ගෙදර යන ගමන්

  👤  3508 readers have read this article !
2017-11-09

රටේ සිදුවන මෙගා දූෂණ නවතාලීම මඟින් පමණක් පසුගිය වසර හය තුළ සිදුවූ සංවර්ධනය මෙන් දස ගුණයක සංවර්ධනයක් රටට ලබාදීමට කටයුතු කරන්නෙමි"

මෛත්‍රි පාලනයක් - ස්ථාවර රටක් (16 පිටුව)
එහෙම කීවේ මහින්ද නොව මෛත්‍රිය.

"කතාව නම් 2025 රට පොහොසත් රටක් කරන එකය. හැබැයි නල්ල මලේ ආණ්ඩුවට තෙල් ටික දීගන්න බැරිය."
මිනිස්සු එහෙම කියන්නේ අමු තිත්ත වචනත් ඊට එකතු කරලාය.

එදාවේල කන්න ක්‍රමයක් නැතිව රට්ටු දුක් විඳිද්දී ආණ්ඩුව ඉන්නේ ව්‍යවස්ථාවක පැටලිලාය.
ක්‍රි.පූ. 64 ජූලි 18 වැනිදා රාත්‍රියේදී රෝම නගරයේ කඩ සාප්පු සමූහයකින් ගින්නක් හටගත්තේය. ඒ ගින්න නගරය අළු කරන්නට තරම් වේගයෙන් පැතිරෙන්නට වුණේය. ඒ වෙනකොට රෝම පාලකයා වුණේ "නීරෝය". ගින්න සතියක් පුරාම පැතිර යන්නට වුණේය. නීරෝ කළේ ගින්න දිහා බලාගෙන වීණා වයන එකය.
සතියකට පස්සේ ඉතිරි වුණේ රෝම නගරයේ අළු ගොඩක් විතරය. සතියකට පස්සේ නීරෝ රෝම නගරය අලුතින් හැදුවේ මාලිගාවත් එක්කය. බොහෝදෙනා කීවේ නීරෝ මාලිගාව හදන්න හිතාගෙන නගරය ගිනි තිබ්බා කියාය.
මහ විපතක් ඇස් පනාපිට පේනකොටත් නොපෙනෙන ගානට ඉන්න අයට මිනිස්සු කියන්නේ "රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වයනවා" වගේ කියලාය. ආණ්ඩුව කරන විගඩම් දැක්කම හිතෙන්නෙත් ඒකමය.
ගිය ජනාධිපතිවරණයේදී මහින්ද පාර්ශ්වයෙන් නිර්මාණය කළ ජනප්‍රිය වෙළෙඳ දැන්වීමක් වූයේ "යහපාලන කැඳ හැළිය" දැන්වීමය. යහපාලනය ගේන්න හදන කණ්ඩායම කැඳ හැළියක් හදන්නට හාල් දමන හැටි නිරූපණය කරන ඒ දැන්වීම බොහෝ ජනප්‍රිය විය. "මුන් ආවොත් රටම කැඳ හැළියක් වෙනවා. අහන්න දෙයක් නෑ"
ඒ දවස්වල සමහරුන් කීවේ එහෙමය.

"යාදෙක නොරත රත සමඟ පෑහීමක් නැත" කියා පැරැන්ණෝ කීවේ කට කහනවාට නොවේය. මේ වෙන්නේ ඒකය.

හිතාමතා හෝ නොහිතා කීව කතාව දැන් ගෙඩිපිටින් ඇත්ත වෙලාය. නිකන් නොවේ ටක්කෙටම හරි ගිහිල්ලාය. පටන් ගත්ත තැන ඉඳලා අද දක්වා මේ ආණ්ඩුව නා ගත්තේ නැති තැනක්ද නැත. අනා ගත්තේ නැති තැනක්ද නැත. ඇන ගත්තේ නැති තැනක් නැත. නා ගන්නට, අනාගන්නට, ඇන ගන්නට ආයෙත් දෙයක් ඉතිරි වෙලා තියේද කියා හිතන්නටත් බැරි තරමට ආණ්ඩුව පත්වෙලාය. හවුල් ආණ්ඩු උපදින්නේම අවුල නළලේ කොටාගෙනය. එකිනෙකාට සතුරු එජාප හා ශ්‍රී ලනිප එකට එකතු වීම මහා අවුලකි.
ආණ්ඩුව බලයට ආවේ මහා පරිමාණ හොරු මහින්ද ආණ්ඩුවේ හිටියා කියලාය. ඒ මදිවට කීවේ හොරු අල්ලන බවය. හැබැයි දැන් හොරු මාරු වෙලාය. දින සීයය පටන් ගත්තේම "මෙගා ගේමක්" මහ දවල් ගහලාය.

ඉස්සර කීවේ මෙගා ඩීල් තිබූ බවය. දැන් ඇත්තේ කොහොම ඩීල්දැයි මිනිස්සු දනිති. ආණ්ඩුව කීවේ දූෂණය නතර කරනවා කියාය. දැන් කිය වෙන්නේම ආණ්ඩුවේ දූෂණය ගැනය. ඉස්සර කීවේ ගජ මිතුරන්ට සැප දෙනවා කියාය. දැන් වෙන්නේ ගජ මිතුරන්ට රටම දීමය.

1956 මැතිවරණයෙන් ජයගත් දිවංගත අගමැති ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ ආණ්ඩුව සභාගයක්ය. තිබුණේ හෙල්ලි හෙල්ලීය. ඇමැතිවරුන් එකිනෙකා විවේචනය කරගත් අතර පුවත්පත්වලට විවේචන සහගත ලිපි පළකර ගනිමින් එකිනෙකා සීතල රණ්ඩුවක යෙදිණි. 1959 දෙසැම්බර් මාසය වනවිට සභාගය කෑලි 7කට කැඩිණි. සී.පී. ද සිල්වා මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලනිපය, පිලිප් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු නව මහජන එක්සත් පෙරමුණ, විජයානන්ද දහනායක මහතාගේ නායක්තවයෙන් යුත් ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතාගේ නායකත්වයෙන් යුත් සමාජවාදී මහජන පෙරමුණ, කේ.ඇම්.පී. රාජරත්න මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික විමුක්ති පෙරමුණ, සී.ආර්. බෙලිගම්මන මහතාගේ නායකත්වයෙන් යුත් සිංහල ජාතික සංගමය, ඇස්.ඩී. බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් යුත් බෝසත් බණ්ඩාරනායක පෙරමුණ යනුවෙන් ඒවා වෙන්විය. බණ්ඩාරනායක මහතාට මෙල්ල නොවන විජයානන්ද දහනායක, සී.පී. ද සිල්වා, ස්ටැන්ලි ද සොයිසා වැනි ඇමැතිවරුන් කීවේ පිලිප් ගුණවර්ධන හා විලියම් සිල්වා ඉවත් කරන්න කියාය.
අන්තිමට ආණ්ඩුවෙන් ඉවත් වූ පිලිප් ගුණවර්ධන මහතා මෙහෙම කීවේය.
"බණ්ඩාරනායකට සමුපකාර කඩයක්වත් පාලනය කරන්න බෑටික දවසකින් 56 විප්ලවය ආපසු හැරවුණේය.

මෙදා හවුල එදා හවුලට එහාය. කැබිනට් එකේ ගහ මරා ගැනිලි පටන් ගත්තේ ආණ්ඩුව පිහිටුවූ දා ඉඳන්මය. දැන් එළිපිටම වලිය. දිස්ත්‍රික් සංවර්ධන කමිටුවල ආණ්ඩුවේම අය මරා ගන්නවාය.
බැලුවම හැමෝම එකිනෙකාට විරසකවය.

රටේ එතෙක් පැවැති සංවර්ධන වැඩ සහමුලින්ම කඩා වැටී අඩක් නිම කළ කටයුතු පවා කරගන්නට බැරිව තිබේ. මහා පරිමාණ බයිලා හැර සිදුවූ කිසිවක් පේන්නට නැත. යල්පැන ගිය ආර්ථික ඔස්තාර්ලා දවල් සිහින දකිමින් ජනතාව ඒ සිහින පස්සේ දක්කාගෙන යමින් සිටින බව පමණක් ඇත්තය.
මැයි රැලියෙන් පස්සේ ආණ්ඩුව තවත් ශක්තිමත් වුණා කියන්නේ දේශපාලන නොදරුවන් විතරය. ඇත්තටම වුණේ ආණ්ඩුවේ දැති රෝද වෙනදාටත් වඩා වේගයෙන් බුරුල් වීමය.
එක්සත් ජාතික පක්ෂය කොහොමත් ඉන්නේ අවුල් ගොඩකය. ඒ අවුල් එළිපිට පුපුරා යන මොහොත කිට්ටුය. ෆොන්සේකාට දෙන්නට යනවාය කියන නියෝජ්‍ය නායකකම ගැන දැනටම ප්‍රබලයෝ සසල වෙලාය. පක්ෂය වෙනුවෙන් කොට ඇද්ද ප්‍රබලයන් ඉන්නේ පිපිරෙන ගානටය. ඒ අතරේ ගම්වල යූ.එන්.පී. කාරයෝ අනාථය.

සැප්තැම්බරය වනවිට මේ පක්ෂ දෙකේ "එකමුතු ගමන" කම්මුතුය. ඊට පසු යන ගමන ගැන රටම ඉන්නේ බලාගෙනය. ජෝන් සෙනෙවිරත්නලා, සුසිල් ප්‍රේමජයන්තලා, ඩිලාන් පෙරේරලා කියන්නේ ඉන් අනතුරුව ආණ්ඩුව එක්ක ගමනක් නැති බවය. කවුරු කොහොම කයිවාරු ගැහුවත් වැඩිකල් නොගොස් මඟහැර යා නොහැකි සටන පටන් ගන්නවා ඇත. සරසවි සිසුන් මහපාරේය. ‍ෙදාස්තරලා මහපාරේය. රණවිරුවෝ මහපාරේය. ගොවියෝ මහපාරේය. අඩු තරමේ ගමේ පාරවත් හදා දීපල්ලා කියා මිනිස්සු මහපාරේය. හැමතැනම තිබෙන පීඩාව ආණ්ඩුවට අල්ලෙන් වසා නතර කරන්නට බැරිය. ආණ්ඩුව පෙරළන්න 113ක් හොයාගන්න එක කරන්න බැරි වැඩක් කියන කතාව මීට වසරකට දෙකකට පෙර වලංගුය. ඒත් දැන්නම් බුරුතු පිටින් ඉන්නෙ අවස්ථාව එනකන්ය. 96 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී එක අවස්ථාවක ක්‍රිකට්වලට නොදරුවෙක් වූ කෙන්යාව ක්‍රිකට් ලොව ගලිවරයකු වූ කොදෙව්වන්ව පරාජය කළේ ලකුණු 73කින්ය. එවර කොදෙව්වන් දැවී ගියේ ලකුණු 93ටය. හැබැයි ඒක විතරය. එහෙම අහඹු දේ සිදුවිය හැකිය. එහෙම පැරදුණා කියා අදටත් කෙන්යාව ඉන්නේ කොදෙව්වන්ට වඩා හැතැප්ම ගාණක් පිටුපසින්ය.

සමහරු කියන්නේ මහින්ද ආණ්ඩුවට වුණෙත් ඒක කියාය. සිද්ධ වුණේ අහඹු පරාජයක්ය. ඒක කොයි කාටත් වඩා හොඳින් දන්නේ රනිල්ලාය. අඩු තරමේ ඡන්දයක් තියනවා තබා තියන්නට හිතන්නේවත් නැත්තේ ඊට පස්සේ වෙනදේ දන්න නිසාය.
හැබැයි හැමදාම ඒක කරන්න බැරිය. කොයි මොහොතක හෝ යථාර්ථයට මුහුණ දිය යුතුය. මිනිස්සු ඉන්නේ වෙනස වෙනස් කරන්න නොවේද කියා එදාට බලාගත හැකිය.
ප්‍රාදේශීය සභා ඡන්දෙන් කාට කාටත් ඒක බලාගන්න බැරිවෙන එකක් නැත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්