විත්තියේ අධිනීතිඥ සී. එස්. බාලකුමාර් පී. මලල්ගොඩ කවියාගෙන් හරස් ප්‍රශ්න ඇසීම විමලා විජයවර්ධන කැලණි ගං ඉවුරේ පිපුණු මලක් යැයි ඔබ ලීවාද?

  👤  3860 readers have read this article !
2017-11-05

බණ්ඩාරනායක අගමැති ඝාතන නඩුවේ 6 වැනි විතතිකාරිය වූයේ විමලා විජේවර්ධන මහත්මියයි. ඇය 1956 මැතිවරණයේදී මීරිගම ආසනයට බණ්ඩාරනායක මහතාගේ මහජන එක්සත් පෙරමුණෙන් තරග වැදී වැඩි ඡන්ද 25,297ක් ලබා එම අසුන දිනා සිටියාය. ඇය ආණ්ඩුවේ පළත් පාලන ඇමැතිවරියද වූවාය.

කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති මාපලගම බුද්ධරක්ඛිත හිමියන් සමඟ විජේවර්ධන මහත්මිය පැවැත්වූ සමීප සම්බන්ධකම එකල මහත් ආන්දෝලනාත්මක දේශපාලන සංසිද්ධියක් විය. මේ සබඳකම නිසාම ඇය බණ්ඩාරනායක ඝාතන නඩුවේ විත්තිකාරියද වූවාය.

ඝාතන නඩුවේ සාක්ෂිකරුවකු ලෙස කැඳවූ ප්‍රකට කවියකු සාහිත්‍යකරුවකු මෙන්ම සමාජයේ කැපී පෙනුණු පුද්ගලයකු වූ පී. මලල්ගොඩ මහතා 1960 මාර්තු 03 දින සිට 1960 අප්‍රේල් 22 දක්වා දින 17ක් නඩුවේ සාක්ෂි දුන්නේය. ජේ‍යෂ්ඨ නීතිඥ සී. එස්. බාලකුමාර් මහතාගේ ප්‍රශ්න කිරීම හමුවේ මලල්ගොඩ මහතා දුන් සාක්ෂිය එකල මහත් ජනතා අවධානයක් දිනා ගත්තේය.

එහි වැදගත් අවස්ථා කිහිපයක් මෙසේය.

නීතිඥ _ බුද්ධරක්ඛිත හිමිගේ ඉල්ලීම පිට විමලා විජයවර්ධන කැලණි ගං ඉවුරේ පිපුණු මලක් යැයි කවි පන්තියක් ඔබ ලිව්වා.

මලල්ගොඩ _ ඔව්.

නීතිඥ _ මී මැස්සන් ඒ මල වටේ රොක්වුණා යැයි ඔබ කීවා.

මලල්ගොඩ _ අපොයි ඔව්, බොහෝ මී මැස්සන් අෑ වටකරගෙන සිටි බව ඇත්තයි.

නීතිඥ _ ඔබ මී මැස්සන් කීවේ පැණි බොන අයටද?

මලල්ගොඩ _ නැහැ මිනිසුන්ට

නීතිඥ - මේ කවි ලියන්න ඔබට කැලණියේ හාමුදුරුවන්ගේ ආධාරය ඕන වුණේ නැහැ.

මලල්ගොඩ _ මට කවි ලියන්න උන්වහන්සේගේ ආධාරය ඕන වුණේ නෑ.

නීතිඥ _ මා කියන්නේ අදහස් එකතු කරන්න උන්වහන්සේගේ ආධාරය ඕන වුණේ නැහැ කියලයි.

මලල්ගොඩ _ උන්වහන්සේට එවැනි හපන්කමක් කරන්න මේ ආත්මෙදි බෑ.

නීතිඥ - මේ අදහස් ඔබේ අදහස්.

මලල්ගොඩ _ ඔව්.
නීතිඥ _ ඔබ ඇගේ දේහ ලක්ෂණ වර්ණනා කලේ සිතින් මවාගෙන.

මලල්ගොඩ _ ඔව්.

නීතිඥ _ ඒ වෙනකොට ඔබ විමලා විජයවර්ධන දැක නැහැ.

මලල්ගොඩ _ මතක සිටින තරමේ පින්තූරයක් මං දැක තිබුණේ නෑ.

නීතිඥ _ ඇගේ පින්තූර පත්තරයකවත් දැක නැද්ද?

මලල්ගොඩ _ දුටුවා.

අනතුරුව මලල්ගොඩ මහතා විසින් එම කවි පන්තිය උසාවිය හමුවේ කියවන ලදී. විමලා විජයවර්ධන මහත්මිය සිහින් සිරුරක් ඇති කඩවසම් පෙනුමින් යුතු රූමතියක් හැටියට තමා විසින් හඳුන්වා දෙනු ලැබ ඇති බව ඔහු පැවැසීය.

නීතිඥ _ ඇයට සිහින් සිරුරක් ඇති බව ඔබ මෙහි කියා තිබෙනවා.

මලල්ගොඩ _ ඔව්.

නීතිඥ _ ඔබ නිර්මාණ ශක්තිය නිර්භීත ලෙස යොදා තිබෙනවා.

මලල්ගොඩ _ මා නිර්මාණ ශක්තිය නිර්භීතව යෙදුවා.

නීතිඥ _ ඇගේ මුහුණේ සුන්දර සිනාවක් තිබුණා.

මලල්ගොඩ _ සත්තකින්ම ඔව්.

නීතිඥ _ ඇගේ හදින් ප්‍රේමයත් දයාවත් නඟී යැයි ඔබ ලීවා.

මලල්ගොඩ _ ඔව්.

නීතිඥ _ ඔබ කියන්නේ සිහින් සිරුරක් ඇති කාන්තාවන් ලස්සනයි කියාද?

මලල්ගොඩ _ ඔව්. සිහින් බව කාන්තාව සුන්දර කරනවා. කවදාවත් කවියෙන් මහත ගැහැනියක් ලස්සන යැයි වර්ණනා කරන්නේ නැහැ.

නීතිඥ - සමහර උදවිය නම් කැමැති තරබාරු ගැහැනුන්ට.

(නීතිඥ මේසයෙන් සිනා)

නීතිඥ _ ඔබ හිතුවා ඇය කරුණාවන්ත කෙනෙක් හැටියට.

මලල්ගොඩ _ හොඳ ගැහැනු කෙනෙක් නම් කරුණාවන්තයි.

නීතිඥ - තොල් රතු කළත් නොකළත් ඇගේ තොල් පෙතිවල රත පෙනෙනවා යැයි ඔබ ලීවා.

මලල්ගොඩ _ ඔව්.

මහෙස්ත්‍රාත්තුමා - එහෙම ලීවේ දේශපාලන ඉඟියක් විදියටද?

මලල්ගොඩ _ ඔව්.

නීතිඥ - මෙසේ ලිවීමට ඔබ යෙදූ නිර්මාණ ශක්තිය කුමක්ද?

මලල්ගොඩ _ බඳ සිහින් රුවැති කතක් මා සිතින් මවා ගත්තා.

නීතිඥ _ ඇත්ත වශයෙන්ම මෙය ලිවිමට ඔබට ආභාසයක් අවශ්‍ය නැහැ.

මලල්ගොඩ _ ආභාසයක් තිබෙන්න ඕනෑ.

නීතිඥ _ ඔබ කවි කීපයකින්ම අෑ ගැන අලංකාර විස්තරයක් කර තිබෙනවා.

මලල්ගොඩ _ ඔව්.

නීතිඥ _ ඔබ ඇයට පෙම් බැන්ද බව එය කියැවූ අය හිතන්න ඇති.

මලල්ගොඩ _ මගේ පාඨකයන් ඒ තරම් කාඩයන් නොවෙයි.

නීතිඥ _ ඔබ ඇයට ආලය කරන බව කා සමඟ හෝ කීවාද?

මලල්ගොඩ - මොනවා? මා එහෙම දෙයක් කියා නෑ.

නීතිඥ - මේ කවි පන්තියේ යැංකි පන්දමා කියා හඳුන්වන්නේ කවුද?

මලල්ගොඩ - ජේ. ආර්. ජයවර්ධන

උදේනි සමන් කුමාර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්