සංඝාරාමයෙන් එළියට පැමිණි රූමත් කාන්තාව කව්ද?

  👤  5335 readers have read this article !
2017-11-12

බණ්ඩාරනායක අගමැති ඝාතන නඩුවේ 6 වැනි විත්තිකාරිය වූයේ විමලා විජයවර්ධන මහත්මියයි. ඇය 1956 මැතිවරණයේදී මීරිගම ආසනයට බණ්ඩාරනායක මහතාගේ මහජන එක්සත් පෙරමුණෙන් තරග වැදී වැඩි ඡන්ද 25,297ක් ලබා එම අසුන දිනා සිටියාය. ඇය ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමැතිවරියද වූවාය.

කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති මාපිටිගම බුද්ධරක්ඛිත හිමියන් සමඟ විජයවර්ධන මහත්මිය පැවැත්වූ සමීප සම්බන්ධකම එකල මහත් ආන්දෝලනාත්මක දේශපාලන සංසිද්ධියක් විය. මේ සබඳකම නිසාම ඇය බණ්ඩාරනායක ඝාතන නඩුවේ විත්තිකාරියද වූවාය.

ඝාතන නඩුවේ සාක්ෂිකරුවකු ලෙස කැඳවූ ප්‍රකට කවියකු සාහිත්‍යකරුවකු මෙන්ම සමාජයේ කැපී පෙනුණු පුද්ගලයකු වූ පී. මලල්ගොඩ මහතා 1960 මාර්තු 03 දින සිට 1960 අප්‍රේල් 22 දක්වා දින 17ක් නඩුවේ සාක්ෂි දුන්නේය. ජේ‍යෂ්ඨ නීතිඥ සී. එස්. බාලකුමාර් මහතාගේ ප්‍රශ්න කිරීම හමුවේ මලල්ගොඩ මහතා දුන් සාක්ෂිය එකල මහත් ජනතා අවධානයක් දිනා ගත්තේය.

එහි වැදගත් අවස්ථා කිහිපයක් මෙසේය.
නීතිඥ _ යැංකි පන්දමාට පිළිතුරු දිය හැකි එකම තැනැත්තිය ඇය යැයි ඔබ කීවා.
මලල්ගොඩ _ ඔව්.

නීතිඥ _ තම්බි අප්පුගේ බරව කකුල කෙළින් කරන්න පුළුවන් ඇයට පමණක් බව ඔබ කීවා.
මලල්ගොඩ _ ඔව්. කෙළින් කරන්න පුළුවන් අෑට තමයි. විජයවර්ධන මහත්මිය ප්‍රථමයෙන් දුටු අවස්ථාව ගැන මලල්ගොඩ පැහැදිලි කළේය. දිනක් කැලණි පන්සලට මලල්ගොඩ ගියේ බුද්ධරක්ඛිත හාමුදුරුවන් හමුවීම පිණිසය. තමාගේ කේන්දරය බලන ලෙස හාමුදුරුවන් ඔහුගෙන් ඉල්ලා සිටියේය. ඔහුට ඒ පිළිබඳව මනා හැකියාවක් ඇත. කේන්දරය සකස් කිරීම පිණිස ඔහු සංඝාවාසයේ කාමරයක් දෙසට ගියේය.

ඒ යනවිට ඉතා රූමත් කාන්තාවක් කාමරයෙන් එළියට ආවාය. ඒ විමලා විජයවර්ධන මහත්මිය වන්නට ඇතැයි ඔහු සිතුවේය. ඒ ඔහු අෑ පළමුවෙන් දුටු අවස්ථාවයි. සිත් වශී කරන මඳ සිනාවක් පෑ විජයවර්ධන මහත්මිය කේන්දරයක් බලන්නට හදනවාදැයි ඇසුවාය.

'ඔව්' යැයි පිළිතුරු දුන් මලල්ගොඩ ඒ කාමරයට ගියේය. තමාගේ කේන්දරයත් බලවා ගන්නට ඕනෑ යැයි කියමින් විජයවර්ධන මහත්මිය ඔහු පසුපසින් කාමරයට ආවාය. කාමරයෙහි දිග මේසයක් සහ පුටුවක් විය. බුද්ධරක්ඛිත හිමි සහ විජයවර්ධන මහත්මිය මේසය උඩ වාඩිවූහ. මලල්ගොඩ පුටුවේ වාඩිවිය. ඊට පසුව ඔහු දෙදෙනාගේ කේන්දර බලන්නට පටන් ගත්තේය.

නීතිඥ _ විජයවර්ධන මහත්මිය ළඟ තමන්ගේ කේන්දරය තිබුණාද?
මලල්ගොඩ - කේන්දරයක් තිබුණේ නැහැ. ඇය මඳක් නක්ෂත්‍රය දැන සිටියා. ඇගේ ලග්නය සහ ග්‍රහයන් කොළ කෑල්ලක ලියා මට දුන්නා. ඇය නක්ෂත්‍රය දන්නා බවත් ඒ ගැන උනන්දුවක් තිබූ බවත් මා එයින් දැනගත්තා.

අනතුරුව බුද්ධරක්ඛිත හිමි තමාගේ කේන්දරය ඔහුට දුන්නේය. ඔහු එය පරීක්ෂා කර පලාපල කීය. ඔහු හොඳ මෙන්ම නරකද කීය.
ඒ කාලයේ විජයවර්ධන මහත්මිය දේශපාලන පිටියෙන් ඉවත්වී යන කාලයයි. සම්පූර්ණ කනස්සල්ලට පත්ව සිටි ඇය යළිත් දේශපාලනයට ඒමේ අදහසක්ද නැතිව සිටියාය. ඇය 1952දී කැලණිය ආසනයට තරග කරමින් දේශපාලනයට පිවිසි අතර ඒ අවස්ථාවේ ඇය ජේ.ආර්. ජයවර්ධන මහතාට පරාජය වූවාය. කේන්දර බලා විජයවර්ධන මහත්මියට කී දේ දැන් මලල්ගොඩට ස්ථීර වශයෙන් මතක නැතැයි ඔහු කීවේය. එහෙත් ඇය දේශපාලන භූමියෙහි අතිශය ශේ‍ර්ෂ්ඨත්වයට පත්වන බව කී බව යන්තමින් මතක යැයි මලල්ගොඩ උසාවියට කීවේය.

නීතිඥ - ඔබට මතක හැටියට බුද්ධරක්ඛිත හිමියන්ගේ ජීවිතය ගැන ඔබ කීවේ මොනවාද?
මලල්ගොඩ - ඒ වෙලාවේ කැලණියේ හාමුදුරුවන්ට තිබුණේ ඉතා බලවත් තත්ත්වයක්. 1956 දී සහ 1957 දී ඒ තත්ත්වය දීප්තිමත් වන බව මා කිව්වා.
කේන්දරය බැලීම ගැන විජයවර්ධන මහත්මියත් බුද්ධරක්ඛිත හිමියොත් දෙදෙනාම බොහෝ ප්‍රසාදයට පත්වූහ. ඊට පසුව දෙදෙනාම මලල්ගොඩ සමඟ දිගටම ආශ්‍රය කළහ. ඔහු විමලා විජයවර්ධන මහත්මිය සමඟ බොහෝ මිතුරු විය. නිතර බුද්ධරක්ඛිත හිමි හමුවීමටද ගියේය.
මලල්ගොඩ විජයවර්ධන මහත්මියගේ ගෙදරට පළමුවෙන් ගියේ බුද්ධරක්ඛිත හිමියන් සමඟය.
නිතිඥ - ඔබ එහි ගියේ ඇයි?

මලල්ගොඩ - විජයවර්ධන මහත්මියගේ වැඩිමහල් දියණිය වූ පද්මිණී ගැන ගෙදර ලොකු කලබලයක් ඇති වී තිබෙන බව හාමුදුරුවෝ කීවා.
නීතිඥ - මොකක්ද කලබලේ?
මලල්ගොඩ - පද්මිණී විවාහ වී මාසයකින් ඉතාම බැරෑරුම් හේතුවක් නිසා පුරුෂයා අත්හැර ගෙදර ඇවිත් සිටියා.
නීතිඥ - කවුද ඇගේ පුරුෂයා?

මලල්ගොඩ - මොළගොඩ නමැති මහත්මයෙක්. දැන් මේ ගැන කුමක් කළ යුතුදැයි විජයවර්ධන මහත්මිය මලල්ගොඩගෙන් ඇසුවාය. ඒ අවස්ථාවේ බුලර්ස් පටුමඟ නිවෙසේ සිටියේ ඔවුන් තිදෙනා පමණි. පද්මිණී නිවෙසේ සිටියේ නැත. මේ ගැන උපදෙස් දීමේ විශේෂ දක්ෂකමක් මලල්ගොඩට නැත. ඔහු කැඳවූයේ විශ්වාසදායක මිතුරෙකු නිසාය. ඔවුන්ට වුවමනා වූයේ නක්ෂත්‍රකාරයෙකු හැටියට ඔහුගේ උපදේශයයි.

මලල්ගොඩ කේන්ද්‍රය දෙස බලා සිදුවී ඇති දේ ගැන තමා කිසිසේත් පුදුම නොවන බව කීවේය. ඔය සිද්ධියෙන් පසු වාර ගණන මතක නැති තරමට ඔහු ඒ ගෙදරට ගොස් තිබේ.
මලල්ගොඩ නමින් ලියා ප්‍රසිද්ධ කර ඇති 'ලේ සලකුණ' නැමැති කවි පොත අධිකරණයට ඉදිරිපත් කළ නීතිඥ මහතා එහි අන්තර්ගත කවි ගැන ඔහුගෙන් ප්‍රශ්න කළේය.
නීතිඥ - ඔබ කාමරයට යන විට තන පටක් සහ යට ගවුමක් අතින් ගෙන ඇය කාමරයෙහි සිටි බව මෙහි ලියා තිබෙනවා.
මලල්ගොඩ - ඔව්.

නීතිඥ - එතකොට ඇඟේ මොකුත්ම නෑ?
මලල්ගොඩ - මා එසේ කියා නැහැ.
නීතිඥ - නමුත් එසේ හැඟෙන අයුරු ඔබ ලියා තිබෙනවා.
මලල්ගොඩ - එය ඔබේ හැඟීම ඇය දිය නෑමට සූදානම්ව රෙද්දෙන් තනපට හැඳ බොඩිය හා යටගවුම අතින් ගෙන ඉන්නට පිළිවන්.
නීතිඥ - "කැවුම" කියා ලියා තියෙන්නේ මොකටද?
මලල්ගොඩ - 'ලැජ්ජාවට'


මහෙස්ත්‍රාත්තුමා - 'ලැජ්ජාව' කියන තේරුම කැවුම් යන වචනයට යෙදෙන්නේ කොහේද?
මලල්ගොඩ - වන්නියේ.

මහෙස්ත්‍රාත්තුමා - ඔබ භික්ෂුවක් වී වන්නියේ හිටියා.
මලල්ගොඩ - ඔව්. එහේ අය මඟුල් තුලාවල යන්න බැරි වුණාම 'කැවුම්' පිණිසවත් යවන්න බැරි වූ බව කියනවා.
නීතිඥ - නමුත් මේ කවියේ 'කැවුම' යනුවෙන් අදහස් කළේ ස්ත්‍රියගේ රහසඟ නොවෙයිද?
මලල්ගොඩ - අපොයි නෑ.

නීතිඥ - 'ලේ සලකුණේ' 43 වැනි කවියේ ඔබ 'කොතලාවල' කියා ලියා තිබෙනවා.
මලල්ගොඩ - ඔව්.
නීතිඥ - එයින් ඔබ අදහස් කළේ කවුද?
මලල්ගොඩ - ශ්‍රී මත් සර් ජෝන් කොතලාවල
නීතිඥ - කොතලාවලා, කියා ලීවේ මොකද?

මලල්ගොඩ - ඇලපිල්ල යෙදුවේ නැත්නම් මාත්‍රාවක් අඩු වෙනවා. එහෙම වුණාම කවිය කවියක් හැටියට කියවන්න බෑ.
නීතිඥ - ඔබ ඇලපිල්ල යෙදුවේ 'වල්' අදහසකින්.
මලල්ගොඩ - වල් අය එහෙම හිතන්න පුළුවන්.
නීතිඥ - ඔබේ අදහසේ හැටියට 'වල්' මිනිස්සු කවුද?
මලල්ගොඩ - මටත් දැනගන්න වුවමනා ඒක තමයි.

නීතිඥ - ඔබ මෙහෙම කියා තිබෙනවා. බුද්ධ ජයන්ති උත්සවය පැවැත්වෙද්දි හොර මඟුලක ගියා කියලා.
මලල්ගොඩ - මා කියා තිබුණේ හොර මඟුලේ කියලා.
නීතිඥ - මොකක්ද ඒකේ තේරුම.
මලල්ගොඩ - මංගල්‍යයක් වංක විදිහට පැවැත්වුණොත් ඒක හොර මඟුලක්.
නීතිඥ - හොර මගුල කියන්නේ හොරට අඹු සැමියන් ලෙස විසීම නොවෙයිද?
මලල්ගොඩ - අපට ඒවා පුරුදු නෑ.

නීතිඥ - මා අහන එකට උත්තර දෙනවා. හොර මඟුල කියන්නේ මා කී දෙය නොවෙයිද? මලල්ගොඩ - මා අදහස් කළේ එය නොවෙයි. මෝඩයන්ට එහෙම හිතෙනවා ඇති.
නීතිඥ - කොළඹ ප්‍රදර්ශනය ගැන ලියා ඇති කවි පෙළේ රූමතියන් දාහක් තෝරා රත්මලානේ කඳවල වලව්වට යැවීමක් ගැන කියා තිබෙනවා.
මලල්ගොඩ - ඔව්.


නීතිඥ - ගැහැනු 1000ක් එකට හිටියත් කඳවල වලව්වේදී ඔවුන්ට ඔවුන්ගේ ආරක්ෂාව සලසා ගන්න බැරි බවයි ඔබේ අදහස.
මලල්ගොඩ - කඳවල නොවෙයි මොන වළව්වට යැව්වත් ගෑනු තනිව තබන සිරිතක් අපේ රටේ නැහැ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්