උතුරේ කුලහීන ජනතාව හිරකරගෙන ඉන්නවා ඒ අයගේ ප්‍රශ්න විසඳන්න යෝජනා ඉදිරිපත් වී නැහැ

  👤  3533 readers have read this article !
2017-11-03

'උතුරේ කුලහීන ජනතාව හිරකරගෙන ඉන්නවා. ඒ අයගේ ප්‍රශ්න ගැන කතා කරන්නෙත් නැහැ. මේ ව්‍යවස්ථාවෙන් එම ජනතාවගේ ප්‍රශ්න විසඳන්න යෝජනා ඉදිරිපත් වී නැහැ'යි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද යාපා අබේවර්ධන පැවැසීය.

'උතුරේ මුස්ලිම් ජනතාවට සාධාරණය ඉටුවන්නේ නැහැ. ඔවුන් උතුරේ සුළු ජාතිකයන් වෙලා. කොළඹ දෙමළ ජාතිකයන් සුළු ජාතීන් වෙලා. ඒ සම්බන්ධයෙන් සාධාරණයක් ඇති කළ යුතුයි.'

'සිංහල මිනිස්සු ජාතිවාදීන් නෙවි. ජාතිවාදය ගැන කතාකරන්නේ දේශපාලනඥයන්. මේ ප්‍රශ්න ගැන හැමදාම දේශපාලනඥයන් කතා කරනවා. බලය ලබාගන්නයි හැම අවස්ථාවේම දේශපාලනඥයන් මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ.'
'මේ ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය නැති කෙරෙනවා. මේ ව්‍යවස්ථා ගෙන ඒමට උත්සාහ කරන්නේ, දේශපාලන අවශ්‍යතාවටයි. මේක මේ ආණ්ඩුව ජනතාව රවට්ටන්න කරන වැඩක්. මේකෙන් නැවතත් ජාතිවාදය ඇවිස්සෙනවා.'

'පනහයි පනහ ගෙන ඒමෙන් කිසි දවසක තනි පක්ෂයකට බලයට එන්න ලැබෙන්නේ නැහැ. හැමදාම හවුල් ආණ්ඩු හදන්න වෙන්නේ. මේක හෙණ ගහන අපරාධයක්. මේ වැඩේ කරන්න එපා.'

බලය බෙදනවා කියලා අන්තිමට
බලය නොබෙදා හරීවිද සැකයි

'බලය බෙදනවා කියලා අන්තිමට බලය නොබෙදා හරීවිද යන සැකයක් අප තුළ පවතිනවා' යැයි ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා ඇමැති මනෝ ගනේෂන් පැවැසීය.
'මේ ව්‍යවස්ථාව ගැන සිංහල හා දෙමළ ජනතාව අතර සැක පහළ වී තිබෙනවා. වෙනම රාජ්‍යයක් නිර්මාණය කරයිද? නැවත සන්නද්ධ අරගලයක් ඇති කරයිද? යන සැකය සිංහල ජනතාව අතර පවතිනවා.

ඒ වගේම අපිට දෙවැනි තුන්වැනි පුරවැසියන් බවට සලකයිද? මේ රට බහු ආගමික රටක් බවට පත් නොකරයිද? කියා දෙමළ ජනතාව තුළ සැකයක් පවතිනවා.
බලය බෙදීම රට බෙදීමක් නෙවි. බලය බෙදනවා කියලා අන්තිමට බලය නොබෙදා හරීවිදි කියලා සැකයක් තියෙනවා. සම්පන්දන් මහතා විපක්ෂ නායකයා වීමෙන් දකුණේ ජනතාවට පණිවුඩයක් ලබා දී තිබෙනවා. වෙනම රාජ්‍ය ව්‍යාපෘතිය අතහැරලා, නොබෙදූ රාජ්‍යයක්, එක්සත් රාජ්‍යයක් යන සංකල්පය අද සම්පන්දන් මහතා පිළිගෙන තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු 55 දෙනකු සිටින බව මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළා. සම්පන්දන් මහතා හිස් අතින් උතුරට යවන්න එපා කියලා මා ඉල්ලනවා.
ජාතික ප්‍රශ්නයට විසඳුමක් දෙන්න අනිවාර්යයෙන්ම බලය බෙදන්න අවශ්‍යයි. මේ රටේ ජීවත්වන සිංහල හා දෙමළ ජනතාව අතර විවිධ සැක පවතිනවා. අපි ඒක
තේරුම් ගන්න ඕන.'

බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අහිමිකරවන යෝජනා ආවොත් ජනතාව කුපිත වන බව තේරුම් ගත යුතුයි

බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අහිමිකරවීමේ ව්‍යවස්ථා සංශෝධනයන් හෝ නව යෝජනා ජනතාව කුපිත කරවන බව අප තේරුම් කරගත යුතුව ඇතැයි කම්කරු හා වෘත්තීය සබඳතා ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනවිරත්න පැවැසීය.
"එය සමස්ත ක්‍රියාවලියම ආපසු හැරවීමට සමත් ක්‍රියාවක්. ඒ නිසා බුද්ධාගම සම්බන්ධව දැනට ව්‍යවස්ථාවේ පවතින 9 වැනි වගන්තිය කිසිදු වෙනසකින් තොරව එලෙසම තිබිය යුතුයි.

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම මෙම ව්‍යවස්ථාවත් සමඟ ගෙන ඒම ගැටලු සහගත ක්‍රියාවක්. එය වෙනම පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකියි. අපි මේ සම්මුති ආණ්ඩුවට එක්වීමට බලපෑ ප්‍රධාන කරුණක් වූයේ මෙම මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමයි.
ඒකීය රාජ්‍ය සංකල්පය මෙම අතුරු වාර්තාවේ වැඩිම කතාබහට ලක්වී තිබෙනවා. ඒකීය රාජ්‍ය සංකල්පය සහිත පරිපාලන ව්‍යුහය අද ලෝකයේ සාර්ථකම රාජ්‍ය පාලනය වී තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වශයෙන් නව ව්‍යවස්ථාව සම්බන්ධව අපි අපේ යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ඒකීය රටක් තුළ පුළුල් බලතල බෙදීමක් සමඟ සියලු ජන වර්ගවල අයිතිවාසිකම් ආරක්ෂා කර දීමට අපි එකඟයි. පළාත් සභා සඳහා වඩාත් පුළුල්ව බලය බෙදා ගැනීමකදී රටේ ඒකීයභාවය ආරක්ෂා කර ගැනීම ඉතාමත් වැදගත්. ඒ නිසා විධායක ජනාධිපති ධුරය අවශ්‍ය බව අපේ මතය වනවා. උතුරු, නැඟෙනහිර අපට ඒ සම්බන්ධව නරක පූර්වාදර්ශයන් තිබෙන නිසයි මා එසේ කියන්නේ.

ආණ්ඩුවේ හෙලුව වහගන්න ව්‍යවස්ථාවට සළුපිළි අන්දවනවා

"තමන්ගේ හෙලුව වහගන්න ව්‍යවස්ථාවට සළුපිළි අන්දවනවා" යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති පැවැසීය.
"මේ රට එක්සත් රාජ්‍යයක් බවට නම් කිරීමට සමහරු උත්සාහ කරනවා. මේක කැඩිලා වෙන්වෙලා තිබුණු රටක් නොවේ. මේ රට කිසිම අවස්ථාවක කැඩුණෙ නැහැ. බෙදුණෙ නැහැ. රාජධානි වශයෙන් වෙනස්වුණ එක පමණයි සිදු වුණේ. දඹදෙණිය, කෝට්ටේ, අනුරාධපුර වැනි රාජධානි ඇතිවීම පමණයි සිදු වුණේ. ඒක අපි තේරුම් ගන්න ඕන".
"රට කඩන්න, බෙදන්න කිසිම අවස්ථාවක ජනතා විමුක්ති පෙරමුණ ඉඩ දෙන්න නැහැ. මේක නොබෙදුණ රාජ්‍යයක්. නොබෙදිය හැකි ශ්‍රී ලාංකේය ඒකීය රාජ්‍යයක්. ඒක තේරුම් ගන්න ඕන".

"එක්සත් ජාතික පක්ෂය එකම යෝජනාවක්වත් මේ ව්‍යවස්ථාවට ඉදිරිපත් කරලා නැහැ. එක්සත් ජාතික පක්ෂය මේ අවස්ථාවේ උත්සාහ කරන්නේ ඇඟ බේරා ගැනීමේ ප්‍රතිපත්තියක්. අපි ඒක තරයේ හෙළා දකිනවා".

යහපාලනයේ හාස්කමින් රටේ බඩු මිල අඩු වෙලාද? රාජපක්ෂ මහත්තයලා ගත්තු ණය අඩු වෙලාද? ජනතාවගේ ප්‍රශ්න විසඳිලාද කියල මම අහනවා. රටේ තියෙන සියලුම ප්‍රශ්න, අර්බුද යටපත් කරලා අද මේ ව්‍යවස්ථාව තමුන්නාසේලා ඉහළට ගෙනැවිත් තිබෙනවා. අපි ඒවට ඉඩ දෙන්නෙ නැහැ".
"ජනතා විමුක්ති පෙරමුණ කිසිම දවසක කිසිම කෙනකුට කඩේ ගිහිල්ලා නැහැ. කඩේ යන්නෙත් නැහැ. මේ දෙගොල්ලොම ආගමික උන්මාදය, සංස්කෘතික උන්මාදය, ජාතික උන්මාදය ඇතිවයි කටයුතු කරන්නේ".

අලුත් ව්‍යවස්ථාවත් සමඟ මේ රට ඉවර වෙනවා

'එල්ටීටීඊ ඩයස්පෝරාවට මේ ව්‍යවස්ථා දැනෙන්නේ ඊළාම් සිහිනය සැබෑ කරවන නෛතික ලියැවිල්ලක් හැටියට' යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි පවිත්‍රා වන්නිආරච්චි පැවැසුවාය.

'ඒ වගේම සුදු අධිරාජ්‍යවාදීන් මේ ව්‍යවස්ථාව දකින්නේ ඒගොල්ලට අවශ්‍ය වන නෛතික ලියැවිල්ලක් හැටියටයි.'
මොන්ටිවීචිසෝ සම්මුතියට අනුව පාර්ලිමේන්තුව සතු බලය පළාත් සභාවට පවරාදීමට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් කටයුතු යොදා තිබෙනවා. ජනතා පරමාධිපත්‍යයේ ව්‍යවස්ථාදායකයේ බලය, පළාත් සභාවලට පැවැරීමටයි මේ කටයුතු කරන්න යන්නේ.
පළාත් විෂයන් සම්බන්ධයෙන් නීති හැදීමේ බලය මේ කෙටුම්පත මඟින් පාර්ලිමේන්තුවට තිබෙන අයිතිය අහිමි කර තිබෙනවා. ඕනෑම පළාතකට බෙදී වෙන්විය හැකි අන්දමට මේ කෙටුම්පත සකස් වී තිබෙනවා.

ජාතික විෂයයන් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සෑදීමේ බලය පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට මෙහි කටයුතු කිරීමට යනවා. අලුත් ව්‍යවස්ථාවත් සමඟ මේ රට ඉවර වෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ගේ තිබුණු හැඟීම එක්සත් ජාතික පක්ෂයේ සමහර මන්ත්‍රිවරුන්ට තිබෙන බව අපි දන්නවා. ජාතිය ඉදිරියේ අපේ වගකීම ඉටු කරන්න ලැබී තිබෙන මේ අවස්ථාවේ මේ බරපතළ කුමන්ත්‍රණය පරාජය කරන්න තනතුරු ප්‍රතිලාභ අතහැර එකතු වන ලෙස ඉල්ලනවා.'

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon