වසර 4000ක් පැරැණි ඊජිප්තු රැජනකගේ ලෝකයට රහසක් වූ කතාවක් එළියට

  👤  4125 readers have read this article !
2017-11-05

වසර 4000කට පෙර ඊජිප්තුව පාලනය කළ රැජනකගේ යැයි සැලකෙන ශරීර ප්‍රමාණ දැව පිළිමයක හිස ඊජිප්තුවේ කැණීමකදී එහි පුරාවිද්‍යාඥයන්ට හමුවී තිබේ. ඊජිප්තු පුරාවස්තු භාර අමාත්‍යාංශය විසින් අනාවරණය කරන එම කැණීම් ගීසා පිරමීඩ ආසන්නයේ තිබෙන "සකාරා" සුසාන භූමියෙහි සිදු කරන ලද්දේය. මෙම දැවමය ශීිර්ෂයෙන් දැක්වෙන්නේ වයස අවුරුදු 6දී සිහසුන උරුම වූ දෙවැනි පෙපිගේ මවගේ, දෙවැනි ඇන්කෙසන් පෙපී රැජනගේ හිස විය හැකි යැයි විශේෂඥයෝ අනුමාන කරති. එය සාමාන්‍ය මිනිස් හිසක ප්‍රමාණයෙන් නිර්මාණය වී ඊට සම්බන්ධ ගෙල දිගින් සෙ.මී. 30ක් පමණ වෙයි.

ජිනීවා විශ්වවිද්‍යාලයේ ප්‍රංශ හා ස්විට්සර්ලන්ත පුරාවිද්‍යාඥයන්ද ඇතුළු මෙම ගවේෂක කණ්ඩායමේ නායක මහාචාර්ය ෆිලිප් කොළම්බර්ට් කියන පරිදි මෙම දැව ප්‍රතිමාව හමුවී ඇත්තේ ඉන් පිළිබිඹු කෙරෙන රැජනගේ පිරමීඩයට නැඟෙනහිර දෙසින් තවත් නොයෙක් පුරාවස්තු විසිරී තිබුණු පෙදෙසක් කැණීමේදීය. පිළිමයේ කන් දැවයෙන්ම තැනුණු ආභරණවලින් සැරසී තිබෙන අතර ප්‍රතිමාව බොහෝදුරට අබලන් වී ඇති හෙයින් එය ප්‍රතිසංස්කරණය කළ යුතුව ඇතැයිද මහාචාර්ය කොළම්බර්ට් ප්‍රකාශ කරයි.

දෙවැනි ඇන්කෙසන් පෙපි රැජන ඊජිප්තුවේ හය වැනි රජ පෙළපතේ පළමු වැනි පෙපි රජුගේ භාර්යාවයි. එම රජුගේ අභාවයෙන් පසු ඇය ඇගේ සැමියාගෙන් ඇගේ සහෝදරියට ලැබී සිටි පුතා මෙරෙන්රේ - ආවාහ කර ගත් අතර ඔහුද පසුව පළමු වැනි ඇන්කෙසන් පෙපි නමින් හැඳින්විණි. ඒ වන විට ඔහු හය හැවිරිදි වියේ සිටි හෙයින් ඔහු නිසි වයසට පැමිණෙන තෙක් ඇන්කෙසන් පෙපි රැජන රට පාලනය කළාය. ඊජිප්තු පුරාවස්තු පිළිබඳ කටයුතු භාර අමාත්‍යාංශය එම කරුණු අනාවරණය කර ඇති අතර එම රැජන වෙනුවෙන් ඉදිවුණු පිරමීඩය ද ඇගේ ජීවිතය හා සම්බන්ධ වෙනත් පුරාවස්තුද සොයා ගැනීම සඳහා අදාළ භූමියෙහි කැණීම් තවදුරටත් කරගෙන යෑමට පුරාවිද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති.
ඊජිප්තුවේ ගීසා ප්‍රදේශයේ පිරමීඩ අසල තිබෙන සකාරා සුසාන භූමිය පුරාවස්තු අතින් ඉතා වැදගත් කලාපයක් බවත් අතීත ඊජිප්තුව පිළිබඳ තවත් බොහෝ රහස් එහි මිහිදන්ව තිබිය හැකි බවත් පුරාවස්තු පිළිබඳ උත්තරීතර මණ්ඩලයේ මහ ලේකම් ආචාර්ය මොස්තාෆා වශිරි ප්‍රකාශ කරයි. පසුගිය වසරේ ඔක්තෝබරයේදී එම ප්‍රදේශයෙහිම කරන ලද කැණීමකදී හය වැනි රජ පෙළපතටම අයත් සේ සැලකෙන රෝස පැහැති සතරැස් ශිලා ස්තම්භයක් පුරාවිද්‍යාඥයන්ට හමුවිය. එහි එක් පැත්තක තිබෙන ලේඛනයෙහි දෙවැනි ඇන්කෙසන් පෙපි රැජනගේ නම, පදවි නාම කීපයක්ද සමඟ සඳහන්ව තිබෙන බවත් ඇය ඉතා වැදගත් කොට සැලකුණු රැජනක් බවත් ගවේෂකයෝ කියති.

පිරමීඩයක මුදුන් කොටස වශයෙන් තිබෙන්නට ඇතැයි සිතිය හැකි මෙම ශිලාස්තම්භය උසින් මීටර 2.5ක් වන හෙයින් මෙම පිරමීඩය ඉතා විශාල විය හැකි බවත් කිසියම් සටහන් සමූහයක් සහිත ශිලා ස්තම්භයක් එම පුරාණ රාජ්‍යයෙන් හමුවුණු ප්‍රථම අවස්ථාව මෙය බවත් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. මෙම ස්තම්භයේ මුදුන් කෙළවරෙහි දක්නට ලැබෙන සලකුණුවලින් නිසැකවම පෙනී යන්නේ තඹෙන් හෝ රනින් තැනුණු කොතක් බඳු ආවරණයක් සූර්යාලෝකයෙන් දිලිසෙනු පිණිස සවිකර තිබෙන්නට ඇති බව යැයි පුරාවිද්‍යාඥයෝ කියති.

පරිවර්තනය
ප්‍රේමචන්ද්‍ර අල්විස්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්