රජු පරාජය වුවහොත් නුවර මිනිසුන් මරා වැවට පනිනු ඇත

  👤  4774 readers have read this article !
2017-11-12

රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාර
උතුමාණන් වෙතය,
1815 පෙබරවාරි 3
ප.ව. 7.00
ගනේතැන්න

බලනට සැතපුම් 1 1/2ක් එපිටින් ඇති අමුණුපුර කඳවුරු ගසාගෙන සිටින අපේ සේනාව හමුවීමට කර්නල් කොනලි සමඟ අද උදේ අසු පිටින් ගියෙමි. මනහර කන්දකි. විධාන දීමට යෝග්‍ය ස්ථානයකි. එය පරීක්ෂා කර නැවත ආපසු පැමිණියෙමි. අතරමඟ සිදුවූ පමාවීම් ඇතුළුව පැයකදී අපි එතැනට ගියෙමු. විනාඩි 20කදී ආපසු ආවෙමු. සම්පූර්ණ දුර සැතපුම් 4කට අඩු නැත. ශීඝ්‍ර නැග්මක් ඇති බවට තිබූ ආරංචිය නිවැරැදිය. රජයේ ප්‍රකාශ කීපයක් සවිකරන අදහසින් හේවායන් 4 දෙනකුගේ ආරක්ෂාව ඇතිව අමුණුපුරෙන් ඉදිරියට ගියෙමි. ප්‍රධාන පාරේ ප්‍රසිද්ධ ස්ථාන 4ක රජයේ ප්‍රකාශන සවි කළෙමු. මගේ ගමන බලව්වාගොඩටයි. දුර සැතපුම් 2කි.

මේ ගමනේදී එකට සම්බන්ධ කරන ලද මාලිගා දෙකක් හමුවිය. එය රජතුමා වෙනුවෙන් ඉදිකරන ලද්දකි. මැටි බිත්තියෙන් නිමවා සුදු හුනු හා පිදුරු සෙවිලිකර තිබිණි. ඇතුළත කොටසේ වැඩ සම්පූර්ණ කර නැත. එය තවමත් හදාගෙන යන තත්ත්වයේ පවතී. එහෙත් මෑතකදී කන්දේ නුවර සිට සේනාංකයක් සමඟ පැමිණි රජුගේ නෑදෑයන් පිරිසක් මෙහි වාසය කළ බව දැනගන්නට ලැබිණි.

රටවැසියන් 20ක් කෝරාල කෙනෙක් සමඟ පැමිණ ආරක්ෂාව ඉල්ලා සිටි අතර තව බොහෝ පිරිසක් එසේ පැමිණෙන අදහසින් සිටින බව දැන්වීය. යටිනුවර ප්‍රධානියාගේ පණිවුඩකරුවෙක් පැමිණ රජතුමා වනයේ සැඟව සිටින බව දැන්වීය. ඔහුගේ හේවායන්ට දන්වා තිබෙන බවත් අපගේ හේවා කණ්ඩායම ගන්නොරුවට පැමිණි වහාම ඔවුන් අප සමඟ එකතු වන බවත් කීය.

ඊයේ රාත්‍රි රජුගේ නෑයන් පිරිසක් ‍ෙදාඩම්වෙලට බැස ගිය බවත් ඔවුන්ගෙන් එක් අයෙක් අශ්වයකු පිට ගමන් කළ බවත් දැනගන්නට ලැබිණි. අමුණුපුර සිට ‍ෙදාඩම්වලට සැතැපුම් 4කි. යටිනුවර මිනිසුන්ට අද වෑකේ පිටියට රැස්වන ලෙස දැනුම්දුන් නමුත් ඔවුන් පැමිණ සිටියේ නැත. ගැටඹේ ගඟේ අනෙක් පැත්තේ කාලතුවක්කු සවිකර කාලතුවක්කු හමුදාවක් නතරකර සිටී. මෙහි රජතුමා නවතින්නට අදහස් කරන බව දැනගන්නට ඇත. ඔහු පරාජය වුවහොත් ඔහුගේ මිනිසුන් මරා දමා ඔහු වැවට පනිනු ඇත.
රජතුමාගේ ප්‍රධානීන් තිදෙනකු මරවා සත්කෝරලෙන් පැන්න පතානි හේවායකු ගන්නොරුවේදී උල තියා ඇත. අමුණුපුර නතර වී සිටීම මගේ අදහසය. නමුත් මොල්ලිගොඩ සමඟ ඇති අපේ කටයුතු නිමාවී නැති බැවින් ගනේතැන්නට ආපසු එනවානම් හොඳ යැයි මම සිතුවෙමි. අදිකාරම්ගේ මිනිස්සු ඊයේ කලාක් මෙන් එම ස්ථානයේ සිට නැවතත් වෙඩි 50ක් පමණ තැබුවෝය.

සදර්ලන්ඩ් මහතා රුවන්වැල්ලේ සිට එවූ ලිපිය ලැබිණි. මේජර් කෙලී බළන්ගොඩ සිට එවූ ලිපියට අනුව මම වහාම අදිකාරමට ලීවෙමි. බටුගෙදර සිට බඩු ගෙන යෑමට සෑම ප්‍රයත්නයක්ම දරන ලෙසත් ඉද්දමල්පාන පසු කිරීමේදී අපේ හේවා කණ්ඩායම්වලට සබරගමුවේ මිනිසුන් ලවා සෑම සහයෝගයක්ම දෙන ලෙසත් ඉල්ලමි. මම නිශ්චිතව වෙලන්ගස්තේ ගම ගැන නොදනිමි. ඉද්දමල්පානට දකුණෙන් ඇතැයි සැක කරමි. එය හම්බන්තොට සිට වැල්ලවාය අතරින් ඇති වෙන් කිරීමේ මාර්ගයෙන් දුර විය හැකිය. මෙහි රැස්ව සිටිය හැකි බළ සේනාවන්ට අස්වන ලෙසටත්, ළඟාවිය හැකි දුරක සිටී නම් පහර දෙන ලෙසටත් නියම කිරීම අනුමත කරමි.

බලන කන්ද නැඟීමේදී වෙහෙස දැරීමට අපහසු තරමේ රෝගී වූ පාදයක් ඇති බැවින් මේජර් විලර්මන් අමුණුපුර නැවතී සිටින බව උතුමාණන් වෙත දන්වමි.

මෙයට,
ජෝන් ඩොයිලි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්