මරණයෙන් පසු අන්තරා භාවයක් තියෙනවා

  👤  4518 readers have read this article !
2017-11-05

කෙනකුගේ මරණයේදී පහළ වන චුති චිත්තයත් සමඟම ඊළඟ ප්‍රතිසන්ධිය හටගන්නේය යන න්‍යායයෙහි පිහිටි ථෙරවාදීහු පෙර භවයත් අලුත් භවයත් අතර, අතුරු භවයක් හෙවත් අන්තරා භවයක් ඇතැයි පිළිගන්නේම නැත. එසේම ඒ මතයෙහි දැඩිව සිටින අය පුනර්ජන්ම සිද්ධීන් ගවේෂණය කිරීමේදී පෙර භවයත් අලුත් භවයත් අතර යම් කාල පරාසයක හිස් බවක් ඇත්තේ ඇයි දැයි යන ප්‍රශ්නයට පිළිතුරක් දෙන්නේද නැත. පිළිතුරක් සොයන්නේද නැත.

එවැනි අන්තරාභවයක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කර නැතැයිද චුතියත් සමඟම අතරක් නැතිවම ප්‍රතිසන්ධිය සිදුවන බව ධර්මයේ සඳහන් වන බැවින්, 'අන්තරාභවයක්' නැතැයි ඔවුහු පවසති. සිතක් නැති වූ සැණින් අලුත් සිතක් පහළ වන න්‍යාය අනුවද ඔවුන් නිවැරැදි යැයි සිතිය හැකිය. එහෙත් අභිධර්මයේ උත්පාද _ ඨිති _ භංග යැයි අවස්ථා තුනක් දක්වා ඇති බවද අමතක නොකළ යුතුය. අන්තරාභවයද තාවකාලික භවයක් ලෙස ගත් කල මෙහි මත භේදයකට කරුණක් නැතැයිද ඒ තුළ නාම රූපයන්ගේ ඇතිවීම හා නැතිවීම දිගින් දිගට සිදුවන නිසා එහිද නැතිවීම සමඟ හටගැන්මක් ඇතැයිද අපට හැඟේ.

ස්ත්‍රී - පුරුෂ සංයෝගයකින් හට ගන්නා ජීවමය කලලයට සසර සැරිසරන සත්ත්වයකුගේ උපාදානස්කන්ධ සංයුතියක් හෙවත් ගන්ධබ්බයකුගේ පැමිණීමක් කර්මානුරූපව සිදුවේ. මෙහිදී ගන්ධබ්බයා මවු කුසක් සොයා ගෙන පැමිණීමත් සමඟ, විශ්වයේ පුදුම සහගත ලෙස සාධාරණ ලෙස, ප්‍රබල ලෙස කර්ම ශක්තියේ ක්‍රියාත්මක වීමද සිදුවේ. ඒ අවස්ථාවට පූර්ව අකුසල කර්මයක් සිතේ පහළ වුවහොත් උපත දුගතියකට තල්ලු කැරේ. පූර්ව කුසල කර්මයක් පහළ වුවහොත් සුගතියකට තල්ලු කැරේ. කර්මානුරූපව සිදුවේ යැයි කියන්නේ ඒ නිසාය. කෘත්‍රිම නළයක නිපන් ජීවයක් වුවද මවු කුසක තැන්පත් කිරීමෙන් පසුවම ගන්ධබ්බයකු පැමිණෙයි. මේ ගන්ධබ්බයා පැමිණි පසු එම ජීවී කලල රූපය සත්ත්වයකු වශයෙන් වැඩීමට අවශ්‍ය සුදුසුකම් දරයි. මවගේ ශරීරයට ඇලී එයින් උරා ගන්නා පෝෂණ ශක්තිය නිසා එය සිදු වෙයි. ආරම්භක අවස්ථාවේ එය සියුම් මස් පිඬක් පමණි. එහෙත් ගන්ධබ්බයා පැමිණි පසු සත්ත්වයකුගේ තත්ත්වය ගනී. එසේ ඇසුරු කර සිටින සත්ත්වයා විවිධ වූ දැනුම් ලබා සිටින, සුදුසුකම් ලබා සිටින කෙනෙකි. මහාචාර්ය හෙලන් වැම්බෝ ලියූ ඹ්ඪටඥ ඕඥටධපඥ ඹ්ඪටඥ නමැති ග්‍රන්ථය ද එවැන්නකි. එතුමිය 2400 දෙනකු පමණ මෝහනයට පත් කොට එයින් වඩාත් නිරවුල් පැහැදිලි තොරතුරු 750ක් එහි අන්තර්ගත කොට ඇත. මේ සිද්ධි මඟින් කලල රූප අවස්ථාවට අමතරව තවත් දේ දැන ගැනීමට පුළුවන. මේ එයින් කීප දෙනකුගේ විස්තරය.

'මා දරු ගැබට අතුළු වූයේ නව වැනි මාසයේ අග හරියේය. ඒ කාලයේ මවගේ හැඟීම ගැන ඔබ විමසනවා. මව සිටියේ උනන්දුවක් නැතිවය. ඇය සැමියා සමඟ මුදල් හිඟකම ගැන කතා කරමින් සිටියා. මා එවේලේ සිටියේ කොහිද යනු නිශ්චය නැහැ. මේ දරු ගැබට ඇතුළු වී මෙම ජීවිතය ගත කිරීමට බල කිරීමක් මට දැනුණා. (මේ ගන්ධබ්බයා හොඳට දැනුම් තේරුම් ඇති කෙනකු සේ අපට හැඟෙයි. මා එවේලේ සිටියේ කොහිදයි යනු නිශ්චය නැතැයි කීම සිතා බැලිය යුතු දෙයකි. ඔහු සමහර අවස්ථාවල කලල රූපයෙන් පිටත සිටියා විය හැකිය. එසේ නම් රූප ස්කන්ධ සංයුතියට බාහිරව ද පැවතුණු බව පැහැදිලි වෙයි.)

'මම සම්පූර්ණ ලෙස දරු ගැබට ඇතුළු වී නොසිටියෙමි. මා සම්පූර්ණ ලෙස ඇතුළත් වීමට පෙර දරු ගැබට ඇතුළු වී සිටීමටත් එයින් පිට සිටීමටත් මට හැකියාව තිබිණි. මා ඇතුළත් වූයේ බිහිවීමට ආසන්නයේමය. ඒ වෙලාවේ මවගේ හැඟීම්ද වෛද්‍යවරයා හා සාත්තු සේවිකාවන්ද සූතිකාගාරයද පිළිබඳ මට දැනීමක් ඇත'
('මේ සිද්ධියෙන් අනාවරණය වන්නේ ගන්ධබ්බයා ස්වාධීන පුද්ගලයකු ලෙස කලලයට බාහිරව, එයින් පිට සිටි බවයි. එවිට ඒ අතුරු භවයක් හෙවත් අන්තරාභවයක් නොවේද?' අන්තරාභවය හෝ ඒ නමින් හැඳින්වීම නොකළත් එවැනි තත්ත්වයකි')
මම කලල රූපයේ ආරම්භයේදීම එහි ඇතුළත් වීමි. කලලයෙන් මම වෙන් වී සිටියෙමි. ආපසු ඇතුළත් වූයේ ප්‍රසවයට ආසන්නයේය. (එසේ නම් කලලයෙන් වෙන් වී ප්‍රසවයට ආසන්න වන තුරු මේ ගන්ධබ්බයා සිටි තත්ත්වය කුමක්ද?)

'මවු කුසට ඇතුළුවීමේදී පැහැදිලි රූපයක් හා දැනීමක් මට ඇති වී මගේ හිස විවරයට ඇතුළු කළෙමි. මගේ හිස ලේ ගොඩක තිබෙන්නා සේ දැනුණි.' (මෙහි පැහැදැලි රූපයන් හා දැනීමක් තිබීම, හිස විවරයට ඇතුළු කිරීම, ලේ ගොඩක සිටින්නා සේ දැනීම යන කරුණුවලදී මේ ගන්ධබ්බයාට චිත්ත වීථි විශාල ප්‍රමාණයක් හට ගෙන ඇත. එසේ නම් ගන්ධබ්බයා ද සත්ත්වයෙකි.
'කුසෙන් බිහිවන අවස්ථාවේ මා ප්‍රසව ඇඳේ උඩින් අහසේ පාවෙන්නා සේ දැනුණා. මම නූලකින් මවට සම්බන්ධ වී සිටියෙමි'
මා ලොකු ශරීරයක් දරා සිටිමින් කලල රූපයට ඇතුළු වූයේ පුනීලයකින් කුඩා වෙමින් ඇතුළට පිවිසෙන්නා සේය. ක්‍රමයෙන් සම්පූර්ණයෙන් ඇතුළු වීමි. (ලොකු ශරීරයක් දරා සිටියා නම් ගන්ධබ්බයා විශාල මනෝමය කායකින් සිටි බව පෙනේ. ඒ කෙසේද රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන උපාදානස්කන්ධ පහම පිහිටා ඇත. සියුම් ශරීරයක් තිබිය යුතුය. කුඩා වෙමින් ඇතුළු වූ බවද ක්‍රමයෙන් සම්පූර්ණයෙන් ඇතුළු වූ බවද දැනී ඇත. ඒ නිසා චුතියට අනතුරුව ක්ෂණයකින් සිදුවූ ප්‍රතිසන්ධියක් නොවේ. චුති චිත්තයට අනතුරුව ප්‍රතිසන්ධි චිත්තය පහළවීම සැබෑය. ඒ චිත්ත වීථි හට ගැනීමය. සිත් පහළවීමත්, කලල රූපයට ගන්ධබ්බයකු ඇතුළුවීමත් අතර වෙනසක් පවතින බව මෙහි පැහැදිලිව පෙනේ.

'මා කලල රූපයට ඇතුළු වූයේ මාස තුනකිනි. එහෙත් මා නොකඩවා සිටියේ නැත' (මේ ගන්ධබ්බයා වරින් වර කලලයට ඇතුළු වී සිට නැවත පිටස්තරව සිටි බව පෙනේ. එසේ නම් මේ වරින්වර පැමිණීම ප්‍රතිසන්ධි ගණනාවක් සේ ගත හැකිය. මෙහිදී චිත්තජමය ක්‍රියාවට අමතරව සියුම් වුවද භෞතිකමය ක්‍රියාවක් සිදුවී ඇත.)
'මම කලල රූපය ඇතුළේ සිටිනු වෙනුවට ගර්භාශය වටේ සිටියෙමි.' (මෙහිදී මී වදය වටා සැරිසරන මී මැස්සකු සේ සිටි බවක් පෙනේ. මෙතැනදීද ඔහු බාහිර පුද්ගලයෙකි.)
'මම ඇතුළත හා පිටත සිටිමින් කලල රූපයේ වැඩීමට උදවු වීමි. මම බොළඳ වීමි. එහෙත් බිහිවීමෙන් පසුවද මම සම්පූර්ණයෙන් ඇතුළතම නොසිටියෙමි. මගේ මව ඇගේ සිහිනවලින් පිරී සිටි බව මට දැනුණා. උපතින් පසු මගේ ශරීරයෙහි සිර වුණා. හුස්ම හා හැ¾ඩීම පටන් ශරීරයෙහි අගුළු දමා ගත්තා.' (මෙහි අවසාන මාස දෙක ඉතා වැදගත්ය. පාඨකයාට විමර්ශන ඥානයෙන් බොහෝ දේ සිතාගත හැකිය)

'මම මාළු පැටියා අවස්ථාවේ සිටම ගර්භාශයේ වීමි. එහි එහාට මෙහාට නොකඩවා ගියෙමි. මම සෙල්ලම් කරන්නාක් මෙන් වීමි' (මෙන්න මේ පුද්ගලයා ගන්ධබ්බයා නම් ස්ථිරවම ගර්භාශයේ පදිංචිව අවසානය දක්වා කල් ගෙවූ බව පෙනේ. එහෙත් ඔහුද කලින් භවයෙන් මැරුණු සැටියේම මෙහි ප්‍රතිසන්ධිය ලැබූයේ දැයි අපැහැදිලිය)
'මට දැනෙන ලෙස මම කලල රූපය වටා හැසිරෙමින් සිටියෙමි. එහි හෘද ස්පන්දනය පටන් ගත් පසු මම එයට ඇතුළු වීමි'
'පළමුව මම කලල රූපය දෙස බලා සිටියෙමි. ඒ සමඟම මම එහි ඇතුළේ සිටියෙමි. අතහැර නොයෑමට තදින් සිතාගෙන සිටියෙමි. (මේ අනුව කලල රූපයත් ගන්ධබ්බයාත් එකක් නොව දෙකකි. අත හැර නොයෑමට තදින් සිතා සිටියා යනු නොඑසේ නම් අත්හැර යෑමටද පුළුවන් බවයි.
ආචාර්ය හෙලන් වැම්බෝ මහත්මියගේ පර්යේෂණයට ලක්ව තිබූ තවත් ප්‍රකාශයක් මෙසේය. 'මගේ මව පෙර ජාතියකදී ද මගේ මව වූවාය. තවත් පෙර ජාතියකදී මගේ දරුවකු වූවාය. පෙර මගේ දූවරුන්ව සිටි අය නැවත මගේ දූවරුන් වී තිබීම ආශා කළහ. මම ඔවුන් පෙර ජීවිතවලදී හා ජීවිත දෙකකට අතර කාලවලදී ද දැන සිටියෙමි. (මෙහිදීද ජීවිත දෙකකට අතර කාලයක් ගැන කියැවේ. එය අතුරු භවයක් නොවේද? ඒ අවස්ථාව සත්ත්වයකුගේ තත්ත්වය නොවේද?)
ජීවිත දෙකක් අතර පවතින තත්ත්වය පිළිබඳ යමක් සිතා ගත හැකි අවස්ථාවක් ත්‍රිපිටකයේ සඳහන් වෙයි. එය සංයුක්ත නිකායේ සලායතන වර්ගයේ අඛනනත සංයුක්තයේ වජ්ඡගොත්ත සූත්‍රයේ සඳහන් වේ.

භවත් ගෞතමයන් වහන්ස! යම් කාලයක මේ කයත් අත් හරී. සත්ත්වයා වෙත කයකටද නොගියේ වෙයි. භවත් ගෞතමයන් වහන්සේ මීට කුමක් උපාදාන කොට දක්වන සේක්ද?
වච්ඡය, යම් කලෙක මේ කයත් අත්හරීද? සත්ත්වයා වෙන කයකටත් නොගියේ වෙයිද?, මම ඔහු තණ්හාව උපාදානය ඇත්තකු කොට කියමි. චච්ඡය, තණ්හාවෙන් යුක්ත වූවහුට ඒ අවස්ථාවෙහි එය උපාදානය වෙයි.

වච්ඡගොත්ත සූත්‍රයේ සඳහන් මේ පාඨය ගැන සලකා බලන විට චච්ඡගොත්ත ඇමතූ බුදුරජාණන් වහන්සේ 'මේ කය අත්හරින ලද, එහෙත් වෙනත් කයකට නොගිය සත්ත්වයකු පිළිබඳ මෙසේ ප්‍රකාශ කැර ඇත. එයින් කය අත්හැර වෙනත් කයට නොගිය අවස්ථාවක් (අන්තරාභව හෙවත් අතුරුභාව අවස්ථාවක්) බුදුරජාණන් වහන්සේගේ පිළිගැනීමටද ලක්ව ඇත. එබැවින් මෙය යළි යළිත් සිහිකර ඒ ගැන ගැඹුරින් සිතිය යුතුය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon