වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ

  👤  3764 readers have read this article !
2017-11-05

දඹදිව මගධ දේශයෙහි චම්පකවතී නම් වූ වනයක චිරාත් කාලයක පටන් මහත් සෙනෙහසකින් මුවෙක් සහ කවුඩෙක් වාසය කරති. ඒ මුවාද තමා කැමැති පරිදි තණපත්, දලු ආදිය කමින් හැසිරෙන්නේ, ලෙළදෙන මසින් පිරී මහත් වූ සිරුරක් ඇත්තේ, කිසියම් සිවලකු විසින් දක්නා ලදී. මුවා දැක "යහළුව නුඹගේ සැප සනීප කෙසේද? සුවෙන් සතුටින් සිටිනවාද?" සිවල් තෙමේ මුවාගෙන් විචාළේය.

පුදුමයට පත් වූ මුවා 'තෝ කාගේ කවරෙක්ද? කොහි සිට පැමිණියෙක්ද?" ඊට පිළිතුරු දෙමින් ඇසීය.
"මම ක්‍ෂුද්‍රබුද්ධි නම් වූ සිවලෙක්මි. මේ වනයෙහි නෑයින්ගෙන් තොරව කිසි හරණක් නොමැතිව ඉබාගාතේ යන මා මළ එකෙකු වැනිය. දැන් මිතුරකු බවට පැමිණි නුඹ නිසා නෑයන් සහිත වූයේ යළි පණක් ලැබුවකු සේ ජීවත් වීමට වරම් ලදිමි. ස

මේ අතර හිරුද බැස යමින් තිබිණි. මුවාද සිවලා කැටුව රැය ගත කිරීම සඳහා මුවා වසන තැනට පැමිණියේය. ඒ අසල සපු ගසක අත්තක කලෙක පටන් මුවා සමඟ මිතුරුකම් පවත්වන්නාවූ සුබුද්ධි නම් වූ කවුඩෙක් වාසය කරයි. කවුඩා ඔවුන් දෙදෙනා දැක "විසිතුරු ශරීරයක් ඇති මගේ යහළුව ඔබ හා පැමිණියා වූ මේ දෙවැනියා කවරෙක්ද? කොහි සිට ආවෙක්ද?" ඇසීය.

එවිට මුවා "මේ සිවලෙකි. අසරණ වූත් අනාථ වූත් මොහු අප හා මිත්‍රත්වය පතා පැමිණියෙකි"යි පැවැසීය.
"මිතුර ආගන්තුකව පැමිණි, නොදන්නා ලද කුල සිරිත් ඇති කිසිවකුටත් නවාතැන් නොදිය යුතුය. යම්සේ නුඹ මගේ මිතුරෙක් වේද එනිසාම නුඹගේ කීමට මගේ නෑයකු සේ මෙතැන් පටන් මොහු සමඟ මිතුරු වෙමි. එහෙත් එක් දෙයක් දැන ගත යුතුය."
"කිසිවෙක් කිසිවකුගේ මිත්‍රයෙක් නොවේ. කිසිවකුගේ සතුරෙක්ද නොවේ. පැවැත්මෙන් මිතුරෝද සතුරෝද උපදිත්." කවුඩා මුවාට අවවාදාත්මකව පැවැසීය.
ඒ අතර එක් දිනක් සිවලා රහසින් මුවාට මෙසේ පැවැසීය.

"මගේ ගුණ යහපත් මිත්‍රය, මේ වනයේ ඉහැත්තෑවේ කෙළවර සරුසාර ගොයමින් පිරුණු කුඹුරක් ඇත. නුඹ කැටුව එහි යෑමට කැමැත්තෙමි. නුඹට ඇති පදම් එහි රස ගුණ පිරි ගොයමින් නුඹේ කුස පුරවා ගත හැකිය." මෙසේ කියමින් සිවලා ගොයමින් පිරි කුඹුර පෙන්වීය. මුවාද දැඩි ආශාවකින් යුක්ත වූයෙන් දිනපතා අවුත් ගොයම් කා දමයි. ඉක්බිති කුඹුරු හිමියා ගොයම් කා ඇති බව දැන මුවා ඇල්ලීමට මළ පුඩුවක් ඇටවීය. පසුදා ගොයම් කෑමට පැමිණි මුවා අටවනු ලැබූ පුඩුවෙහි බැඳිණි. මරණ බියෙන් තැති ගත් මුවාට මෙසේ සිතිවිලි පහළ විණ.

"මරුවාගේ රැහැනින් මෙන් මළෙහි හිරවුණු මා ගලවා ගැනීමට මගේ අලුත් මිතුරා හැර වෙන කවරෙක් සමත් වේද?"
මේ අතර එහි පැමිණි සිවලා මුවා අසලින් සිටියේ "මගේ කපටි ප්‍රයෝගයෙහි අසුවුණු මූ මගේ මන‍ෙදාළ ඉටුවෙමින් පවතී. කුඹුරු හිමියා විසින් කපා දමන්නා වූ මස් ලේ තැවරුණු ඇට, නහර, අතුණුබහන් ඒකාන්තයෙන් මා විසින් ලැබිය හැකිය. ඒවා බොහෝ සෙයින් දින කීපයකට මගේ අහර පිණිස වන්නේය" යන සිතිවිල්ලෙන් යුතු සිවලා තව තවත් මුවාට ළංවිය.

මුවාද සිවලා දැක සතුටට පත් වූයේ "යහළුව පළමුකොට මගේ බැමි සිඳුව. මා මරණයෙන් මුදාගනු මැනව" මුවා සිවලාට බැගෑපත් විය.
සිවලා මළපුඩුව බලා මෙසේ කීය.

"යහළුව මේ බැඳ ඇති රැහැන් ඉතා දැඩිය. මේවා මගේ දුබල දත්වලින් කා දැමිය නොහැකිය. ඉදින් හෙට උදෑසන තා විසින් යමක් අයදිනු ලබන්නේ නම් නියත වශයෙන්ම එය ඉටු කරලමි. එතෙක් ඉවසා ගනු මැනවයි" කියා සිවලා අසල පඳුරක සැඟවී ගත්තේය. කවුඩාද ගෙවී ගිය රැයෙහි තම මිත්‍ර මුවාගේ නොපැමිණීම ගැන විපරම් කරනුයේ මළ පුඩුවට අසුවී සිටි මුවා ඇස ගැටිණි.

"අහෝ! මාගේ මිතුර නුඹට පත්වූ මේ විපත කොතරම් ඛේදජනකද? පිළිනොගන්නා ලද කල්‍යාණ මිත්‍රයාගේ වචනයෙහි විපාක නුඹ විසින් දැන් අත්විඳිනු ලැබේ" කවුඩා කීය.
"යමෙක් වැඩ කැමැත්තාවූ කලණ මිතුරන්ගේ වචනය නොඅසාද ඔහුට නියතයෙන්ම විපත් පැමිණෙනු ලැබේ. ඒ පුද්ගලයා සතුරන් සතුටු කරන්නේ වෙයි"
"ඒ වංචාකාර සිවලා කොහිද?" කවුඩා ඇසීය.

"මගේ මස් කෑමේ කෑදරයෙන් උෟ මේ අසලකම සැඟවී ඇත." මුවා කීය.
"මේ ගැන නුඹට කල් තියා අනතුරු ඇඟවීමක් නොකළේද?"

"මට අපරාධයක් නොවේම යැයි යන සිතිවිල්ල පමණක්ම විශ්වාසයට හේතු නොවේ" කවුඩා කීය.
ඉක්බිති කවුඩා සුසුම් ලමින් වටපිට බලනුයේ සැඟවී සිටි සිවලා දක්නට ලැබිණි.

"එම්බල වංචාකාරී කපටි සිවල, පාපකාරී වූ තා විසින් මේ සිදු කරන ලද අපරාධය කුමක්ද?" කවුඩා සිවලාට පරිභව කරන්නට විය.
ඉක්බිති කුඹුරු හිමියා පොල්ලක් අතැතිව කුඹුර බැලීමට එන්නේ කවුඩාගේ නෙත ගැටිණි. ඔහු එනු දැක කවුඩා මුවාට මෙසේ කියයි. "යහළුව නුඹ මළ එකෙකු මෙන් වාතයෙන් බඩ පුරවා කකුල් තදකොට නොසෙල්වී සිටුව. යම් විටෙක මා ශබ්දයක් කෙරේද එවිට වහා නැඟිට පලා යව"
කවුඩාගේ උපදෙස් පරිදි මුවා මළ එකකු සේ හුස්ම තද කොට පා හතර විහිදුවා වැතිර සිටියේය.

මළ මුවා දුටු කුඹුරු හිමියා සතුටින් දැල්වූ නෙතින් යුතුව මුවා මැරී ඇතැයි සිතා පුඩුවෙහි රැහැන් හකුලා පසෙක දමනවාත් සමඟ කවුඩා ශබ්දයක් කළේය. එසැණින් මුවා වහා නැඟිට පවනට බඳු වේගයෙන් පලා ගියේය. කෝපයට පත් කුඹුරු හිමියා විසින් දමා ගසන ලද පොල්ල සිවලාගේ හිසේ වැදී ජීවිතක්ෂයට පත් විය.
බෙම්මුල්ලේ-අජිත් ජයසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon