වචනය, අපේ යෝජනාවල තියෙනවා. අවසන් කෙටුම්පතේ අපි ඒක ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වනවා. ඒකීය රාජ්‍යයට කිසිම හානියක් නැහැ"

"මේ යෝජනාවල අඩුපාඩු තියෙනවා නම්, ඒවා වෙනස් කරන්න පුළුවන්. අපි කියන්නේ නැහැ මේක අවසන් යෝජනාව කියල"
"ඉඩම් අයිතිය ගැන කතා කරනවා. ඉඩම්වල අයිතිය සම්පූර්ණයෙන්ම දෙන්නේ ඉඩම් කොමිසමකට. ඉඩම් කොමිසමක් පත් කරනවා මුළු ලංකාවටම. මේ ඉඩම් කොමිසමට මුළු ලංකාවේම තියෙන හැම ඉඩමක්ම අයිතියි. පළාත් ඉඩම් ද මේ කොමිසමට අයිතියි. යම් පළාතක ඉඩම් බෙදනවා නම්, මේ ඉඩම් කොමිසමෙන් අනුමැතිය ගන්න ඕනෑ. මේ ඉඩම් කොමිසමට විවිධ පළාත් නියෝජනය වන කට්ටිය ඉන්නවා. කිසි අසාධාරණයක් වෙන්නේ නැහැ."

"අපි උතුරු පළාත් සභාවට ඉඩම් අයිතිය දෙන්නේ නැහැ. නැඟෙනහිර පළාත් සභාවට දෙන්නේ නැහැ. මුළු රටම වෙළාගත් ඉඩම් කොමිසමකට ඉඩම් අයිතිය දෙනවා"

උතුරු-නැඟෙනහිර
ඒකාබද්ධ කළයුතු බව
මේ වාර්තාවේ සඳහන්

ඩයස්පෝරාව හා වෙනත් සංවිධානවල අවශ්‍යතාවකට අනුව ඒකපාක්ෂිකව ඉදිරිපත් කරන ලද වාර්තාවක් ලෙස මේ වාර්තාව හැඳින්විය හැකි බව ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වාර්තාවේ ඇතුළත් කරුණු රාශියකට විරුද්ධත්වය පළ කර තිබෙනවා.
"පාර්ලිමේන්තුවේ බලය මේ ආකාරයට පාවිච්චි කර කටයුතු කිරීම වැරදියි."

"මේ වාර්තාවේ අතුරු වාර්තාවක් ගැන සඳහන් වී තිබුණත්, එවැනි අතුරු වාර්තාවක් නැහැ. ඒ වාර්තාව තියෙන්නේ පිටරට. මේ වාර්තාව පිළියෙල කර තිබෙන්නේ රාජ්‍ය නොවන සංවිධානවල පිරිසක් බව අකැමැත්තෙන් වුවත් කියන්න සිදුවෙලා තියෙනවා"
"මහ නාහිමිවරු, බෙල්ලන්විල මහ නාහිමිපාණන්, කෝට්ටේ පාර්ශ්වයේ මහ සංඝ සභාව ඇතුළු විශාල පිරිසක් මේ ව්‍යවස්ථාව ඇති කිරීම අත්හිටුවන ලෙස ඉල්ලා තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ අපි මේ පිළිබඳව යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

"මේ වාර්තාවේ සඳහන් වනවා, උතුර-නැඟෙනහිර ඒකාබද්ධ කළයුතු බව, එය භයානක උත්සාහයක්. ප්‍රායෝගිකව බලනකොට දෙමළ ජනතාව, ව්‍යාපාර කරන්නේ, රැකියා කරන්නේ, වෙනත් ආයතන පවත්වාගෙන යන්නේ, සිංහල ජනතාව ජීවත්වන ප්‍රදේශවල. ඔවුන් සහයෝගයෙන් කාලයක් තිස්සේ කටයුතු කරනවා. එවැනි තත්ත්වයක් තුළ පළාත් ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවක් නැහැ"

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon