මලික්ගේ ඉඩම් ඉල්ලීම මෛත්‍රි විසි කරයි

  👤  5801 readers have read this article !
2017-11-05

කටාර් රාජ්‍යයේ කළ සාර්ථක නිල සංචාරයකින් පසුව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා දිවයිනට පැමිණියේ ඉකුත් සිකුරාදාය. පසුගිය ඉරිදා පැපිලියානේ සුනේත්‍රාදේවි පිරිවෙනේ කඨින පූජා පින්කම පැවැත්වුණු අතර එම පින්කමට සහභාගි වූ මෛත්‍රි, විහාරයේ ඉදිකළ නව වාහල්කඩ හා නව සම්මන්ත්‍රණ ශාලාව විවෘත කිරීමට එක් විය. බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය

ජාතික ප්‍රශ්නයට විසඳුම රට බෙදීමවත්, කැඩීමවත්, පාවා දීමවත් නොවන බව එහිදී මෛත්‍රි ප්‍රකාශ කළේය. මෙහිදී කතා කළ සුනේත්‍රාදේවි පිරිවෙනේ විහාරාධිපති මැදගොඩ අභයතිස්ස හිමියන් ප්‍රකාශ කළේ ජාතික ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් දිය හැක්කේ ජනාධිපතිතුමාට පමණක් බවය. අභයතිස්ස

හිමියන් සාමාන්‍යයෙන් ප්‍රකටව සිටියේ මහින්ද රාජපක්ෂ මහතාට සමීප හිමිනමක් ලෙසය. එහෙත් උන්වහන්සේ විසින් මෛත්‍රිව අගයා කළ කතාවට සෑහෙන ප්‍රසිද්ධියක් ලැබිණි.
බදාදා සවස මෛත්‍රි බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රියට කතා කළේ කසළ කළමනාකරණය ගැන සාකච්ඡාවකටය. ඒ අවස්ථාවේ ඉසුර හිටියේ ව්‍යායාම කරමින්ය. ඔහු ඒ ඇඳුම පිටින්ම ජනපති හමු වෙන්නට ජනපති මැඳුරට ගියේය.

එහි තවත් අමුත්තෙක් සිටියේය. ඒ හිටපු ජනපතිනි චන්ද්‍රිකාය. කඩිමුඩියේ එතැනට ආ ඉසුර ඒ සැටියේම ඇයට යාබදව හිඳගත්තේය.
"මොකද ඉසුර මෙහෙම?"
චන්ද්‍රිකා ඇසුවේ ව්‍යායාම කරන ගමන් ආ ඉසුර දෙස බලාය.
"මැඩම් මම හිටියේ ජිම් එකේ"
ටික වෙලාවකින් මෛත්‍රිද එතැනට ආවේය. මෛත්‍රි ඉඳගත්තේ ඉසුරට මෙහා පැත්තෙන්ය.
"ඉසුර දැන් ඉන්නේ ජනාධිපතිවරු දෙන්නෙක් මැද, සමහරවිට ඊළඟ ජනාධිපති වෙන්නත් ඔයාට බැරි නෑ."
මෛත්‍රි විහිළුවට වගේ කීවේය.
'ඒකනේ සර්. ජනාධිපති වෙන්න හොඳ ශරීර සෞඛ්‍යයෙන් ඉන්න ඕනනේ. ඒකයි මේ ජිම් යන්නේ"
ඉසුර කීවේය. එහෙම කීව ඉසුර සැණෙකින් නැඟිට සෙල්ෆියක් ගත්තේය.
'මේ මොකද බටු ඇටයක් වගේ ඉඳගෙන ළමයි කරන වැඩ කරන්නේ'
මෛත්‍රි ඇසුවේය.

'ජනාධිපති වුණාම මේ පින්තූරේ වටිනවා සර්.'
ඉසුරගේ කතාවට චන්ද්‍රිකාට මෙන්ම මෛත්‍රිටද සිනහව නතර කරගත හැකි නොවීය.
මෛත්‍රි මුහුණ දී සිටින උභතෝකෝටික ප්‍රශ්නය සුළුපටු එකක් නොවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතිහාසයේ දැවැන්තම දෙදරායෑමේ
ආසන්න සීමාවට පැමිණ ඇති බව බොහෝ දේශපාලන නිරීක්ෂකයන්ගේ මතය ය.

දුමින්දගේ අස්සනින් යුක්තව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට පසුගිය සතියේ ලිපියක් යවනු ලැබීය. ඒ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් මස 03 වැනිදා දහවල් 12ට පැවැත්වෙන සාකච්ඡාවකට නොවරදවාම සහභාගි වන ලෙස දැනුම් දෙමිනි.
ලියාපදිංචි තැපෑලෙන් යවන ලද ලිපිය පසුගිය සිකුරාදා වන විට ඒකාබද්ධයේ මන්ත්‍රිවරුන්ට ලැබී තිබිණි. ලිපියක් යවන ලද ආරංචිය ලැබුණු වහාම බොහෝ දෙනා මෛත්‍රි සමඟ සාකච්ඡාවට යනවාද යන කාරණය මන්ත්‍රිවරුන්ගෙන් විමසන්නට වූහ.

ලිපිය ලැබුණු සිකුරාදාම වෙල්ගම, ප්‍රසන්න, පවිත්‍රා, ජනක බණ්ඩාර, මහින්දානන්ද ඇතුළු නිදහස් පක්ෂය නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රිවරුන් කණ්ඩායමක් විජේරාම නිවෙසේදී මහින්ද මුණගැසුණේ මේ ගැන කතාබහ කරන්නටය.
"ඡන්දයක් ළං වෙන කොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මොකක් හරි උපක්‍රමයක් දාලා අපිව ළං කරගන්න හදනවා" මහින්දානන්ද පැවැසීය.
"අපි රෑ වැටුණු වළේ දවලුත් වැටෙනවාද කියලා යන යන තැන මිනිස්සු අහනවා" ප්‍රසන්න කීවේය.

එක පැත්තකින් ගහන ගමන් අනෙක් පැත්තෙන් අත දික්කරන අයත් එක්ක කොහොමද සාකච්ඡා කරන්නේ? පවිත්‍රා ඇසුවාය.
"අපි කලබල වෙන්න හොඳ නැහැ. අපි මේකට ප්‍රතිචාර දක්වන කොට පරෙස්සමෙන් කරන්න ඕනේ. එහෙම නොවුණොත් අපේ අයට බලපෑමක් වෙන්න පුළුවන්. ඒ හින්දා ඉස්සෙල්ලාම මේකේ නීතිමය තත්ත්වය හොයලා බලන්න ඕනේ" සියලු දෙනාගේ කතාවලට සවන් දුන් මහින්ද පැවැසීය.
ඒ අනුව තීරණය කෙරුණේ මෙම ලිපියට ප්‍රතිචාර දැක්වීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග නීතිමය වශයෙන් පැහැදිලි කර ගැනීමටය.

"මං හෙට ඉන්දියාවේ යනවා. ගිහිල්ලා ආවට පස්සේ අපි මේ ගැන
වැඩිදුරටත් කතාකරමු" යැයි කී මහින්ද ඒ සම්බන්ධයෙන් සොයා බැලීම භාර කළේ වෙල්ගම, පවිත්‍රා, ප්‍රසන්න ඇතුළු කණ්ඩායමටය.
මහින්දගේ උපදෙස් මත ප්‍රසන්න සෙනසුරාදා දිනයේදී ප්‍රවීණ නීතිඥවරුන් දෙපළක් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු සූදානම් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ලැබුණු ලිපියට ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් මන්ත්‍රිවරු එහිදී නීතිමය තත්ත්වය විමසා සිටියහ.
"මේකට කරන්නේ මොකක්ද කියලා තීන්දු කරන්න ඕනේ මන්ත්‍රිවරුන් වන ඔබ තුමන්ලමයි. කොටියගේ වලිගෙන් අල්ලගෙන ඉන්නවද එහෙමත් නැත්නම් වලිගේ අතහැරලා කොටියා එක්ක සටන් කරනවද කියලා තීරණය කරන්න" එක් නීතිඥයෙක් පැවැසීය.
"මොකක්ද ඒ කතාව? පවිත්‍රා ඇසුවාය.

"පවතින නීතිය අනුව කියන විදියට පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන්න බැහැ. මේ ආණ්ඩුවට තව ආණ්ඩු කරන්න තියෙන්නේ මාස 24යි. ඒ කාලය තුළ මන්ත්‍රි ධුර අහෝසි කරන්න පුළුවන්කමක් නැහැ." නීතිඥවරු පෙන්වා දුන්හ.
නීතිමය තත්ත්වය පිළිබඳ සොයා බැලීමෙන් අනතුරුවද ඒකාබද්ධ විපක්ෂය
නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබලයන් වන ජනක බණ්ඩාර, ප්‍රසන්න, රෝහිත, ලොකුගේ, පවිත්‍රා, මහින්දානන්ද ඇතුළු පිරිස් නීතිඥවරුන් හමුවෙමින් තවදුරටත් මේ ගැන සොයා බැලූහ.

පක්ෂයේ ඉදිරිය ගැන තීරණාත්මක සාකච්ඡාවට කළ ආරාධනය මහින්ද පාර්ශ්වය මේ වනවිට ප්‍රතික්ෂේප කොට තිබේ.
ඔවුන්ගේ මූලික කොන්දේසිය, 'ආණ්ඩුවෙන් වෙන්වෙලා' එනවා නම් එකට එක්වෙමු යන්නය.
කෙසේ වෙතත් පක්ෂයේ දෙපාර්ශ්වය නියෝජනය කර යම්යම් ප්‍රබලයන් තැන තැන රහස් සාකච්ඡා පවත්වමින් සිටින බවද ආරංචි වේ.
මේ අතර ඒකාබද්ධ පාර්ශ්වය සීරුවට තමන්ගේ 'ගොඩ' වැඩිකර ගනිමින් සිටී. පියංකර, අරුන්දික මෙන්ම දැන් ඩුලිප්ද ඊට එක්ව සිටී.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය පසුගිය අඟහරුවාදා රැස්විය.
මුලින්ම මලික් සමරවික්‍රම යෝජනාවක් ගෙනාවේ ෂැන්ගි්‍රලා ආයතනයට තවත් ඉඩමක් ලබාදෙමු කියාය.
'දැන් ඒ ආයතනයට දීලා තියෙන තැනට යාබදව තියෙන ඉඩම ඒ අය ඉල්ලලා තියෙනවා. මලික් කීවේය. මෛත්‍රි ඊට විරුද්ධ විය.
'මම ඒකට එකඟ නෑ. එහෙම දෙන්න බෑ. අනික මොන ඉඩම දෙද්දිත් ටෙන්ඩර් දාලා නිසි පරිදි දෙන්න ඕන.'
මෛත්‍රි කීය.
'අනික අපිට දැන් හමුදා මූලස්ථානයක් හරියට නෑ. රට මේකෙන් අනාරක්ෂිතයි. ලොකු අනතුරක් වෙන්න පුළුවන්. තිබ්බ එකත් ගිය ආණ්ඩුව ෂැන්ගි්‍රලා එකට දුන්න නිසා දැන් හමුදා මූලස්ථානය තියෙන්නේ අවදානමක. 'මෛත්‍රි අනතුරක් හෙළිකළේය.
අමාත්‍ය කබීර් හෂීම් මිහින් ලංකා ගුවන් සේවය පිළිබඳව කරුණු පැහැදිලි කරන ලදී. මේ වනවිට මිහින් ලංකා ගුවන් සේවය රුපියල් මිලියන 4834ක අලාභයක් ලබන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

"කිසිදු අධ්‍යයනයකින් තොරව කැබිනට් තීන්දුවකින් තොරව පසුගිය රජය විසින් මෙය ආරම්භ කර තිබෙනවා. එම නිසා මේ පිළිබඳව තීරණයක් ගත යුතුයි" යනුවෙන් අමාත්‍ය කබීර් හෂීම් පැවැසීය.

එවිට ජනාධිපතිවරයා සඳහන් කළේ "පසුගිය රජය සමයේ සිදු කළ දූෂණ
වංචාවල කුණු අදින්න අපට වෙලා තියෙනවා. දැන් ලොකුවට ඒ අය දූෂණ වංචා ගැන කතා කරනවා. ලැජ්ජයි" යැයි පැවැසීය. එවිට අමාත්‍යවරුන් ප්‍රකාශ කළේ මිහින් ලංකා ගුවන් සේවය පිළිබඳව ජනාධිපති කොමිෂන් සභාවක් පත් කළ යුතු බවයි. එය අමාත්‍ය මණ්ඩලය අනුමත කරන ලදී.
ඉන්පසු දේශීය කිරි අතිරික්තය පිළිබඳ අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු විය. එහිදී ජනාධිපතිවරයා පැවැසුවේ "කිරි අතිරික්තයක් ඇති වී තිබෙනවා. රුපියල් 200ක් වී තිබූ බදු මේ වනවිට රුපියල් 10 දක්වා අඩුකර තිබෙනවා. බදු අඩු කිරීම පිටුපස ඉන්නේ එක්තරා කිරිපිටි සමාගමක්. එම කිරිපිටි සමාගම අමාත්‍යවරුන් අල්ලගෙන ඉන්නේ. එම සමාගම යෝගට් පවා නිෂ්පාදනය කරන්නේ කිරිපිටිවලින්. එළකිරිවලින් නොවෙයි" ජනාධිපතිවරයා පැවැසීය. රනිල් මෙහිදී පැවසුවේ ජීවන වියදම ඉහළ යෑම හේතුවෙන් කිරිපිටි බද්ද අඩු කිරීමට තීරණය කළ බවයි. ඊට විරෝධය පළ කළ සරත් අමුණුගම සඳහන් කළේ බදු අඩු කළද කිරිපිටි මිල අඩු වී නොමැති බවයි. "ජීවන වියදම අඩු වෙලත් නැහැ. ලෝකයේ කොහේවත් කිරිපිටි කියලා නිෂ්පාදනයක් නැහැ. තිබෙන්නේ ලංකාවේ පමණයි. එම රටවල විනාශ කිරීමට නියමිත නිෂ්පාදන ලංකාවට එවලා මිනිසුන්ට අලෙවි කරනවා. අපි දේශීය කර්මාන්ත දියුණු කළ යුතුයි" යැයි පැවැසීය.

අගමැතිවරයා බ්‍රහස්පතින්දා උදේම අරලියගහ මැඳුරට ගියේ හත් වැනි ලෝක බෞද්ධ සමුළුව අරලියගහ මැඳුරේදී ඇරැඹීම නිමිත්තෙනි. ජනාධිපතිවරයාද ඊට එක් වූ අතර රටවල් 42ක හිමිවරු හා බෞද්ධ
නියෝජිතයෝ 2,000ක් ඊට එක්වූහ.

තවද ඊශ්‍රාලයේ සිට යළි සියරට යමින් සිටි ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් මහතා පැය 03ක කෙටි නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණියේය.
සාගල රත්නායක ඔහු පිළිගෙන අරලියගහ මැඳුරට කැඳවාගෙන පැමිණි අතර අගමැතිවරු දෙදෙනා උදේ ආහාර ගත්තේද එකටය. අනතුරුව දෙරට අතර වෙළෙඳ ගිවිසුමක්ද අස්සන් කළ අතර මලික් සමරවික්‍රමද එම අවස්ථාවට එක්විය. අනතුරුව ජනපති නිල නිවෙසට ගොස් නිල සාකච්ඡා කිරීමෙන් පසු ඔස්ට්‍රේලියානු අගමැතිවරයා යළිත් සියරට යෑමට පිටත් විය. බොදු සමුළුවට එක්වීමට හා අගමැතිවරයා හමුවීමට පැමිණි මැති ඇමැතිවරුද අගමැතිවරයා හමුවූයේ අනතුරුවය.

'පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සභාවක් කරලා යෝජිත නව ව්‍යවස්ථාව ගැන ආණ්ඩුව ලබාදුන් විවාදය නැඟලා ගියා. අන්තිමට තවත් වේලාව ඉල්ලුවේ ව්‍යවස්ථාවට විරුද්ධව කතා කරපු අයමයි. අද හා සඳුදා දෙකක් අපි ලබාදුන්නේ අපිට හංගන්න දෙයක් නැති නිසයි' සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීය. 'සමහර අපේ හාමුදුරුවරු නොමඟ යවන්න විපක්ෂයේ අය උත්සාහ කළා. අන්තිමට නව ව්‍යවස්ථාවක් එපා කියලා සමහර හාමුදුරුවරු කියපු දේ එකම පක්ෂයක්වත් ඇහුවේ නෑ. හැමෝම තමන්ගෙ අදහස් එළිපිට පළ කරමින් මේ විවාදයට එක්වුණා' පී. හැරිසන් කීවේ එවැන්නකි.
'බදාදා ව්‍යවස්ථා විවාදයේදී ඒකාබද්ධ විපක්ෂයේ යෝජනා හා ඇමිණුම්වල තිබුණු දේවල් කියවලා ඒ බොහෝ දේට ආණ්ඩුවත් එකඟයි; මොකක්ද දැන් තියෙන ප්‍රශ්නය කියලා අගමැතිතුමා ඇහුවම ඒකාබද්ධ අය වැටුණා. ඒ හුඟ දෙනෙක් මට කිව්වේ ලොක්ක අපිව බිත්තියට හේත්තු කරල හිරකළා කියලයි. අපේ බෙල්ලන්විල නාහිමි ඇතුළු අපේ ගෞරවනීය නාහිමිවරු දැන් මොකක්ද දන්නෙ නෑ කියන්නෙ' වජිර අබේවර්ධන ඇසුවේය.
'ව්‍යවස්ථාව ලබන වසරේ සම්මත කළ හැකිවේවි කියලයි රටේ හුඟ දෙනෙක් කියන්නේ' දයා ගමගේ කීය.
'දැන් කවුරුත් කෑගහපු පළාත් පාලන ඡන්දයට මුහුණදීමට මූලිකත්වය දීමයි කාගේත් වගකීම වෙන්නේ. ඒත් ව්‍යවස්ථාව ඕනවට වඩා අදින්න බෑ. කාගේත් අදහස් මත අලුත් රටක් ඉක්මනින් බිහිකළ යුතු වෙනවා. එතකොට රටේ ඉදිරි ගමන වේගවත් වේවි' අගමැති කීය.

'ජනාධිපතිතුමා සර්ව පක්ෂ හා සර්ව ආගමික සමුළුවක් කැඳවලා ව්‍යවස්ථාව ගැන පැතිරෙන දුර්මත දුරුකරන්න හැදීමත් වටින දෙයක්' දයා ගමගේ කීය.
'නව ව්‍යවස්ථාවෙන් රටේ ඒකීය බව බුදු දහම ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් රැකලා අලුත් ඡන්ද ක්‍රමයේ මොඩලය අත්හදා බලලා ඒකත් රටටම ආදේශ කරනවට කාටද විරුද්ධ වෙන්න පුළුවන්' අගමැතිගේ විග්‍රහය එය විය.
'ෆයිසර් පළාත් පාලන ඡන්දයට අදාළ ගැසට් එක අස්සන් කිරීම වැස්සක් වැහැල පෑව්වා වගෙයි ජනවාරි 20-30 අතර ඡන්දය තියාවි' වජිර අබේවර්ධන කී දේ අගමැතිද අනුමත කළේය.

'බේරුවල එජාප - ශ්‍රී ලනිප එකතුවෙලා තරග කරන බව රාජිත කිව්වේ මොකක්ද' ලක්ෂ්මන් කිරිඇල්ල මෙන්ම දයා ගමගේද අගමැතිගෙන් ඇසුවේ එකම ප්‍රශ්නයකි.
'එහෙම එනවා නම් එජා.

පෙරමුණෙනුයි එන්න වෙන්නේ. බලමු.... බලමු සාකච්ඡාව සියලු දේට විසඳුම් ගෙනේවි' අගමැති කීවේ නළල රැලි ගන්වමිනි.

මේ අතර සෙනසුරාදා මහින්ද ඉන්දියාව බලා පිටත්ව ගියේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අවුරන්ගාබාත්හිදී පැවැති දෙවැනි ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයට සහභාගි වීමටය. මහින්ද සමඟ ජී. එල්. සහ ලොහාන් ද ඉන්දියාව බලා පිටත්ව ගියහ. මහින්ද පිළිගැනීම සඳහා මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සංචාරක මණ්ඩලයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ විජය වන්මරේ පැමිණ සිටි අතර කිසිදු රාජ්‍ය නායකයකුට නොදෙවෙනි අන්දමේ සුවිශේෂී ආරක්ෂාවක් මහින්දට ලබාදීමටද කටයුතු කර තිබිණි.
මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත මහ ඇමැති දේවේන්ද්‍ර නවීන් සහ මහින්ද අතර

සාකච්ඡාවක්ද පැවැත්වුණු අතර මහ ඇමැතිවරයා මහින්දට කීවේ ත්‍රස්තවාදය අවසන් කළ රාජ්‍ය නායකයා වශයෙන් ඉන්දීය ජනතා හදවත්වලද මහින්ද සිටින බවය.
සමුළුවට සහභාගි වන්නට පෙර මහින්ද අජන්තා ලෙන් විහාර සහ ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේදී ඉදිකළ ඇලෝරා බෞද්ධ ලෙන් විහාරය නැරැඹීමටද ගියේය. අජන්තා ලෙන් විහාරය නැරැඹීම සඳහා කිලෝමීටර් එකහමාරක දුරක් පා ගමනින් යෑමට මහින්දට සිදුවිය. අනතුරුව සමුළුවට සහභාගි වූ මහින්දට රැස්ව සිටි පිරිසගෙන් උණුසුම් ප්‍රතිචාර හිමිවිය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රි කණ්ඩායමේ රැස්වීමක් ඉරිදා සවස පැවැත්වුණේ නෙලුම් මාවතේදීය. එහිදී සාකච්ඡාවට ලක් කෙරුණේ පසුදින
පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අතුරු වාර්තාව සම්බන්ධයෙනි. නිදහස් පක්ෂයෙන් කර තිබුණු ආරාධනාව සම්බන්ධයෙන්ද මන්ත්‍රිවරුන්ගේ අවධානයට ලක්වූ අතර බොහෝ දෙනාගේ මතය වී තිබුණේ ඊට සහභාගි නොවිය යුතු බවය. ඉන්දියාවේ සංචාරයක නිරතව සිටි මහින්ද යළි දිවයිනට පැමිණියේ බදාදාය. එදින උදෑසන මහනුවර ප්‍රදේශයේ කලින් යොදාගෙන තිබුණු උත්සවයකට සහභාගි වූ මහින්ද කෙළින්ම පාර්ලිමේන්තුවට ආවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතුරු ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පැවැති විවාදයට සහභාගි වීමටය. එහිදී කතා කිරීමට මහින්ද සූදානමින් සිටියේය.
මහින්දට එහිදී අවස්ථාවක් ලැබුණේ නැත. "මේකද ප්‍රජාතන්ත්‍රවාදය
කියන්නේ? ජනතා විමුක්්ති පෙරමුණේ මන්ත්‍රිවරුන්ට පැය ගණන් කතා කරන්න ලැබෙනවා. මම පාර්ලිමේන්තු ආවෙත් කතා කරන්න බලාගෙන. තවම වෙලාවක් ලැබුණේ නැහැ. මේ හදන්නේ අපේ මතය රටට ගෙනියන එක වළක්වන්න" අනතුරුව මහින්ද මන්ත්‍රිවරුන්ද කැටුව කතානායකවරයා හමුවීමට ගියේය.
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව ප්‍රධාන මතවාදය දරන්නේ ඒකාබද්ධ විපක්ෂය. නමුත් අපිට කතා කරන්න වෙලාව ලැබෙන්නේ නැහැ. පැය ගණන් බලා ඉන්න වෙලා තියෙනවා වෙලාවක් ගන්න" මහින්ද කතානායකවරයාට කීවේය.
"මං මොනවා කරන්නද?" කතානායකවරයා ඇසුවේය.

"එහෙම කියලා හරියන්නේ නැහැ කතානායකතුමා. මම ඊයේ රෑ අට වෙනකම් බලන් හිටියා වෙලාවක් ලැබෙයි කියලා. මට වෙලාවක් ලැබුණේ නැහැ.
ප්‍රසන්නටත් වෙලාවක් ලැබුණේ නැහැ. අදවත් ලැබෙයි කියලා බලන් ඉන්නවා. ඇයි මේ අපට විතරක් අසාධාරණයක්? පියල් නිශාන්ත ඇසුවේය.
"මේ උත්සාහ කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන ඇත්ත අදහස රටට යන එක වළක්වන්නයි" මහින්ද පැවසුවේය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන මහින්ද කළ කතාව බොහෝ දෙනකුගේ අවධානයට ලක් වූ කතාවක් විය. ව්‍යවස්ථාව සහ එහි අනතුර ගැන ඔහු වඩාත් ප්‍රශස්ත ලෙස අදහස් දැක්වීය.

කතාව නිමවා මහින්ද දකුණේ පැවැති විවාහ මංගල උත්සව තුනකටම සහභාගි වූ අතර එක් මංගල උත්සවයක් තංගල්ලේ වෛද්‍ය සඳරුවන්ගේය. අනතුරුව ඇඹිලිපිටියේ පැවති සිය මවගේ ගුණාඅනුස්මරණ උත්සවයට මහින්ද සහභාගි විය. ඒවන විට සභාව අමතමින් සිටියේ අත්තනායක එම්. හේරත් කථිකාචාර්යවරයා ය.
විශේෂඥ වෛද්‍ය රංජනී ගමගේ මහත්මියගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍යය පසුගියදා පැවැත්විණි. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් ප්‍රසන්න, පවිත්‍රා, කාංචන, ජයරත්න සහ බැසිල්ද ආණ්ඩුව නියෝජනය කරමින් සුසිල්, රාජිත, විජයදාස සහ දයා ගමගේ ඊට එක්ව සිටියහ.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් එක් මේසයකත් ආණ්ඩුවේ පිරිස වෙනත් මේසයක සිටි අතර ආණ්ඩුවේ පිරිස සිටි මේසයේ විජයදාස අසලින් අසුන් ගැනීමට රාජිත ආවේය. ඒ දුටු විජයදාස වහා අසුනින් නැඟිට ඒකාබද්ධ විපක්ෂයේ පිරිස සිටි මේසය වෙත ගොස් බැසිල් අසලින් අසුන් ගත්තේය.
වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර මැතිවරණය, ව්‍යවස්ථාව ගැන මෙහිදී අදහස් දැක්විණි.
"පළාත් පාලන මැතිවරණය අපි කොහොමත් දිනනවා. අපිට ඒකට ඔයාලගේ සහයෝගය අවශ්‍යයි" බැසිල් කීවේ සුසිල් දෙස බලමිනි. "අපි ඉතින් කොහොමත් ජනතාවගේ පැත්තෙනෙ" සුසිල් පැවැසුවේ සිනාසෙමිනි.

"දැන් පක්ෂයෙන් එවලා තියෙන ඉල්ලීම පිළිගන්නවාද? සුසිල් ඇසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එවා ඇති ලිපිය ගැන අදහස් දක්වමිනි. "අපි නීති උපදෙස් උඩයි ඒකට උත්තර දෙන්නේ. අපේ අයගේ නම් වැඩි කැමැත්තක් නැහැ" පවිත්‍රා පිළිතුරු දුන්නාය

මේ අතර මෙතෙක් ඒකාබද්ධය නියෝජනය කළ ගීතා කුමාරසිංහගේ මන්ත්‍රි ධුරය අහෝසි වූ අතර ඒ හරහා පිනක් පෑදුණු පියසේන ගමගේ මන්ත්‍රිවරයෙක් විය. කෙසේ වෙතත්, දැන් ඒකාබද්ධ විපක්ෂය සූදානම් වන්නේ ද්විත්ව පුරවැසිකම ඇති අනෙක් මන්ත්‍රිවරු සොයා යෑමටය. දැනටත් එහෙම කිහිපදෙනෙක් ආණ්ඩුවේ සිටින බවට ඔවුන් හඳුනාගෙන සිටී.

යම් හෙයකින් එහෙම සිටියහොත් ඔවුන්ට ගීතාගේ ඉරණම අත්වනු ඇති අතර, එයින් පින පෑදෙන පිරිස වන්නේ මනාප ලැයිස්තුවේ ඊළඟට ඉන්නා අයය.

බැඳුම්කර ගනුදෙනුව 'යහපාලන ආණ්ඩුව' ගිනියම් කළ සිදුවීමක් විය. දිනෙන් දින එහි නවතම සිදුවීම් කරලියට එන්නේ සිනමාපටයක රූප රාමු වගේය. එහි අලුත්ම පුපුරා යෑම කළේ ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහය. මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට ණය නිකුත් කිරීමේදී මෙරට ප්‍රධාන මූල්‍ය ආයතන තුනක් සමඟ වූ දුරකතන සංවාදයක මෙතෙක් හෙළි නොවූ හඬපටයක් තමා සතු බව වසන්ත මාධ්‍යට කීවේය.
එකී හඬපටය 'රහස්' රැසක් හෙළිදරව් කරන බව ඔහු කීවේය.
මේ අතර, ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සතියේ පෙනී සිටීමට නියමිතය.
එම කොමිසමේ සාක්ෂි විභාග කරන අතරතුර සිය නම සඳහන් වීම පිළිබඳව
අවධානය යොමු කරමින් කරුණු පැහැදිලි කිරීමට තමන් සූදානම් යැයි අගමැතිවරයා මීට පෙර විශේෂ ප්‍රකාශයක් ද කර තිබිණි.
කොමිසම ඊට ප්‍රතිචාර දක්වමින් කරුණු 16කට අදාළව දළ පැහැදිලි කිරීම් එවන ලෙසද අගමැතිවරයාට දැනුම් දී ඇත.
එම පැහැදිලි කිරීම් අංගසම්පූර්ණ ලෙස යොමුකර ඇති අතර ඉන්පසුව කොමිසම විසින් කළ දැනුම් දීමකට අනුව අගමැතිවරයා ලබන සතියේ කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.

ආගමික කටයුත්තකට ආරාධනා කිරීම සඳහා බැසිල් ඇල්ලේ ගුණවංශ හිමි හමුවනු පිණිස පසුගියදා එම විහාරයට ගියේය. බැසිල් සමඟ නීතිඥ සාගර කාරියවසම් සහ හිටපු ජනපතිගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේද එක්වූහ.

රටට හානිකරන අයට වගේම, වරප්‍රසාදවලට වැඩ කරන අයට මිනිස්සු බනිනවා විතරක් නෙවේ. ඒ මිනිසුන්ගේ මවුපියොත් මතක් කරනවා ගුණවංශ හිමියෝ පැවසූහ.
මේ දෙමුහුන් ආණ්ඩුවට කොච්චර කීවත් වැඩක් නෑ. රටේ හැම අංශයක්ම ඉවරයි. මේ වෙනකොට පොදුජන පෙරමුණ වටා ලොකු රැල්ලක් ගොනුවෙලා තියෙන්නේ ආණ්ඩුවේ ගමනට එරෙහිව තමයි.
එහෙම කීවේ බැසිල්ය.

'පක්ෂ දෙකේම කාඩර් එක දැන් දෙදරලා'
සාගර එහෙම කියද්දී හෙට්ටිගේ කීවේ
'කීර්තිමත් චරිතවලටයි, ආගමික කණ්ඩායම්වලටයි කරන හානිය කෙළවරක්
නෑ. ඒ වගේම මෙයාලා රාජ්‍ය දේපළ පනතින් අහිංසකයෝ අත්අඩංගුවට ගන්නවා. හැබැයි මේ ආණ්ඩුව යනකොට ඒක ඉවත් නොකර ගියොත් මේ
ආණ්ඩුවේ හැමෝටම ඉන්න වෙන්නේ හිරේ' කියාය.

ශ්‍රී ලංකාවේ වත්මන් නිවාස සංවර්ධන වැඩපිළිවෙළ වෙනුවෙන් විදෙස් රටකින් පිරිනැමෙන පළමු මූල්‍ය පරිත්‍යාගය වූ රුපියල් ලක්ෂ 6,000ක මුදලට අදාළව තරංජිත් සිං සන්දු ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ සහභාගිත්වයෙන් දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අස්සන් කිරීම පසුගියදා සිදුවිය. එහිදී මහ කොමසාරිස්වරයා කීවේ "මේ පරිත්‍යාගය ආරම්භයක් විතරයි. ශ්‍රී නරේන්ද්‍ර මෝඩි අගමැතිතුමා සහ එතුමාගේ ආණ්ඩුව ශ්‍රී ලංකාවේ නිවාස සංවර්ධනය වෙනුවෙන් ලබා දෙන්නට යන සුවිශාල ආධාර වැඩපිළිවෙළේ එක බිඳක් පමණයි" කියාය. සජිත් එහිදී කීවේ ඉන්දීය රජයෙන් ලැබෙන මෙම මුදල් ඉතා දිළිඳු ජනතාව වෙනුවෙන් තැනෙක 'ග්‍රාම ශක්ති' නිවාස වැඩසටහන වෙනුවෙන් පමණක් යොමු කරන බවයි.

කතානායකවරයා විසින් වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන නමුත්, දියවන්නාව තරණය කිරීමට භාග්‍ය ලද මෙරට දේශපාලනයේ මතක සටහන් තැබූ සියලුම හිටපු මැති ඇමැතිවරුනට විශේෂ සුහද හමුවක් සඳහා පසුගිය බ්‍රහස්පතින්දා සිය නිල නිවෙසට ඇරයුම් කළේය. විශේෂයෙන් එම ආරාධනයේ සඳහන් කළේ සියලුම මන්ත්‍රිවරුන්ට සිය පවුලේ සාමාජිකයන්ද කැටුව එන ලෙසයි. පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමි, උඩවත්තේ නන්ද හිමි, අලව්වේ නන්දාලෝක හිමි, අක්මීමන දයාරතන හිමි, අකුරැටියේ පුඤ්ඤානන්ද හිමි ඇතුළු
පාර්ලිමේන්තුව නියෝජනය කළ හිමිවරුද හිටපු අග්‍රාමාත්‍ය
දි. මු. ජයරත්න මහතා ද,
වි. ජ. මු. ලොකුබණ්ඩාර,

ජෝෂප් මයිකල් පෙරේරා යන හිටපු කතානායකවරුන් මෙන්ම දිගු දේශපාලන ඉතිහාසයක මතකය අවදි කරන ජේ‍යෂ්ඨයෝ රැසක් මේ සඳහා එක්ව සිටි අතර, අතීත
දේශපාලනයේ රසමුසු තැන් පිළිබඳ මතකය අවදි කළ මෙම හමුව විටෙක ඉතා සංවේදී හැඟීම්වලින් සහ තවත් විටෙක සිනහවෙන්ද පිරී තිබිණි.
දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණි හිටපු මැති ඇමැතිවරුන් ගණනාවක්ම කොළඹ පැමිණ තිබුණේ බස් රථවලින් හෝ දුම්රියෙන්ය. සමහරු දුම්රියෙන් පැමිණ තිබුණේ පෙරදින රාත්‍රියේය. කවර ආර්ථික අපහසුතාවලට මුහුණ දුන්නද දෑත පිරිසුදු දේශපාලනයක යෙදුණු ඔවුන් කතානායකවරයාගේ විශේෂ ඇගයීමට ලක් වූ අතර, සෑම මන්ත්‍රිවරයකුම අසුන් ගෙන සිටි තැන්වලට ගොස් සුවදුක් විමසීමට හෙතෙම උත්සුක විය.

හිටපු මන්ත්‍රිවරු ඇසුවේ "ඔබතුමා කතානායක වෙන්න කලින් මේ වගේ හමුවක් තිබුණු දවසක ආරාධනා කර තිබුණෙ අපට විතරයි. ඇයි මේ පාර අපේ නෝනලාටත් ආරාධනා කළේ" කියාය. "ඔබතුමාලා දේශපාලනය කරන කොට ගෙදර පාලනය හරියට කරගෙන ඔබතුමන්ලාව රැක බලා ගත්තේ නෝනලා තමයි. මගේ නෝනත් එහෙමයි. ඒ නිසයි මම ඒ අයටත් ආරාධනා කරන්න හිතුවේ" කතානායක කරු ජයසූරිය මහතා දුන් පිළිතුරට කවුරුත් අත් පොළසන් දුන්හ.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පසුගිය සතියේ මහජන එක්සත් පෙරමුණේ ක්‍රියාකාරීන් පිරිසක් මැතිවරණ කොමිසම වෙත කැඳවා තිබුණේ පළාත් පාලන මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් දැනුවත් කිරීමටය.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳ ගැසට් නිවේදනයට ෆයිසර් මුස්තාෆා අස්සන් තැබූ බවට කෙටි පණිවුඩ ලැබුණේ කොමිසමේ සභාපතිවරයා කතා කරමින් සිටි අතරතුරය. "ඇමැතිතුමා ගැසට් එක යැව්වා නම් අපි ඡන්දෙ තියනවා" මහින්ද දේශප්‍රිය කියත්ම සභාවේ සිටි අය කීවේ ඇමැතිවරයා ගැසට් එක අස්සන් තබා ඇති බවට කෙටි පණිවුඩ ලැබුණු බවය.

"ඔබතුමා හැමදාම කිව්වේ පිච් එක ලෑස්තියි බෝලේ දුන්නොත් මැච් එක ගහන්න පුළුවන් කියලා. දැන් ඔන්න බෝලෙත් ලැබිලා තියෙනවා. දැන්වත් මැච් එක ගහනවද? සභාවේ සිටි අයෙක් දේශප්‍රියගෙන් ඇසුවේය.

"හරි එහෙනම් ඔයාලා මැච් එක ගහන්න ලෑස්ති වෙන්න. මමත් ලෑස්තියි" මහින්ද දේශප්‍රිය කීවේය.
මං අද ගෙදරින් එන කොට කිව්වා ඡන්ද තියන ගැසට් එක ආවොත් මමත් රතිඤ්ඤා පත්තු කරනවා කියලා. නෝනා මට කිව්වා පොඩි ළමයි කරන වැඩ කරන්න එපායි කියලා. ඒකයි මම රතිඤ්ඤා ගෙනාවේ නැත්තේ" මහින්ද දේශප්‍රිය කීවේ සභාව සිනහ ගන්වමිනි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon