දුප්පතාගෙ ගල් අරක්කු බෝතලයේ බදු අඩු කර සහනයක් දෙන්න

  👤  4163 readers have read this article !
2017-11-13

"සාමාන්‍ය දුප්පත් ජනතාවගේ ගල් අරක්කු බෝතලයෙන් බදු අඩුකර, මේ ජනතාවට සහනයක් ලබාදෙන ලෙස මුදල් ඇමැතිවරයාගෙන් බොහොම කාරුණිකව ඉල්ලනවා" යැයි කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න පැවැසීය.

"බියර්වලට පනවා ඇති බදු අඩුකිරීම හොඳයි. නමුත් අපේ ගම්වල සාමාන්‍ය කුලී වැඩ කරන අය, වතු කම්කරුවෝ, පතල්වල වැඩ කරන අය දුප්පත් ජනතාව වැඩි වශයෙන් පානය කරන්නේ බියර් නොවෙයි. ගල් අරක්කුයි. ගල් අරක්කුවල මිල දැන් විශාල ලෙස ඉහළ ගිහිල්ලා."

"අපිට අරක්කු බොන එක ප්‍රවර්ධනය කරන්න කිසිදු අවශ්‍යතාවක් නැහැ. අපි මොන ප්‍රතිපත්ති ගෙනාවත්, මිනිසුන්ගේ ඔළු හදන්න වැඩසටහන් ගෙනාවත් බොන මිනිහා බොනවා. පසුගිය රජය කාලේ අපි මතට තිත සංකල්පය ගෙනාවා. ඒවා සාර්ථක වුණේ නැහැ. කුලී වැඩ කරන මිනිහට, වතු කම්කරුවන්ට හවසට අඩියක් ගහන එක තමන්ගේ දෛනික ජීවිතයේ ප්‍රධාන ක්‍රියාකාරකමක් වෙලා. කකුළුවට කොච්චර කෙළින් යන්න උපදෙස් දුන්නත් වැඩක් නැහැ වගේ තමයි. ඒ නිසා මහ පොළොවේ යථාර්ථය අපි තේරුම් ගන්න ඕනෑ.

මැදමුලන බද්ද ගෙවිය යුත්තේ ගනුදෙනුකරුවන් නොවේ

බැංකු මඟින් සිදු කරන සියලු ගනුදෙනු සඳහා රුපියල් 1,000කට ශත 20ක් අය කිරීමට පනවන ණය ආපසු ගෙවීමේ බද්ද හෙවත් 'මැදමුලන බද්ද' ගෙවිය යුත්තේ බැංකු ගනුදෙනුකරුවන් නොව එම බැංකුව විසින් බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර අවධාරණය කරයි.
පසුගිය රජය මීතොටමුල්ල කුණු කන්දටත් වඩා උස ණය කන්දක් උරුම කර තිබෙන නිසා 2018 වසරේ පමණක් රුපියල් බිලියන 1,970ක ණය ආපසු ගෙවීමට අවශ්‍ය වී ඇතැයි ඇමැතිවරයා කීවේය.

2018 අප්‍රේල් මස 1 වැනිදා සිට ක්‍රියාත්මක මේ බද්ද ඉදිරි වසර තුන සඳහා පමණක් අදාළ වන බවත් කීවේය.
ඇමැතිවරයා එසේ පැවැසුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිකුරාදා (10දා) දහවල් පැවැති විශේෂ මාධ්‍ය හමුව අමතමිනි.

රජයේ ආර්ථික දැක්ම කුමක්ද කියලා
අය - වැයෙන්
පැහැදිලි නෑ

'පසුගිය අය - වැයෙන් සමහර අමාත්‍යාංශවලට වෙන්කළ මුදල් පාවිච්චි කරලා නැහැ. ඒ සල්ලිවලට මොකද වුණේ?' යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති පැවැසීය.
'මේ රජයේ ආර්ථික දැක්ම කුමක්ද කියලා මේ අය - වැයේ පැහැදිලි නැහැ. මේ රටට විවෘත ආර්ථිකය දීපු ප්‍රතිලාභය කුමක්ද?'

මුදල් ඇමැති
මුල් අවුරුදු කිහිපයේ පමණයි විවෘත ආර්ථිකය හරි හැටි ක්‍රියාත්මක වුණේ. දැන් පසුගාමී තත්ත්වයකයි තිබෙන්නේ.
සුනිල් හඳුන්නෙත්ති
ඩොලර් දෙකකවත් දෛනික ආදායමක් මේ රටේ ජනතාවගෙන් සියයට 80කට ලැබෙන්නේ නැහැ. ඒකපුද්ගල ණය බර ලක්ෂ පහයි. බැංකුවල තැන්පත් කරනු ලබන සෑම රුපියල් දහසකින්ම සත විස්සක් අය කරගන්න යනවා.
මුදල් ඇමැති
ඒ මුදල ගෙවන්න ඕන බැංකුවලින්. තැන්පත් කරුවන්ගෙන් අයකරගන්නේ නැහැ.

සුනිල් හඳුන්නෙත්ති
ඔබතුමා මේ අය - වැය ඉදිරිපත් කළාට තාක්ෂණික සටහන් කියවලා නැහැ. බියර් කෑන් එකේ නිෂ්පාදන බද්ද ඔබතුමා ඉවත් කරනවා. ගාස්තු අය කරන්නේ රාජ්‍ය ආයතනවලින් සපයන කුමන සේවාවන්ද කියලා පැහැදිලි කරන්න.
'මේ අය වැයෙන් ආර්ථිකයේ දිශානතිය කණපිට හරවලා. මංගල ඇමැතිතුමාගේ මංගල අය - වැයෙන් ආර්ථිකයට අවමංගල්‍ය උදා කරලා.'

උසාවි ගිහින් ඒකෙන්ම මේ ආණ්ඩුව ගෙදර යවනවා

'සිංගප්පූරු රට වැසියෙක් අස්සන් කළ රුපියල් 5,000ක මුදල් නෝට්ටුව වලංගු නැහැ. අපි ඒකට උසාවි යනවා. ඒකෙන්ම මේ ආණ්ඩුව ගෙදර යවන්න කටයුතු කරනවා' යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි බන්දුල ගුණවර්ධන පැවැසීය.
මේ අය - වැයත් පරණ කකුල් කැඩුණු නොන්ඩි අශ්වයාමයි. ජොකියා විතරයි අලුත්. අලුත් ජොකියා නොන්ඩි අශ්වයා අරගෙන යන්න හැදුවට වැඩක් තියෙනවා යැ. එයත් එක්කම ඇද ගෙන වැටෙනවා.

2015 ජනාධිපතිවරණයෙන් පස්සේ පත්වූ මුදල් ඇමැති රවි කරුණානායක ඉතා අවිචාරවත් හා අසම්මත ලෙස කටයුතු කළ නිසා රටේ ආර්ථිකය කඩා වැටුණා. සංචිත කඩා වැටුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රටට අහිතකර ගිවිසුමක් අස්සන් කරන්න ඔහුට සිදු වුණා. ඇමෙරිකානු ඩොලර් මිලියන 162ක් ලබාගන්නයි ඒ ගිවිසුම අස්සන් කිරීමට වුණේ.

ආදායම් වැඩිකර ගන්නැයි මූල්‍ය අරමුදල ආණ්ඩුව දැනටම කියා තිබෙනවා. අමතර බිලියන 339ක් හොයන්න උත්සාහ කරනවා. ආයතන මත 89%ක බදු පටවා තිබෙනවා. අපේ කාලෙ වක්‍ර බදු අය කළේ 616යි. දැන් 1,239යි. මේ ආණ්ඩුව බදු ගහන්නෙ රීරි මාංසයත් උරා ගන්නා විදියටයි. එහෙම කියන්නෙ මොකද? මහින්ද රාජපක්ෂ යුගයට වැඩිය මේ කාලෙ වක්‍ර බදු 101%කින් වැඩි කරලා. ඒ කාලෙ ඩොලරය 131යි. දැන් රුපියල් 155යි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon