ඉතිහාසය හදාරන සිසුන් සඳහා වසර 200කට පෙර සිරිපා කඳු මුදුනට වැටුණු පාරවල් දෙකක්

  👤  3813 readers have read this article !
2017-11-05

කන්ද උඩරට බි්‍රතාන්‍ය ඒජන්තවරයා වූ ජෝන් ඩොයිලි සිය දිනපොතෙහි සිරිපා කඳු මුදුන කරා යන ගමන් මාර්ග සම්බන්ධව ඉතා සිත් ගන්නාසුලු විස්තරයක් ඇතුළත් කර තිබේ. 1814 දෙසැම්බර් 31 දාතමින් ඇති එම සටහන් අදින් වසර 200කට පෙර අදාළ ප්‍රදේශයන්හි ජන ජීවිතය පැවැති ආකාරය පිළිබඳ ඉතා සිත් ගන්නාසුලු සත්‍ය වාර්තා වන්නේය.

1814 දෙසැම්බර් 31

ගබ්බල මියන ඕවිටේ සිට කන්දේනුවරට කොටම මාර්ගය කෝණාර-බැවිල මාර්ගයයි. පණිවුඩකරුවකුට දින දෙකක ගමනකි. කුලීකරුවකුට හතර දිනකි. කන්දේනුවර සිට ශ්‍රී පාදයට වැටුණු පාරේ කපොලු (කඩවත්) දෙකකි. මස්කෙළිය හරහා කැලණි ගඟේ උතුරු පැත්තෙන් බුලත්ගම-බුලුගොඩ මාර්ගය වැටී තිබේ. එය අපහසු නැත.

මස්කෙළිය පසු කිරීමත් සමඟ උඩපළාත අවසන් වී කලුගම්මල පටන්ගනී. එහෙත් ගඟේ ඉහළ දෙපැත්තෙහිම කලුගම්මලට අයත් ගෙවල් ඇත. දෙවැන්න මස්කෙළියට සැතපුම් දෙකකට අෑතින් බෝ ගහක් වේ. ඒ අසලම ගෙවල් දෙක තුනකි. එහි සිට බෝකර විලට සැතපුම් දෙකට අඩුය. ගබ්බල සිට පොල්ගස්වත්තට සැතැප්ම 3කි. බැස්ම අසීරු බැවින් පැය 4ක් ගතවේ.

බෝමළුවේ සිට හන්ගර පිටියට සැතපුම් එකකි. මෙහි තිබෙන්නේ ගෙවල් 3ක් හෝ 4කි. ඒවා පසු කළ පසු ශ්‍රී පාදයට යන තෙක් ගෙවල් එකක්වත් නැත. මස්කෙළියේ සිට ශ්‍රී පාදයට ගම් 7කැයි කියනු ලැබේ. යෑම පිණිස ගත වන කාලය දින 2කි. සීතගඟුල නම් ස්ථානයේ වන්දනාකරුවන්ගේ අම්බලමක් තිබේ. එය බෙර 5ක පමණ වපසරියකි.

මාලිගාතැන්න නමින් හඳුන්වන ස්ථානයක්ද ඇත. නිශ්ශංකමල්ල රජු නතර වී සිටි බැවින් එම නම භාවිත කරන බව කියයි. එහි ගල් ලෙනක්ද තිබේ. සීතගඟුලේ සිට ගව්වක් පමණ අෑතින් දුනු තිබූ ගල නමින් හඳුන්වන ඔයක් ඇත. මේ ඔයවල් දෙකම කැලණි ගඟට ගලා බසී. එහෙත් මස්කෙළියෙන් පසු ශ්‍රී පාදයට යන මාර්ගයට කැලණි ගංගාව නැවත හමුනොවේ. මාර්ගයෙහි වෙනත් අතුරු ගංගා නැත. ගල් පර්වතවලින් පිරුණු පොකුණු ඇත. ශ්‍රීපාද ස්ථානයට සැතැප්මක් පමණ මෙපිටින් බෝගහලෙන නමින් හඳුන්වන ගල් ගුහාවකි. වලවේ ගංගාව පටන් ගන්නා ස්ථානය සොයාගත නොහැකිය. එය ශ්‍රී පාදයට නැඟෙනහිරින් ඇති වනයෙන් හා පර්වත අතරින් එය ආරම්භ වනවා ඇත.

පොල්ගස්වත්ත දකුණේ සිට මාලිබොඩ ගමට සැතපුම් 3කි. මාගලටද සැතපුම් 3කි. එරත්නට සැතපුම් 4කි. ගිලීමලේට දින 2 1/2ක් ගමන් කළ යුතුය. පොල්ගස්වත්ත බටහිර සිට පූඬලුහොර, උරවත, මුදගල්ලවිල්ල, කරදගහයාල, ගල්කැටිය, මෝදර ඔය, දේවාල කැලේ වේල්ල, පනාතුරේ මංකඩ, බරන්තොට, සීතාවක ගඟ, ලාස්සගෙදර, දැරණියගල, දේවාලතොට, අල්පිටිය, ගල්කනුවරුප්ප, තොරණගොඩ, දෙදරණ ඇල, දෙල්පත්කඩුව, හල්ඔලුතැන්න, අල්ගොඩ, අටුළුගම, දෙල්ඔලුව, තිරිවාණාකැටිය, මාහින් කන්ද, කනන්ගම පාළු අම්බලම දක්වා පාර වැටී තිබේ. දුර සැතැපුම් 25ක් පමණ වේ.

ගල්වලින් සහ කඳුගැටවලින් වටවූ පාර වටා ඇති සියලුම කැලෑ ගබ්බල මියනඕවිටට අයත්ය. උඩබාගෙ ගෙවල් 4කි. බෝපෙගෙදර ඇල්ල ගෙවල් 2කි. කලුගම්මල කුඹුරු නැත. ඔවුහු හේන්වල ඇල් වී වපුරති. කුරක්කන් හා අල ජාති වවති. එහි වාසි සෑම දෙනාම වෙල්ලාලයෝය. ගෙවල් 100ක් පමණ තිබේ. ගබ්බල මියනඕවිටේද ගෙවල් 100ක් පමණ ඇත. කැලෑ කිතුල්වලින් ගහනය. ඔවුහු බුලුගොඩට කිතුල් හකුරු ගෙනවුත් එතැන් සිට ගඟ දිගේ රුවන්වැල්ලටද, සීතාවකටද, ගෙන යති. වනාන්තරයේ කීණ, කළුවර, දුම්මල, හොර ගස් තිබේ. එහෙත් කළුමැදිරිය නැත. කුඩා දෙණි කීපයක් හැරුණු විට කුඹුරු නැත.

ගබ්බල මියනඕවිට තිබෙන්නේ කැලණි ගඟට දකුණෙනි. අල්ගොඩ නැතහොත් සීතාවක ගඟ මාලිබොඩ අතරින් ගමන් කොට ඊට ඉහළින් මතු වෙයි.

ජෝන් ඩොයිලිගේ
බුද්ධි අංශ වාර්තා 17

1810 - 1815 තෙක් කන්ද උඩරට බි්‍රතාන්‍ය රජයේ පළමුවන කොමසාරිස් සහ නේවාසික ප්‍රමුඛ නිලධාරියා වශයෙන් සිටි ජෝන් ඩොයිලිගේ බුද්ධි අංශ වාර්තා ලෙස අප ඉදිරිපත් කරන මෙම ලේඛන 1917දී ලංකා සිවිල් සේවාවේ කටයුතු කළ එච්.ඩබ්ලිව්. කොඩ්රින්ටන් විසින් රාජකීය ආසියාතික ලංකා සමිතියේ 25 වැනි වෙළුමේ පළ කර තිබිණි. ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් මෙම තොරතුරු රසවත්ය, අරුත්බරය. අපි එය කොටස් වශයෙන් ඔබ වෙත ගෙන එන්නෙමු. නිදහස් ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය මුළුමනින් අහිමි වූ ඒ මාරක අවුරුදු පහ පිළිබඳ අභ්‍යන්තර තොරතුරු ගෙනෙන මේ සටහන් විශ්වාසදායක මූලාශ්‍ර වන්නේය.

උදේනි සමන් කුමාර 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්