සත්‍යයට පිටු පෑ යුගයක අන්දරය

  👤  3616 readers have read this article !
2017-11-05

එක්තරා කාලයක බී.බී.සී යන අකුරු තුන තරම් පිළිකුල් කළ හා බොහෝ දෙනා විසින් හෙළා දුටු අකුරු තුනක් ශ්‍රී ලංකාවේ නොවූ තරම්ය. එය එසේ වූයේ බී.බී.සී යනු එල්.ටී.ටී.ඊ සංවිධානයට පක්ෂපාතීව හා සහයෝගීව ක්‍රියා කළ ආයතනයක් බව මෙරට බහුතරයක් ජනතාව තුළ වූ අවබෝධය හා විශ්වාසයයි. එම අවබෝධය හා විශ්වාසය ඉබේ ඇතිවූවක් නොව රාජ්‍ය අනුග්‍රහයෙන් දැනුවත්ව, ක්‍රමානුකූලව, සැලසුම් සහගතව ඇති කරනු ලැබූවක් බවට සාක්ෂි එමටය.

මෙසේ කරුණු දැක්වීමේදී බී.බී.සී.ය යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන් උත්තරීතර, මානුෂීය, ප්‍රජාතන්ත්‍රවාදී, සර්ව සාධාරණ මාධ්‍ය ආයතනයක් බව හෝ එයට සේවා සපයන්නන් එබඳු ගුණාංගයන්ගෙන් පරිපූර්ණ අයවළුන් සේ භෞතීස්ම කිරීමක් අප විසින් සිදු නොකරන බවද කිව යුතු වේ. එවැන්නක් අපිට කිසිසේත්ම අවශ්‍ය නොකෙරේ. මන්ද, සැබෑ මානුෂීය ගුණාංග හා හර පද්ධතීන් ස්ථාවරව, ස්තිරව පිහිටන්නේ බි්‍රතාන්‍ය වැනි අධිරාජ්‍යවාදී රාජාණ්ඩු පාලන ක්‍රමයක නෂ්ටාවශේෂ මත ගොඩනැඟුණු ලිබරල් ධනේශ්වර පාලනයක් තුළ නොව නිෂ්පාදන ක්‍රියාවලිය ශ්‍රමය සැබෑ හිමිකරුවන් සතු වූ, ශ්‍රමයේ පරිමාව මත නිෂ්පාදනය බෙදී යන සමාජවාදී ක්‍රමයක, විප්ලවීය වෙනසක් හා ක්‍රමවේදයක් තුළ බව අප අත්දැකීමෙන් වටහාගෙන ඇති බැවිනි.

මෙය අප විසින් අත්විඳින ලද්දේ කවදා, කොතැනදීද යැයි විස්තර මෙහිදී සඳහන් නොවෙතත්, එම විස්තර අවැසි අයට අප විමසිය හැකිය.
එනමුත් දියුණු ධනපති සමාජය තුළ පවතින ඇතැම් මානව චර්යා පද්ධති අපගේ රටවල් බඳු පසුගාමී චින්තනයෙන් යුක්ත රටවල නොමැති බැවින් අපේ මාධ්‍ය හා බී.බී.සී.ය අතර සුවිශාල පරතරයක් ඇතැයි පැවසීම හිතලුවක් නොවේ. බී.බී.සී.ය හා අපේ මාධ්‍ය භාවිතය අතර පවතින එම පරතරය ඉවසිය නොහැකිවූ රාජ්‍ය මාධ්‍ය පඹයන් මතු දැක්වෙන ප්‍රකාශ කළේ ඔවුන්ගේ ස්වාධීන අදහස් ලෙස වුවද, ඒවා හා රජයේ සෘජු හැසිරීම අතර කිසිදු පරතරයක් නොවූ බව පැහැදිලිය. එකල රටේ පැවැති වාතාවරණය අනුව එල්.ටී.ටී.ඊ සංවිධානයත් දෙමළ ජනතාවත් යනු එකම කාසියේ දෙපැත්ත යැයි සාධාරණය කිරීමට, තහවුරු කිරීමට ගත් අනේකවිධ පියවරයන් නිසා මේ තත්ත්වය උදාවූ බව දන්නෝ දනිති
"මේ රටේ ඉන්න බී.බී.සී වාර්තා කරන කලිසම් ඇඳපු එකාට කියන්නේ උඹ කලිසමක් ඇඳගෙන ද වාර්තා කරන්නේ. උඹ මේ රටේ පොළොවේ පය ගහලා ඉන්න එකෙක්ද?
දැන් මෙහේ ඉඳන් කිව්වානේ. මම අහවලා, මම මගෝඩිස් වාර්තා කරන්නේ කොළඹ සිට. කොළඹ සිට රටට විරුද්ධව වාර්තා කරන මම අහවල් එක්කෙනා කියන්නේ. මේ පච කෙළියට අනාගතේ දඬුවම් තියෙනවා. මේ රටත් එක්ක සෙල්ලම් කරන්න බැහැ. රටේ අනාගතයත් එක්ක ෆුට්බෝල් ගහන්න බැහැ. ඒ නිසා මේ මුදල්වලට රට වික්ක සමහරක් ඉන්නවා. මේ කඩප්පුලි මිනිස්සු, කඩප්පුලි මාධ්‍යවේදීන් කියලා ලේබලය අලවාගත්ත මිනිස්සු ටිකක් ඉන්නවා. උන් කොහොමද වැඩ කළේ කියලා ප්‍රසිද්ධියේ දැන් අපි වෙනම වැඩසටහනක් පටන්ගන්න ලෑස්ති වෙනවා. රටට ද්‍රෝහිවූවෝ නැත්නම් රටට විරුද්ධව සුදු කොඩි එසවූවෝ, එසවූ මාධ්‍යවේදියෝ, මොනතරම් දේවල් කිව්වද, ලිව්වද ජාත්‍යන්තරයට, සල්ලිවලට කරපු නිහීන පෙරේත මගෝඩි එවුන්නෙ මේ කලිසම් ඇඳගෙන රෙකෝඩරයක් කරේ ගහගෙන යනවා බොරැල්ල පැත්තෙ. වෙන රටක නම් මුන්ව හම ගහලා..."

9 පිටුව/ එල්මෝ ප්‍රනාන්දු කොළඹ සිට අප මේ සඳහන් කරන්නේ විජිත් කුමාර් සේනාරත්න ලියූ 'එල්මෝ ප්‍රනාන්දු කොළඹ සිට' නම් ග්‍රන්ථය පිළිබඳවය. එල්මෝ වනාහි එල්.ටී.ටී.ඊ .ය හා රජය අතර ගැටුම් සිදුවූ අවධියේ මෙරට ප්‍රවෘත්ති බී.බී.සී යට සැපයූ පුද්ගලයාය. ඉහත දැක්වූයේ ගුවන් විදුලියේ එවකට සිටි ගුවන් විදුලි මාධ්‍ය ආචාරධර්ම තඹයකට නොතැකූ ප්‍රධාන පුද්ගලයෙක් එල්මෝ අරබයා ගුවන් විදුලියෙන් කළ ප්‍රකාශයකි. මේ ප්‍රකාශයෙන් පමණක් වුව එවකට ශ්‍රී ලංකාවේ පැවති වටපිටාව වටහා ගැනීමට පුළුවන.

එල්මෝ ප්‍රනාන්දු කොළඹ සිට නම් ග්‍රන්ථයෙන් උත්සාහ ගෙන තිබෙන්නේ එල්මෝ ප්‍රනාන්දු ගුවන් විදුලි මාධ්‍යවේදියාගේ ජීවිත කතාව ඉදිරිපත් කරමින් ඒ සමඟ ඔහුගේ මාධ්‍ය ජීවිතයද විමසන්නටය. මේ දෙකරුණම සමබරව රැගෙන යන්නට ලේඛකයා උත්සාහ කර ඇති බව දිස්වේ. නමුත් ජීවන ප්‍රවෘත්ති ලියන බොහෝ අය අතින් ලියැවෙන්නේම අදාළ තැනැත්තාගේ හෝ තැනැත්තියගේ චරිතයේ සුදු ලක්ෂණ පමණය.

ජීවිත කතා ලියැවෙන බොහෝ අය එබඳු සුදු චරිතම ඇත්තවුන්දැයි මම බොහෝ වර මගෙන්ම ප්‍රශ්න කරමි. එබන්දන් අතින් ඔවුන්ගේ ජීවිත කාලය තුළදී එක් වරදක් හෝ සිදුව නැති ද? මන්ද මිනිසුන් යනු කළු, සුදු මිශ්‍ර චරිත ඇත්තවුන් නිසාය කෙසේ වෙතත් 'කුෂ්වන්ත් සිං' නම් ඉන්දියානු ලේඛකයා හැරෙන්නට තම වැරදි නොබියව ලේඛනගත කළ අයෙක් මගේ මතකයට නොනැඟේ. මෙයින් එළිදරව් වන්නේ, අපට හුරුපුරුදු, සමාජයට හා අපේ සංස්කෘතියට අදාළ කුහක සදාචාරයේ ලක්ෂණ මිස ලේඛකයාගේ අව්‍යාජත්වය නොවන බව මගේ අදහසයි. කරුණු එසේ වුව අපගේ විමසුමට භාජන වන්නේ මෙහි වන එල්මෝගේ පෞද්ගලික ජීවිතයේ තතු නොව ඔහුගේ මාධ්‍ය භාවිතයයි. තමුන්ගේ මාධ්‍ය භූමිකාව තුළ ඔහු අවංක, මැදිහත්, අපක්ෂපතී අධ්‍යාශයකින් කටයුතු කළේද යන්නයි.

මෙහිදී ද ප්‍රධාන කොට අපේ අවධානය යොමුවන්නේ ඔහුගේ මාධ්‍ය යොමුව හා බී.බී.සී. මාධ්‍ය යොමුව අතර පැවති සමාන අසමානකම් යම් ප්‍රමාණයකින් ග්‍රහණය කර ගැනීමට පාඨකයාටම අවකාශ සැපයීමට විනා අන් යමක් වෙත නොවේ. එයද කෙරෙන්නේ විජිත් කුමාර් සේනාරත්නගේ ප්‍රබන්ධය වූ එල්මෝ විසින් පවසන ලදැයි සඳහන් 'එල්මෝ ප්‍රනාන්දු කොළඹ සිට' නම් ග්‍රන්ථය ඇසුරෙන් විනා බී.බී.සී සන්දේශය මඟින් ප්‍රචාරය වූ අප ඇසූ දෑ ඇසුරෙන් නොවේ.

අපගේ පළමු අවධානය යොමුවන්නේ 'අතුරුදන් වූ රණවිරු සංගමය සමඟ තමිල් චෙල්වම් හමුවීම' මැයෙන් නම් කර තිබෙන පරිච්ඡේදයටය. රණවිරු සංගමයේ උදවිය කිලිනොච්චියට යන්නේ හමුදාවේ සිටි තම තමන්ගේ ඥාතීන්ට සිදුවූ දේ දැන ගැනීමටය. එල්මෝද මෙම ගමනට සහභාගි වන්නේ එම සංගමයේ ආරාධනයෙන් මඩු වන්දනාවේ යෑමට අවසර ලත් කණ්ඩායමේ පුද්ගලයෙක් හැටියටය. ඔවුන් තමිල් චෙල්වම් හමුවූයේ ඒ අයුරිනි.
"ඊට පසුදා සිය මුහුණෙහි තිරව රැඳී ඇති හිනාව සමඟ යථෝක්ත මවුපියන් සහ ඥාතීන් ඉදිරියේ තමිල් චෙල්වම් පෙනී සිටින්නේය. ශ්‍රී ලංකා පොලිසියේ සහ හමුදාවේ සේවය කරන තම පුතා, සැමියා, ඥාතියා, එල්.ටී.ටී.ඊ සංවිධානයේ අත්අඩංගුවේ පසුවන බැවින් ඒ අය පිළිබඳ තොරතුරු දැන ගැනීමට සියල්ලෝම පැමිණි බව ඔවුහු කියා සිටිති. තම රැඳවුම් භාරයේ එවැන්නන් නොමැත යනුවෙන් තමිල් චෙල්වම් පිළිතුරු දෙන්නේ සිය මුහුණින් පහව නොයන සිනහව දෙබෑ කරමිනි"
"චෙල්වම්ගේ ප්‍රකාශය අපේ නඩය විශ්වාස කළේ නැහැ. සියලු දෙනාම යළි යළිත් ඇවිටිලි කළා තම ඥාතීන් නිදහස් කරන ලෙසට. ඒ වුණත් චෙල්වම් පිළිතුරු දුන්නේ මුල් මතයේම රැඳෙමින්. එසේ නම් පිරිසට මොකද වුණෙ? සටනේදී අත්අඩංගුවට ගත් පිරිස මරා දැමුවාද යන ප්‍රශ්න ඝෝෂාවක් විදිහට මතුවුණා. එවැන්නක් සිදු නොකළ බවයි චෙල්වම්ගේ පිළිතුර. තවදුරටත් ඔහු පවසා සිටියේ යුද්ධයෙන් මියගිය හමුදා සෙබළුන්ගේ මෘත දේහයන් ආපසු ශ්‍රී ලංකා රජයට බාර දීමට කටයුතු සූදානම් කර තිබුණත් රජය ඒවා ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ බවයි. එම නිසා එම සිරුර අතර මේ විමසා සිටින ඥාතීන් සිටියා විය හැකි යැයි චෙල්වම් සැක පළ කළා. එසේ භාර නොගත් සිරුරු මිහිදන් කළ බවත් ඔහු වැඩි දුරටත් පැවසුවා"

57 පිටුව/ එල්මෝ ප්‍රනාන්දු කොළඹ සිට
එල්මෝ මෙම තොරතුරු බී.බී.සී යෙන් ප්‍රචාරය කළේදැයි මෙහි සඳහන් නොවේ. එහෙත් එම ගමනේදී ඔහු චෙල්වම් සමඟ විශේෂ සාකච්ඡාවක් කරන්නේය. එම සාකච්ඡාව එල්මෝ කළ එකක් සේ නොහැඟෙන පරිදි බී.බී.සී යෙන් ප්‍රචාරය වන්නේය. එයට පෙර බී.බී.සී යෙන් එල්මෝට චෝදනාවක් එල්ල වන්නේ එල්.ටී.ටී.ඊ නායකයන් හමුවීම පිළිබඳව ප්‍රමාණවත් දැනුම් දීමක් නොකළ බව කියමිනි.

"හැබැයි මට පස්සේ ආරංචි වුණා තමිල් චෙල්වම් එක්ක කතා බහක් ඇති කර ගන්න බී.බී.සී. යේ ද්‍රවිඩ අංශයේ කණ්ඩායමක් උත්සාහ කර තිබුණු විත්තිය. ඒ අයයි මගේ ප්‍රශ්නය පිළිබඳව උරණ වී එය අවතක්සේරුවට ලක්කර මට දෝෂාරෝපණයක් එල්ල වෙන ආකාරයට සැලසුමක් ක්‍රියාත්මක කර තිබුණේ. තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවා යැයි කියන බී.බී.සී ආයතනයේත් කැපිලි කෙටිලිවලින් සන්නද්ධ උදවිය ඉන්නා බවට මේ සිදුවීම කදිම සාක්ෂියක්"
58 පිටුව / එල්මෝ ප්‍රනාන්දු කොළඹ සිට

මේ කියන යුද සමයේම මාධ්‍යවේදීන් පිරිසක් සමඟ ගොස් තමිල් සෙල්වම් මුණගැසීමේ අවස්ථාව මට ද හිමි වූ බැවින් ඒ පිළිබඳ අදහසක් මා තුළ ද තිබේ. එහෙත් අප ගියේ මඩු වන්දනාවේ යන බව පවසා නොවේ. මේ ගමනට සහභාගි වූවන් ගෙන් පිරිසක් අද ඉන්නේ විදේශගතවය. කෙසේ වෙනත් පිදෙල් කැස්තේ‍රා්, චේ ගෙවේරා ආදීන් ඔවුන්ගේ විමුක්ති සටන් පිළිබඳව ලියා තිබූ දෑ කියවා සිටි මම, මේ ගමනට සහභාගි වූ පිරිස සමඟ විශේෂයෙන් නව සම සමාජයේ කණ්ඩායම හා කොත්තිගොඩ සමඟ වාද විවාද ඇති කර ගතිමි. මා ග්‍රහණය කර සිටි කරුණුවලට අනුව එල්.ටි.ටී.ඊ.ය ක්‍රමයෙන් විමුක්ති සටනක ස්වරූපයෙන් බැහැර වෙමින් සිටි අතර එය දෙමළ ජනතාවගේ විමුක්තිය සඳහා තවදුරටත් පෙනී නොසිටින පුද්ගලවාදී සංවිධානයක් බවට පෙරළෙමින් පැවතිනි. ඥානසිරි කොත්තිගොඩ ප්‍රමුඛ කණ්ඩායම හා අනෙකුත් අය දැඩිව විශ්වාස කළේ එල්.ටී.ටී.ඊය සමස්ත දෙමළ ජනතාවගේ විමුක්තිය උදෙසා අරගල කරන විමුක්ති සංවිධානයක් බවයි. අප මේ ගමන ගොස් ආපසු එද්දී බී.බී.සී.යේ චන්දන කීර්ති බණ්ඩාර අප කණ්ඩායම ඇමතූ බව මගේ මතකයේ තිබේ.

කොයි හැටි වෙතත් චෙල්වම් සිනහවෙමින් බොරු කියන්නෙක් බව ඔහු හා මඳ වේලාවක් ගත කරන පැහැදිලි දේශපාලන අවබෝධයකින් යුතු ඕනෑම අයකුට වටහා ගත හැකිය. එසේ නොවැටහෙන්නේ චෙල්වම්ලා දෙමළ ජාතික විමුක්ති අරගලයේ නියමුවන් යැයි විශ්වස කළ අන්ධ භක්තිකයන්ට පමණි. මේ ගමනෙහිදී අප හා එක්වුණු මංජුල වෙඩිවර්ධන ප්‍රභාකරන්ගේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වීම සඳහා කිලිනොච්චියේ නැවතුණු අතර අපි ආපසු ආවෙමු. මෙම ග්‍රන්ථයේ 'ප්‍රභාකරන් හා බාලසිංහම්' නම් පරිච්ඡේදයේදී දැක්වෙන්නේ එල්මෝ ද සහභාගි වූ එම මාධ්‍ය සාකච්ඡාව පිළිබඳවය.
"ඉංග්‍රීසි බසින් අසන ලද ප්‍රශ්න දෙමළ බසට පරිවර්තනය කොට ප්‍රභාකරන්ට යොමු කොට ඇත්තේ බාලසිංහම් විසිනි. ඔහු තවත් රාජකාරියක් කළා. ඒවට දිය යුතු පිළිතුරුත් ඔහුම දෙමළ බසින් කොඳුරා ප්‍රභාකරන්ට කියා දුන්නා"

123 පිටුව/ එල්මෝ ප්‍රනාන්දු කොළඹ සිට විමුක්ති අරගලයක නියමුවෙක්ගෙන් අසන ප්‍රශ්නවලට පිළිතුරු ඔහුට කියා දෙන්නේත් වෙනත් අයකු නම් ඔහු මෙහෙයවන විමුක්ති අරගලය කුමක්ද? මොහොතක් සිතා බලමු. මෙලෙස කියන්නේ බි.බී.සී. මාධ්‍ය නියෝජිතයාය. හෝ චි මිං, කැස්තේ‍රා්, මා ඕ, චේ ගෙවේරා වැනි විමුක්ති සටන් මෙහෙයවූ කිසිවෙක් තමන්ගෙන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු අනෙකකු කොඳුරන තුරු බලා සිටියේද? මෙයින් පෙනී යන්නේ ප්‍රභාරන්ට කෙබඳු හෝ දේශපාලන ඥානයක් නොතිබූ බව නොවේද? උතුරේ කළ සංචාරවලදී දෙමළ ජනතාව එල්.ටී.ටී.ඊ.ය හා රජයේ හමුදා ගැන එකම විධියේ ප්‍රකාශයන් කළ බව එල්මෝ කියයි. එම ප්‍රකාශයන් විග්‍රහයෙන් එල්මෝ ගේ අදහස වූයේ දෙමළ ජනතාව ව්‍යාකූලව සිටි බවයි. තමන් උදෙසා විමුක්ති සටනක් පවතින විට අවුලට පත්වන්නේ එම ජනතාව නම් එය විමුක්ති අරගලයක් විය නොහැකිය.
ප්‍රභාකරන් සමස්ත දෙමළ ජාතියේ විමුක්තිය උදෙසා සමාජවාදී අරගලයක්, ගරිල්ලා අරගලයක්, විමුක්ති සටනක් ගෙන ගිය බව මහ හ¾ඩින් පැවසූ, වික්‍රමබාහු අද රනිල් වික්‍රමසිංහගේ ලිබරල් චින්තනයට වහ වැටී වික්‍රමසිංහගේ සමාජවාදී සෙවණැල්ලේ විඩා නිවමින් පසුවෙයි.

මොනයම් තත්ත්වයක් යටතේ වුව පැවති දෙමළ අරගලය ජාතිවාදී, වර්ගවාදී එකකැයි හංවඩු ගසා, දකුණේ සිංහල ජනතාව තුළ ජාතිවාදය අවුළුවා සමස්ත දෙමළ ජනතාවම මර්දනය කරන්නට ගෙනගිය කුරිරු ක්‍රියාකාරකම් අපි කිසිසේත් අනුමත නොකරමු.
කොයි හැටි වෙතත් එම දරුණු යුද සමයේ වසන් කරන ලද තොරතුරු බොහෝ එළිදරව් කිරීමෙන් තම ජීවිත අවදානමද නොතකා ක්‍රියාකළ එල්මෝ වැනනෝ බී.බී.සී හා ප්‍රංශ පුවත් සේවය වැනි සේවාද නොවන්නට බොහෝ දෑ රහසේම වැළලී යන්නට ඉඩ තිබිණ.

නිසි වේලාවට නිසි පියවර නොගත්නේ නම් එල්මෝට අත්වන්නේ රිචඩ් ද සොයිසාට අත්වූ ඉරණමට වඩා භයානක ඉරණමකි. සන්දේශය අරඹයා රාජ්‍ය මාධ්‍ය හා රජයේ ප්‍රබලයන් දැනුවත්ව ගොඩනැංවූ විරෝධය එපරිදිය.

සන්දේශයේ සේවාව අගය කළ හැකි වුවද කවර අන්දමේ ආචාර ධර්ම පැවතියත් ධනපති මාධ්‍ය ආයතනයක් විමුක්ති අරගලයක් වෙනුවෙන් සෘජුව පෙනී සිටිතැයි සිතීමට තරම් දේශපාලන බංකොලොත් භාවයක් අප තුළ නැත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්