කුමරියක පා සලඹ හඬ ගී පදවැල් අතර රැඳවූ K.D.K

  👤  4571 readers have read this article !
2017-11-12

උල්පතක් මතුවීම යනු බිමෙක සරුසාරත්වයට අතවැනීමකි. ස්වර්ණ වර්ණ කාලයක් උදාකරන්නකි. සාහිත්‍ය ලොවටද මේ සත්‍යය වලංගුය. සිංහල සාහිත්‍යයට විවිධාකාරයේ ස්වර්ණ වර්ණ වසන්ත සිහින සැබෑ කරවනු වස් මතුවුණු උල්පත් අපමණකි. අවාසනාව නම් එකී උල්පත් සිඳී යන තුරුම එහි ඇති වටිනාකම අවබෝධ නොවීමය.
මීට දහහත් වසරකට පෙර සිඳී ගිය සාහිත්‍ය උල්පත කේ. ඩී. කේ. ධර්මවර්ධනයන් ගැන කියන්නට ඇත්තේද එබඳු කතාවකි. සිංහල ගීත සාහිත්‍යයට අනුපමේය දායකත්වයක් සපැයූ මේ සාහිත්‍ය උල්පත සිඳී යන තුරුම අපට අගයක් වූයේ නැත. ප්‍රතිභාපූර්ණ ගීත රචක කේ. ඩී. කේ. ධර්මවර්ධනයන් අපෙන් වෙන්ව පසුගිය හය වැනිදාට දහහත් වසරක් පිරෙයි.

කළුආරච්චිගේ ‍ෙදාන් කුමාරසිරි ධර්මවර්ධන හෙවත් කේ. ඩී. කේ. උපන්නේ 1944 වර්ෂයේ ජුනි මස 13 වැනිදා උඩරටදීය. බාලවිය සිහින අතර සැරිසැරූ කේ. ඩී. කේ. අකුරු කළේ ගියේ පන්සල ඇසුරු කරමිනි. භාෂා විශාරද භික්ෂුන් වහන්සේගේ ඇසුර ලද කේ. ඩී. කේ.ට භාෂාවේ ලාලිත්‍යය සුන්දරත්වයත් උද්දීපනය කර ගන්නට එය කදිම අරැඹුමක් වූවාට සැක නැත.

ධර්මවර්ධනයන් ගීත රචකයකු පමණක් නොවූයේය. ඔහු ලංකාවේ නමගිය විද්‍යුත් මාධ්‍යවේදියෙක් වූයේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහකාර පුස්තකාල කළමනාකරු ලෙස කටයුතු කළ කේ. ඩී. කේ. කොළඹට මාරුවක් හදාගත්තේ ගුවන් විදුලියට එක්වීමේ ආසාවෙන් යුතුවය. 1967 වසරේ ඒ ආකාරයෙන් ගුවන් විදුලියට එක්වූ කේ. ඩී. කේ. පසුකාලීනව ප්‍රවීණ නිවේදකයකු, තැටි ගබඩා භාරකරු, වාචික වැඩසටහන් පාලක හා සිටි එෆ්. එම්. පාලක ආදී වශයෙන් වූ තනතුරු හා වගකීම් ගණනාවක් දැරූ බව කියැවේ.
කේ. ඩී. කේ. ගීත රචනා ලෝකයට පිවිසි කතාන්දරය ද අපූරුය. ඔහු මුලින්ම ගී පදවැලක් ලීවේ මිල්ටන් මල්ලවආරච්චිටයි. ඒ "ආදරයේ මිහිර රැඳී" නම් වූ ගීයයි. එහෙත් එය ඔවුන් බලාපොරොත්තු වූ පරිදි ජනප්‍රිය වූයේ නැත. එය කේ. ඩී. කේ. ගේ ළතැවිල්ලට ද හේතු වූ බව කියැවේ. එහෙත් කේ. ඩී. කේ.ගැන හොඳ තක්සේරුවකින් සිටි මිල්ටන්ගෙන් ගැලවෙන්නට තරමක් අපහසු විය. දිගින් දිගටම කළ ඇවිටිලිවල ප්‍රතිඵලයක් වශයෙන් "දෙඅදර විලිකුන් සුරත් පලේ" ගීය ලියැවිණි. එය ජනප්‍රියත්වයේ ඉහළම තැන සොයා ගියෙන් ඉනික්බිති කේ. ඩී. කේ. අතින් මිල්ටන් වෙනුවෙන් ගී පදවැල් සියයකට වඩා ලියැවුණු බව කියැවේ.

කේ. ඩී. කේ. ධර්මවර්ධනයන්ගේ ප්‍රතිභාව හඳුනා ගන්නට හැකි හොඳම අධ්‍යයනය වන්නේ ඔහු විසින් නිර්මාණය කළ ගී පදවැල් එකිනෙකට වෙනස් වූ ආකාරය විමසීමය. අමරදේවයන්ට කුමරියක පා සලඹ සැලුණා හා මහ වැස්සක පෙර නිමිති, ලියද්දී ඉන්ද්‍රානි පෙරේරා කවුදෝ මා සෙව්වේ හා සතුටු සුළං රැලි ආදී ගී ලිව්වේය. වික්ටර්ට දිනෙක හිරු බැස යන වෙලාවේ, හෝපලු වන පෙත ලියද්දී ගේ‍ර්ෂන් ආනන්දට ආදර සීනුව, රනින්මාල ආදී ගී ලියුවේය. මේ ආකාරයෙන් ඉතා සුවිශාල පරාසයක ගායක ගායිකාවන්ට කේ. ඩී. කේ. විසින් ලියන ලද ගී පදවැල් දෙදහසකට අධිකවූයේ යැයි කියැවේ.

ශ්‍රී ලංකාව හැර ගිය කේ. ඩී. කේ. අවසන් වරට රාජකාරි කෙළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ "කුම්අල්ක්වේන්" ගුවන් විදුලියේ සිංහල වැඩසටහන් භාර ප්‍රධානියා ලෙසය. අසාමාන්‍ය වූ ප්‍රතිභාවකින් යුතු වූ කේ. ඩී. කේ. ගෙන් ගත හැකි උපරිමය ලංකා සාහිත්‍ය වෙනුවෙන් අපට ලබා ගන්නට හැකි වූවාද? අනෙක් අතට ඔහුට හිමිවිය යුතු ගෞරවය බුහුමන පුදන්නට හැකි වූවාද යන්න ඔහුගේ වියෝවින් දහහත් වසරකට පසුවද අපට අසන්නට ඉතිරි වී ඇති පැනයකි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්