ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල රැස්වීම

  👤  3753 readers have read this article !
2017-11-09

දයා පෙරේරා, ජේ. ටී. ද සිල්වා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව පිළිබඳ සාකච්ඡාවේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමැතිවරු දැක්වූ අදහස්.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය කල් තබන ලදී.

පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි ගැන විශ්වාසයක් තියන්න බැහැ:

ඒවා එහෙට-මෙහෙට වෙනස් වෙනවා

'රටේ ඒකීය භාවය, භෞමික අඛණ්ඩතාව, ජාතික ආරක්ෂාව යන අංශවල බලය, පාර්ලිමේන්තුවට ලබාදීම සුදුසු නැහැ. ඊට හේතුව පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි කෙරෙහි විශ්වාසයක් තියන්න බැහැ. ඒවා එහාට මෙහාට වෙනස් වෙනවා' යැයි වරාය හා නාවික ඇමැති මහින්ද සමරසිංහ පැවැසීය.

අයිතිකරුවකු නොමැති මේ ලියැවිල්ල නිසා රටේ හැම දෙනෙක්ම කලබල වුණා. මෙය ව්‍යවස්ථා කෙටුම්පතක් නොව මෙය කෙටුම්පතක්. ඇතුළත්ව තිබෙන්නේ යෝජනාවලියක් යැයි අගමැතිතුමා ප්‍රකාශ කිරීම නිසා ඒ තත්ත්වය අද මඟහැරී තිබෙනවා.

පළාත් සභාවලට බලය බෙදන්න ඕන. බලය බෙදන්න ඕන 13 වැනි ව්‍යවස්ථාවේ රාමුව තුළයි.

කළු ජූලිය 83 ඇතිවුණ අවස්ථාවේ හැසිරුණු ආකාරය නිසා, අපේ රටට ජාත්‍යන්තරයේ කොයිතරම් ලොකු කළුපැල්ලමක් ඇතිවුණාද? දැන් ජාත්‍යන්තරයේ පැසසුමට අප ලක්වෙමින් තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාවලියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා ලබාදී තිබෙනවා. ඒකීය වචනය වෙනස් කරන්න බැහැ කියල අපි එදා කිව්වා. රටට ඕන මිශ්‍ර ක්‍රමයක්. අපි රට බෙදන්න කැමැති නැහැ.

සම්පන්දන් මහතා හොඳ කතාවක් කළා. මම අහගෙන සිටියා. එතුමා ජාතිවාදියෙක් නෙවි. සුමන්තිරන් මහතාත් ජාතිවාදියෙක් නෙවි. එතුමාල අතරේ ජාතිවාදීන් කිහිපදෙනෙක් ඉන්නවා. එක්කෙනකුට කතා කරන්න ලැබුණෙත් නැහැ. අපි උතුරේ ජනතාවට ගිහින් කියන්න යම්කිසි දෙයක් සම්පන්දන් මහත්තයලට දෙන්න ඕන.

නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව මතු කළ සෝභිත හිමියන්ට අප සදා ණය ගැතියි

ජනාධිපතිවරණයට වසර තුනකට පෙර නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව මතුකරමින් අප රට හා ජාතිය නව හැරවුම් ලක්ෂ්‍යයකට යොමුකර මහජන කතිකාවක් ඇති කිරීමට මාදුළුවාවේ සෝභිත හිමි ලබාදුන් සමාජ නායකත්වයට අප සදා ණයගැති විය යුතුයි.

අවුරුදු තිහක් අප දුටුවේ ප්‍රචණ්ඩත්වයයි. එය අලුයට ගිනි පුපුරු වගේ ඕනෑම මොහොතක මතුවිය හැකියි. රෝගී සමාජය සුවපත් කරන්න අවශ්‍යයි. අප ලද අත්දැකීම් දරුවන්ට උරුම නොකළ යුතුයි. නව ව්‍යවස්ථාවක් අවශ්‍ය ඒ නිසයි.

අපට නිදහස ලැබිලා අවුරුදු 70ක් ගත වුණත් සැබෑ ලෙස ඒකීය ශ්‍රී ලාංකේය ජාතිය බිහිකරගන්න බැරිවෙලා. අප වසර ගණනාවක් වාද කළා ඇති. අපට ගොඩඑන්න පුළුවන් එකතුවෙලා වැඩ කළොත් විතරයි.

ව්‍යවස්ථාවෙන් තහවුරු වන අධ්‍යාපන ප්‍රතිපත්තියක් තිබුණා නම් ශිෂ්‍යයන්ට පාරෙ බැහැලා උද්ඝෝෂණ කරන්න වෙන්නෙ නැහැ. සෞඛ්‍ය අයිතිය පිළිබඳ ප්‍රතිපත්තියක් තිබුණො නම් ‍ෙදාස්තරවරුන්ට උද්ඝෝෂණ කරන්න වෙන්නෙ නැහැ. නිවාස ප්‍රතිපත්ති තිබුණා නම් නාය යන නිවාස නිසා නැතිවෙන ජීවිත පිළිබඳවත් විල්පත්තු අර්බුදයත් මතුවෙන්නෙ නැහැ. මෙවැනි ජනතා අයිති ව්‍යවස්ථාවෙන් තහවුරු කළ යුතු බව මා අවධාරණය කරනවා.

ව්‍යවස්ථාවක් ගේන්න වැඩියෙන්ම අවශ්‍ය වී තිබෙන්නේ ඇමෙරිකාවටයි

'ජේ. ආර්. ජයවර්ධන මහතා ගෙන ආ ව්‍යවස්ථාවේ සමහර වගන්තිවලට අපි විරුද්ධ වුණා. ජනාධිපති ක්‍රමය ගැන අපි විරුද්ධව කතා කළා.

ඒ කාලේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විවේචනය කළා. මොකද ඒ කාලයේ එතුමිය බලවත් නායිකාවක්. ජේ. ආර්. ජයවර්ධන මහතා කොමිසමක් මඟින් එතුමියගේ ප්‍රජා අයිතිය පවා අහිමි කළා. අද මහින්ද රාජපක්ෂ මහත්තයට ඒ විදියට ගහනවා.

ජේ. ආර්. ජයවර්ධන මහතා ඉදිරිපත් කළ ව්‍යවස්ථාවෙන් මහ ජාතියට මෙන්ම අනෙකුත් ජාතීන්ට වෙනසක් කළේ නැහැ.

මේ ව්‍යවස්ථාව ගේන්න වැඩියෙන්ම අවශ්‍ය වී තිබෙන්නේ ඇමෙරිකාවට බව අපට පේනවා. මේ ව්‍යවස්ථාව ගේන්න තියෙන අවශ්‍යතාවකුමක්ද?

ප්‍රභාකරන් මහත්තයට වුවමනා වෙලා තිබුණේ බලය ලබාගන්නයි. වෙනම රාජ්‍යයක් ලබාගන්නයි. වෙනම ආණ්ඩුවක් ලබාගෙන ජීවත් වෙන්නයි ඕන වෙලා තිබුණේ. ඕන තරම් සාකච්ඡා පැවතුණා. ඒ සාකච්ඡාවලදී එතුමාට තිබුණා මේ ඉල්ලීම් කරන්න. එතුමා ඒක කළේ නැහැ.

සාමාන්‍ය දෙමළ ජනතාවට අවශ්‍ය වන්නේ ජීවත් වීමටයි. දෙන ඕනෑම දෙයක් උතුරේ ජනතාවගේ අතට දෙන්න ඕනේ. බලය බෙදීමක්වත්, ෆෙඩරල්වත් ඒ ගොල්ලන්ට අවශ්‍යයි කියල මම හිතන්නේ නැහැ. අනිසි විදියට මේ විදියට බලය බෙදන්න යෑමෙන් මේ රටේ තවත් කලබලයක් ඇතිවීම ගැන මම කනගාටු වෙනවා.

ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුතුයි කියන තැන මම ඉන්නවා. ජනාධිපති ක්‍රමයේ බලය අඩු කරන්න ඕන. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී විධායක ජනාධිපති ක්‍රමය ගැන මගේ අදහස් ප්‍රකාශ කළා. ඒකෙන් මට වුණේ, ඊට පස්සෙ මට මධ්‍යම කාරක සභාවට කතා කළේ නැහැ.

මුලසුනේ ඉන්නේ ඉතිහාසය පුරා ෆෙඩරල් ගැන කතාකරපු අය

කාර්යක්ෂමතාවක් නැති, රටට වැඩක් කරන්නෙ නැති, සයිටම් ප්‍රශ්නයටවත් නිසි විසඳුමක් දෙන්නෙ නැති පාලකයො මේ උත්සාහ කරන්නෙ ව්‍යවස්ථාසම්පාදනයටයි. ව්‍යවස්ථාක් හදනවිට විවෘත මනසින් බලන්න ඕන. ඉතිහාසය පුරා ෆෙඩරල් ගැන කතාකරපු අයයි මුලසුනේ ඉන්නෙ.

තම රට යුද අපරාධ කළා යැයි ලෝකයේ කිසිම රටක් පිළිගත්තෙ නැහැ. නමුත් අපේ රට යුද අපරාධ කළ බවට යෝජනා ඉදිරිපත් වෙලා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒකීය භාවය යන වචනය පමණක් නොව වගන්තියම එහෙම තියන්න. හාමුදුරුවරු කියනවා නම් කරන්නම්. හැබැයි ඒකද ධර්මය කියලා සුමන්තිරන් අහනවා.

අපේ රටේ දේශපාලකයන්් බලය ඇති විට එකක් කියනවා

බලය නැති විට තව එකක් කියනවා

මේ රට යුද්ධයකට ප්‍රවේශ නොවුණානම් කවුරු ආණ්ඩු කළත් ආසියාවේ දියුණුම රට බවට පත්වීමට ඉඩ තිබුණා යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර පැවැසීය.

අප රටේ දේශපාලකයෝ බලය තියෙන විට එකක්ද බලය නැතිවිට තවෙකක්ද කියනවා. ජාතික ගීය දෙමළෙන් කියන්න තීරණ ගන්නා විට රට බෙදන්න යනවායි ජාතිවාදීන් කීවා. වෙනම ජාතික ගීයක් හදනු ඇතැයිද ඔවුන් කීවා.

බලය තියෙනකොට එකක් බලය නැති වනවිට තව එකක් කියන්න හොඳ නැහැ. 13ට එහා ගිය විසඳුමක් දෙන බව අගමැති කීවා. කිසිම මන්ත්‍රිවරයෙක් මේ රට කඩන්න කැමැති වෙනවායි කියන්නේ නැහැ.

බලය බෙදන්න යන්නේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට නොවේ. දෙමළ ජනතාවට විශේෂයක් දෙන්න යනවායි සමහරු කීවා. පළාත් සභා බලය ලබාදීම වගේම රට පුරා එකම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතුයි.

රට ගිනි තියන කණ්ඩායමක් සහ රට නිවන කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ ඉන්නවා

කුමන ප්‍රශ්න තිබුණත් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අප සමඟ එක මතයක් දැරීම ගැන සතුටුවෙන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රි තුෂාර ඉඳුනිල් අමරසේන (එජාප) පැවැසීය.

මේ ලියැවිල්ලෙහි අඩුපාඩු තිබෙනවා. ඒ ගැනයි අප මේ සාකච්ඡා කරන්නෙ. ඔරුමිත්තනාඩු හොඳ නැත්නම්අවශ්‍ය සුදුසු වචනය කියන්න.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා බොහෝ දේ ජාතක කරපු කාලෙ හොඳයි. ජාතක කරලා ක්‍රියාත්මක කරන කොට හොඳ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා කුණු කන්ද ගොඩගහනකොට හොඳයි. ඒක අපේ කාලෙට එනකොට නරකයි. සයිටම් ජාතක කරනකොට හොඳයි. අපේ කාලෙට එනවිට හොඳ නැහැ.

ජාතික කොඩිය සිංහයා තොගේ නොවේ අපේ කියා අන්තවාදීන් පිරිස් අස්සන් කරනවා. රටට ආදරය කරන හා ආදරය නොකරන කණ්ඩායමක් මේ පාර්ලිමේන්තුවේ සිටින බව ඇඟවීමට එදා කිව්වා. අද මෙහි සිටින්නේ රට ගිනි තියන කණ්ඩායමක් හා රට නිවන කණ්ඩායමක් බව අප කියනවා. විමල් වීරවංශ මහත්තයා පාර්ලිමේන්තුවට බෝම්බ ගහනවා කියපු කතාව හොඳයි කියන්න බැහැ. පාර්ලිමේන්තුව නැතිවුණොත් නැතිවෙන්නේ විමල් වීවරංශ මහත්තයාගේ රස්සාවයි. මොකද බේත් දෙන්න යන්නද? නැත්නම් කන්තෝරුවක වැඩට යන්නද?

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon