එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නව ව්‍යවස්ථාව ගැන වචනයක්වත් තිබුණේ නැහැ: පක්ෂ දෙකටම ජන වරමකුත්් නෑ

  👤  2949 readers have read this article !
2017-11-02

සියලු දූෂණ වන්නේ විධායක ජනාධිපති ක්‍රමය නිසා යැයි කියනවා. එසේ නම් බැඳුම්කර වංචාව සිදුවුණේ ඒ නිසා දැයි' විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් ව්‍යවස්ථා සම්පාදන මණ්ඩල සාකච්ඡාවේදී ප්‍රශ්න කළේය.

'බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් කොමිසමක් දාල, ඒවා හෙව්වේ විධායක ක්‍රමයයි. ඒ නිසා දූෂණ වන්නේ විධායක ක්‍රමය නිසා යැයි කියන තර්කය බොරුවක්.'
පැරැණි ව්‍යවස්ථාව විනාශ කළ නොහැකියි. 17න් විධායක බලය හීන කළා. 18න් කළේ ජනාධිපතිට තුන්වැනි වරටත් තරග කිරීමට අවසර දීම. 19 වැනි සංශෝධනයට මන්ත්‍රිවරු 149 දෙනකු සහයෝගය දැක්වූවා. එජා පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නව ව්‍යවස්ථාවක් ගැන එකම වචනයක්වත් තිබුණාද? නැහැ.'
'මේ පක්ෂ දෙකටම බහුතරයක් නැහැ. එහෙම තියෙන කොට ජනවරමක් තිබෙනවා කියලා කියන්න බැහැ. එතකොට ජනවරමක් නැහැ.'
'පළාත් දෙකක් ඒකාබද්ධ කිරීමට අප එකඟ වන්නේ නැහැ. එදා උතුර - නැඟෙනහිර තාවකාලිකව එක් කළා. එසේ එක් වුණු උතුර - නැඟෙනහිර ජනතා විමුක්ති පෙරමුණ උසාවි ගිහින් වෙන් කළා. ඒ පළාත්වල ඡන්දය පවත්වන්න පුළුවන් වුණේ ඒ නිසයි.'

'දහනව වැනි ව්‍යවස්ථා සංශෝධයෙන් විධායක අගමැතිවරයකු පත්කිරීමට උත්සාහ දැරුවා. ඒක අධිකරණය විසින් නැවැත්වූවා. පර්යන්තයට බලය ගිහින් මධ්‍යය දුර්වල වුණොත් කුමක්ද වෙන්නේ?

'විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරල හැටයි හතළිහට ඡන්ද ක්‍රමයක් ආවොත් ව්‍යවස්ථාවක් ගේන්න බැහැ.'

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අදහස් දැක්වීමට අවස්ථාව නොදීම ගැන කතානායකට පැමිණිලි කරයි

හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රි මහින්ද රාජපක්ෂ (එ.ජ.නි.ස) හට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල රැස්වීමේදී අදහස් දැක්වීමට ඊයේ (01දා) අවස්ථාවක් ලබා නොදීම ගැන කතානායක කරු ජයසූරියට පැමිණිලි කරන්නේ යැයි ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රිවරයෙක් පැවැසීය. ඉන්දීය සංචාරය නිම කළ මහින්ද රාජපක්ෂ මන්ත්‍රිවරයා මෙරටට පැමිණි වහාම ගුවන් තොටුපොළේ සිට පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ විවාදයේ අදහස් දැක්වීමට බවත් එම මන්ත්‍රිවරයා පැවැසුවේය. සභා ගර්භයටද පැමිණි මහින්ද රාජපක්ෂ විවාදයේ අදහස් දැක්වීමට සෑහෙන වේලාවක් බලා සිටි නමුත් අවස්ථාවක් ලැබී නැත. මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන, පියංකර ජයරත්න, පියල් නිශාන්ත, කෙහෙළිය රඹුක්වැල්ල යන මන්ත්‍රිවරුන්ද කතානායකවරයාට සිය විරෝධය පළ කර ලද බවත් හේ කීය.

හොරකම් නවත්වනවා යැයි කියූ ආණ්ඩුව අද හොරකම් කරනවා: ව්‍යවස්ථාවේ කටයුතු හරියට කරාවිදැයි ජනතාවට සැකයි

හොරකම් නවත්වනවා කියලා ආපු ආණ්ඩුව අද හොරකම් කරනවා. සියලු දේවලින් අපිරිසුදු වුණු ආණ්ඩුවක්. එහෙම ආණ්ඩුවක් ව්‍යවස්ථාවකදී පිරිසුදුව කටයුතු කරාවිද කියන සැකය ජනතාව තුළ මතුවීම සාධාරණ යැයි විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක පැවැසීය.
ව්‍යවස්ථාවක් එපා කියන මතවාදයක් මේ රටේ ඇතිවිය යුතු නැහැ. රටට ව්‍යවස්ථාවක් අවශ්‍යයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළ පැහැදිලි බෙදීමක් තියෙනවා.
පාර්ලිමේන්තුව පඹයකුගේ ගානට වැටුණේ විධායක බලය නිසයි. යුද්ධය නිර්මාණය කළේ විධායක ජනාධිපති බලයයි. විධායක ජනාධිපති ධුරය හීලෑ වුණු පූසෙකු නෙවේ.
මේ ව්‍යවස්ථාව අහෝසි කිරීමේදී නව ව්‍යවස්ථාවක් සකස් කර එය අනුමත කිරීමට ජනතාව ඉදිරියට යෑමට සිදුවී තිබෙනවා.
ව්‍යවස්ථාව ගැන එළියේ නඟන ඝෝෂාව මේ සභාව තුළ නැහැ. මෙහෙ තියෙන්නේ සිහින් කෙඳිරිල්ලක්. පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීම් ගැනත් එළියේ ලොකු ඝෝෂා තිබෙනවා. ඒවා එක එක අයගේ වුවමනාවන්.

එක්සත් ජාතික පක්‍ෂය මේ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ නිශ්චිත, ස්ථීර ප්‍රතිපත්තිය දෙනවා වෙනුවට බෝලෙ දාලා කොහොමද හැසිරෙන්නේ කියලා බලනවා. ඒක හොරගල් ඇහිලීමේ ප්‍රතිපත්තියක්. එක්සත් ජාතික පක්‍ෂය පිළිගත් පක්‍ෂයක් හැටියට තමන්ගේ ස්ථාවරය ප්‍රකාශයට පත් කරන්න තිබුණා.
උතුරේ දෙමළ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්‍ෂා කරන්න නම් දෙමළ ජාතික සන්ධානය දෙමළ ඩයස්පෝරාවේ අත්අඩංගුවෙන් මිදිය යුතුව තිබෙනවා.

ජාතික ප්‍රශ්නය ගැන තවමත් එකඟතාවකට පැමිණ නැහැ:
මේ අවස්ථාව මඟහැරුණොත්
එය මහා ඛේදවාචකයක්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් බලය බෙදීම සිදු කළ යුතු බවත් එය අවතක්සේරු නොකළ යුතු බවත් විපක්ෂ නායක ආර්. සම්පන්දන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල රැස්වීමේදී පැවැසීය.
'උපරිම බලය බෙදීමක් සිදුවිය යුතුව ඇතැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් අදහස් කළා. රටේ ජනතාව සාමය සඳහා බලය බෙදීමට එකඟතාව ලබාදිය යුතු බවද මහිින්ද රාජපක්ෂ මහතා සඳහන් කළා.'
'සර්වපාක්ෂික සමුළුවේදී දැක්වූ ප්‍රකාශවලට පටහැනිව, මහින්ද රාජපක්ෂ මහතා අද අදහස් ප්‍රකාශ කිරීම ගැන කනගාටු වෙනවා.
'එක්සත් ශ්‍රී ලංකාව තුළ නොබෙදුණු ශ්‍රී ලංකාව තුළ සැමටම පිළිගත හැකි විසඳුමක් අවශ්‍යයි කියා ඔස්ලෝ සමුළුවේදී ජී.ඇල්. පීරිස් ප්‍රකාශ කළා. අද ඊට වෙනස් මතයක් ඔහු ප්‍රකාශ කරනවා.'

'ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් සියලු දේශපාලන පක්ෂ එකඟතාවකට පැමිණීමට නොහැකි වූ නිසා එය යුද්ධයක් බවට පත් වුණා. යුද්ධය අවසන් වුවත් මේ ජාතික ප්‍රශ්නය තවමත් විසඳීමට නොහැකි වී තිබෙනවා. අද උදා වී ඇති මේ අවස්ථාව මඟහැරුණොත් එය මහා ඛේදවාචකයක්.
'අපි මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම කළ යුතුයි. ඒ සඳහා අපි සහයෝගය දක්වනවා. මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පීඩනය ඇති වීම වැළැක්විය යුතුයි. මේ ප්‍රශ්නය අභ්‍යන්තරව විස¼දා ගැනීම නොකළහොත් ජාත්‍යන්තරය මීට වඩා තදබල ලෙස මැදිහත්වීමට ඉඩ ඇති බව මතක තබා ගත යුතුයි.
'අපි අපේක්ෂා කරන්නේ නොබෙදුණු ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදීමක් තමයි. මේ රටට ව්‍යවස්ථාවක් ඇති කිරීමේදී සිංහල ද, දෙමළ ද, මුස්ලිම් ද, වශයෙන් නොව එය කාටත් සාධාරණ වන ව්‍යවස්ථාවක් විය යුතුයි.'

'බණ්ඩාරනායක මහතාට පැහැදිලි දැක්මක් තිබුණා. එතුමා බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම අස්සන් කළා. එතුමාට එය ක්‍රියාවට නැංවීමට මේ රටේ ඇතැම් බලවේග ඉඩ දුන්නේ නැහැ.'

'අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය නැහැ: දැනට පවතින ව්‍යවස්ථාවේ
යම් යම් සංශෝධන කළාම ඇති'

අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය නැහැ. දැනට පවතින ව්‍යවස්ථාවේ යම් යම් සංශෝධන කළාම ඇති' යැයි, විශේෂ ව්‍යාපෘති ඇමැති ආචාර්ය සරත් අමුණුගම පැවැසීය.
'දහතුනට එහා වශයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේ සෙනෙට් සභාව ගැනයි. සෙනෙට් සභාවක් ඇති කෙරෙනවාට අපි විරුද්ධ නැහැ. අපි එකඟයි. 'අපේ ව්‍යවස්ථාව ලිඛිත ව්‍යවස්ථාවක්. එංගලන්තයේ ලිඛිත ව්‍යවස්ථාවක් නැහැ. ඉන්දු - ලංකා ගිවිසුමට අනුවයි 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇති කළේය. 13 වැනි ව්‍යවස්ථාවේ සඳහන් ඇතැම් කොටස් ක්‍රියාත්මක කෙරෙන්නේ නැහැ. එම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්න බැහැ.'
'සමගාමී ලැයිස්තුවක් ඉන්දියාවෙත් ක්‍රියාත්මකයි. ඉන්දියාවේ සමගාමී ලැයිස්තුවට වැඩි දෙයක් ලබාදිය නොහැකියි. එසේ කිරීමෙන් පසු ඉන්දියාවේ ප්‍රාන්තත් සමගාමී ලැයිස්තුව වෙනස් කළ යුතු බවට ඉල්ලන්න පුළුවන්. ඉන්දියාව ඊට එකඟවෙන එකක් නැහැ. අපිට මේවා සාකච්ඡා කරලා විසඳන්න පුළුවන්. තර්ටීන් ප්ලස්වලට අපි එකඟයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon