පනින්න පෙර සිතා බලනු

  👤  3337 readers have read this article !
2017-11-14

රටේ බොහෝ දෙනකු අපේක්ෂාවෙන් සිටි පළාත් පාලන ආයතන සභිකයන් ගණන සඳහන් ගැසට් පත්‍රය නොවැම්බර් මස දෙවැනි සතියේ නිකුත් වීමත් සමඟ රටේ දේශපාලන තත්ත්වයේ විශාල කැලැඹීමක ලකුණු පහළ වී ඇත. 2015 අප්‍රේල් මාසයේ විසුරුවා දමන ලද පළාත් පාලන ආයතනවලට නව සභිකයන් තෝරාගැනීමට ඡන්දයක් පැවැත්වීම මේ සා කාලයක් ප්‍රමාද වූයේ සිරිසේන ජනාධිපතිවරයා ඡන්දවලට ඇති බිය නිසා බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. 2017 වසර මැද පළාත් සභා තුනක් විසුරුවා හැරියද නියමිත පරිදි නොවැම්බර් මාසයේ මෙම පළාත් සභා සඳහා ඡන්දය විමසනවා වෙනුවට පාර්ලිමේන්තුව තුළ කතානායක පවා අද පිළිගෙන ඇති, දූෂිත ක්‍රමවේදයක් භාවිත කොට නව පනතක් සම්මත කරගෙන එම ඡන්දයද කල් දමන ලදී. නැඟෙනහිර, සබරගමුව හා උතුරු මැද පළාත් සභා තුනම තමුන්ට ජය ගැනීමට අපහසු ඒවා වූ නිසා මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ සහායද ජනාධිපතිවරයාට නොමඳව ලැබිණි.

නමුත් පළාත් පාලන ආයතන සඳහා පැවැත්වෙන ඡන්දයේදී වැඩි තර්ජන තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයා නියෝජනය කරන කණ්ඩායමට මිස එක්සත් ජාතික පක්ෂයට නොවන නිසා පළාත් පාලන ආයතන ඡන්දය කල් දැමීමට තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ සහාය නොලැබීම අවසානයේ මෙම ඡන්දය කරළියට ඒමට හේතු වී ඇත. දැන් ඡන්ද කොමසාරිස්වරයාගේ වචනවලින්ම කියනවා නම් පිටිය සූදානම්ය. සියලු දෙනාම දැන් තරගයට සූදානම් විය යුතුය.
"යුද කලාව" නමැති ලෝ ප්‍රකට ග්‍රන්ථය ලියූ චීන දාර්ශනික "සන් සූ" මෙසේ කියා ඇත.

"ඔබ ඔබවත් ඔබගේ සතුරාවත් දෙදෙනාම නොහඳුනන්නේ නම් සෑම සටනකින්ම ඔබ ලබන්නේ නිසැක පරාජයයි. ඔබ ඔබව හඳුනාගෙන සිටියත් ඔබ සතුරා නිවැරැදිව හඳුනාගෙන නැත්නම් දිනන හැම සටනකින්මද ඔබ පරාජය ලබනු ඇත. ඔබ ඔබේ සතුරාවත් ඔබවත් දෙදෙනාම හොඳින් හඳුනන්නේ නම් ඉදිරියේ මුහුණ දෙන්නට වන සටන් සියයක ප්‍රතිඵල ගැනවත් ඔබ බිය විය යුතු නැත."

මෙය පළාත් පාලන ඡන්දයට සූදානම් වන සැබෑ විපක්ෂයට ඉතා වැදගත් පණිවුඩයකි.
2015 ජනවාරි මස පැවැති ජනාධිපතිවරණයෙන් පසු පැහැදිලිවම එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ දෙදරවීමක් ඇති විය. ඒ එක්සත් ජාතික පක්ෂය සමඟ නව ජනාධිපතිවරයා පිහිටුවාගත් සම්මුති ආණ්ඩුවට එකඟ හා එයට එරෙහි කණ්ඩායම් වශයෙනි. සම්මුති ආණ්ඩුවට එරෙහි කණ්ඩායම කළේ නුගේගොඩින් ඇරැඹි මහින්ද සුළඟ හරහා යළිත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව දේශපාලනයට කැඳවා ඔහු වටා ඒකරාශි වූ බලවේගයක් ගොඩනැඟීමයි. ප්‍රතිපත්තිමය වශයෙන් මෙම කණ්ඩායම රනිල් වික්‍රමසිංහ, මෛත්‍රිපාල සිරිසේන, චන්ද්‍රිකා කුමාරතුංග, ආර්. සම්පන්දන්, අනුර කුමාර යන අය ඍජුව හා වක්‍රව නායකත්වය දුන් සම්මුති ආණ්ඩුවට විරුද්ධ වූහ.

2015 අගෝස්තු මාසයේ පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දීමේදී මහින්ද රාජපක්ෂ වටා ඒකරාශි වී සිටි කණ්ඩායම මුහුණ දුන්නේ උභතෝකෝටික ප්‍රශ්නයකටය. ඒ එවන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට පත්ව සිටි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සමඟ එක්ව ඡන්දයට ඉදිරිපත් වනවාද වෙනමම තරග කරනවා යන්නයි.
මහින්ද රාජපක්ෂට මේ අවස්ථාවේ තීරණයක් ගැනීමට බලපෑම් කළ කණ්ඩායම් අතර ඒ වන විටත් සම්මුති ආණ්ඩුව තුළ රැඳී සිටි සන්ධාන ප්‍රබලයන් හා සම්මුති ආණ්ඩුවට සම්පූර්ණයෙන්ම විරුද්ධ කොටස් අතර විශාල කඹ ඇදිල්ලක් සිදු විය. සම්මුති ආණ්ඩුවට සම්පූර්ණයෙන්ම විරුද්ධ කණ්ඩායමේ ප්‍රබල හඬවල් වූයේ දේශපාලනඥයන් නොවන විද්වතුන් පිරිසකි. මෙහිදී මහින්ද වටා සිටි බොහෝ දේශපාලනඥයන් සිටියේ වැනෙන ස්ථාවරයකය. එසේම පසුගිය ආණ්ඩුවේ ප්‍රබල තනතුරු දරා එම තනතුරු අහිමි වී සිටි සමහරු සිටියේ කෙසේ හෝ ආණ්ඩුවක් පිහිටුවා යළි තම තනතුරු ලබාගැනීමේ අපේක්ෂාවෙන් මිස යම්කිසි දේශපාලන මතවාදයක පිහිටා නොවේ.
මහින්ද රාජපක්ෂට පෞද්ගලිකව තිබුණ ගැටලුව වූයේ තනිවම මැතිවරණයකට මුහුණ දීමට අවශ්‍ය යාන්ත්‍රණය නොමැති වීමයි. ඒ නිසා ස්ව තීරණයට වඩා බහුතරයට සවන්දීමට ඔහුට සිදුවන්නට ඇත.

අවසානයේ ජයගත්තේ තම ප්‍රතිපත්ති මත පිහිටා ආණ්ඩුවක් පිහිටුවන්නට උත්සාහ කොට පැරැදී විපක්ෂයට ගියත් කමක් නැතැයි තර්ක කළ, විද්වතුන් බහුතරයකින් සමන්විත කණ්ඩායමේ මතය නොව, කෙසේ හෝ හැකි ඉක්මනින් යළි බලය ලබා ගැනීම සඳහා යකා සමඟ හෝ සන්ධානගත විය යුතු යැයි සිතූ කණ්ඩායමේ මතයයි.
2015 මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ හා ඔහුගේ කණ්ඩායම සිරිසේන නායකත්වය දරන සන්ධානය යටතේ තරග කරන්නට එකඟ වන්නේ ඒ අනුවය. එය ඓතිහාසික වරදක් බව මැතිවරණය තුළදීම ඔප්පු වූයේ දිගින් දිගටම ජයග්‍රහණයට අකුල් හෙළමින් සන්ධාන නායකයා ක්‍රියා කළ ආකාරයත්, ආසන 95ක් දිනාගත් පසු ජාතික ලැයිස්තුව අවභාවිත කරමින් පරාජිතයන් පිරිසක් පාර්ලිමේන්තුවට ගෙන්වාගෙන යළිත් රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය සමඟ සම්මුති ආණ්ඩුවකට ගොස් ජනවරම පාවා දුන් ආකාරයෙනුත්ය.

"යුද කලාව" ලියමින් "සන් සූ" දාර්ශනිකයා කී "ඔබ ඔබව හඳුනාගෙන සිටියත් ඔබ සතුරා නිවැරැදිව හඳුනාගෙන නැත්නම් දිනන හැම සටනකින්මද ඔබ පරාජය ලබනු ඇත." යන්නට තව උදාහරණ කුමටද?

පළාත් පාලන ඡන්දයට දින නියමවීමත් සමඟම වර්තමාන දේශපාලනයේ ඒ ඒ පක්ෂවලට හා කණ්ඩායම්වලට ඇති ඡන්ද පදනම උරගා බලන්නට වසර 2 1/2 කට පසු යළිත් අවස්ථාවක් ලැබී ඇත. මෙම ඡන්දය ඉතා වැදගත් ඡන්දයක් වන්නේ එහි ප්‍රතිඵලය රටේ අනාගත දේශපාලන ප්‍රවණතාවන්ට ඍජුවම බලපානු ඇති බැවිනි. මෙහිදී බරපතළම අර්බුදය තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදී වෙන්වී සිටින කණ්ඩායම් දෙකටයි. මැතිවරණයේ ප්‍රතිඵලය අනාගත පක්ෂ නායකත්වයට විශාල බලපෑමක් එල්ල කරනු නිසැකය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මේ වන විට සිටින්නේ පඹගාලක පැටලී බව පැහැදිලිවම පෙනී යන්නේ මෑත කාලීනව ඔහුගේ කතාවලට සවන් දෙන විටය. වෙනදාටත් වඩා රජයේ තීරණවල වගකීමෙන් මිදෙන්නට ඔහු උත්සාහ කරන ආකාරයත් සියලු වැරැදි අනුන් පිට පටවා නිදහස් වන්නට උත්සාහ කරන ආකාරයත් පැහැදිලිවම පෙනී යයි. තෙල් අර්බුදය මීට ඉතා හොඳ උදාහණයකි. රටේ විශාල අර්බුදයක් ඇති වූ අවස්ථාවක රටේ ජනාධිපතිවරයා "ෂෙඩ්වලට පෙට්රල් ගහන්නේ මමද" කියා ඇඟ බේරා ගැනීමට උත්සාහ කිරීම ආණ්ඩුවට අනුමත කළ හැකිද? මේ ප්‍රශ්නයම අගමැතිවරයා හා ඛනිජ තෙල් ඇමැතිවරයාටද අසන්නට පුළුවන. ප්‍රසිද්ධියේ එසේ නොඇසුවත් ඔවුන්ද මේ වන විටත් වරද අනුත් මත පටවා අවසන්ය. අවසාන ප්‍රතිඵලය නම් රටේ කිසිදු ප්‍රශ්නයකට වගකිව යුත්තෙක් නැතිවීමය.

මෙය වර්තමාන සම්මුති ආණ්ඩුවේ පොදු ලක්ෂණයකි. වැඩට වඩා විවේචනයට ප්‍රසිද්ධ සමහර ඇමැතිවරුන් මයික්‍රෆෝන් ඉදිරිපිට සිටගෙන තමුන්ගේම අමාත්‍යාංශයට පස් පඩංගුවේ බැන වදිනු අසා සිටින පුරවැසියන් හොල්මන් වන්නේ මේවාට වගකිව යුත්තේ කවුරුන්දැයි සිතාගත නොහැකිවය. ඇමැතිවරුන් වගකීමෙන් පැනගොස් අවසානයේ වගකීම තම කරපිටට එන්නට ඉඩ ඇති නිසා නිලධාරීහුද කිසිදු වගකීමක් පිළිනොගන්නට ප්‍රවේසම් වෙති. ආණ්ඩුව අකාර්යක්ෂම වී රට එකතැන පල්වන්නට පටන් ගෙන තිබෙන්නේ මෙහි ප්‍රතිඵලයක් වශයෙනි.

ආණ්ඩුවේ අකාර්යක්ෂමතාව පිළිබඳ ඉතා හොඳ විග්‍රහයක් පසුගියදා ඒකාබද්ධ විපක්ෂයේ බන්දුල ගුණවර්ධන මහතා විසින් පළකරන ලද අයවැය යෝජනා - මිත්‍යාව සහ යථාර්ථය යන පොතේ දක්වා ඇත. දත්ත සහිතව එහි පෙන්වා ඇත්තේ වත්මන් ආණ්ඩුව ඔවුන්ගේම අය- වැය යෝජනා ක්‍රියාත්මක කිරීමේදී මොන තරම් අසාර්ථකද යන්නයි.
උදාහරණ ලෙස 2016 වසරේ අය-වැයෙන් වෙන කළ ප්‍රතිපාදන කිහිපයක් සලකා බලමු.

අධ්‍යාපනයට වෙන් කළ මුදල රුපියල් බිලියන 203. ඇත්තෙන්ම වියදම් කළ මුදල රුපියල් බිලයන 65. ප්‍රගතිය 32%.
මෙගා පොලිස් අමාත්‍යාංශයට වෙන් කළ මුදල රුපියල් බිලියන ඇත්තෙන්ම වියදම් කළ මුදල රුපියල් බිලියන 13. ප්‍රගතිය 44%.
මහවැලි සංවර්ධන හා පරිසරය සඳහා වෙන් කළ මුදල රුපියල් බිලියන 69. ඇත්තෙන්ම වියදම් කළ මුදල රුපියල් බිලියන 45. ප්‍රගතිය 66%.
විදුලි සන්දේශ යටිතල පහසුකම් දියුණුවට වෙන් කළ මුදල රුපියල් මිලියන 1,577. ඇත්තෙන්ම වියදම් කළ මුදල රුපියල් මිලියන 996. ප්‍රගතිය 63%.
වාරිමාර්ග හා ජල සම්පත් සංවර්ධනය සඳහා වෙන් කළ මුදල රුපියල් බිලියන 30. ඇත්තෙන්ම වියදම් කළ මුදල රුපියල් බිලියන 18. ප්‍රගතිය 62%.
ක්‍රීඩා සංවර්ධනය සඳහා වෙන් කළ මුදල රුපියල් බිලියන 3.4. ඇත්තෙන්ම වියදම් කළ මුදල රුපියල් බිලියන 2.4 ප්‍රගතිය 70%.

ඉදිකිරීම් හා නිවාස සඳහා වෙන් කළ මුදල රුපියල් බිලියන 5.3. ඇත්තෙන්ම වියදම් කළ මුදල රුපියල් බිලියන 3.9. ප්‍රගතිය 75%.
2016 සමස්ත අය-වැය ප්‍රතිපාදන වූ රුපියල් බිලියන 3898න් ඇත්තෙන්ම රජය වියදම් කර ඇත්තේ රුපියල් බිලියන 3106කි. අයවැය උෟන අපයෝජනය රුපියල් බිලියන 792කි.

ඒ සුළුපටු මුදලක් නොවේ. ඉන් පැහැදිලිවම පෙන්වන්නේ වත්මන් ආණ්ඩුවේ වගකීම් ඉටුුකිරීමෙහිලා මොනතරම් අකාර්යක්ෂම ද යන්නයි. සැලසුම් හා ඒවා ක්‍රියාවට නැංවීම අතර විශාල පරතරයක් තිබෙන බවයි.

පසුගියදා මුදල් ඇමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද 2018 අය-වැයෙන් රජයේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 2,316 දක්වා ඉහළ නංවා ගැනීමේදී 2014ට සාපේක්ෂව සමස්ත බදු ආදායම රුපියල් බිලියන 984කින් ඉහළ නංවාගෙන ඇති බව පෙනී යයි. මින් රුපියල් බිලියන 623ක්ම භාණ්ඩ හා සේවා මත බදුය.
රජය එක පැත්තකින් ජනතාවට බදු බර පටවමින් ආදායම වැඩිකර ගන්නා අතර රජයේ පුනරාවර්තන විදයම් අධික ලෙස ඉහළ ගොස් ඇති බව පෙනී යයි. 2014ට සාපේක්ෂව රජයේ පුනරාවර්තන විදයම් රුපියල් බිලියන 868කින් හෙවත් 62%කින් ඉහළ ගොස් ඇත.

පසුගිය ආන්ඩුව තමුන්ට අධික ණය බරක් ඉතුරු කොට ඇතැයි දිවා රෑ කියන ආන්ඩුවක් ආර්ථික කළමනාකරණය කළ යුත්තේ මෙලෙසද? නාස්තිය අඩු කරනවා යැයි කයිවාරු ගසා බලයට ආ ආන්ඩුව 62%කින් තම එදිනෙදා වියදම් ඉහළදා ගැනීම ජනතාවට පිළිගත හැකිද?

කෙසේ වෙතත් මේ ආණ්ඩුවම යම් පණිවුඩයක් දීමේ අවස්ථාවක් ජනවාරි මාසයේ උදාවනු ඇත. එම අවස්ථාව බුද්ධියෙන් විමසා ප්‍රයෝජනයට ගැනීම ජනතාව සතු වගකීමකි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්