බියර් අරක්කු සහ කසිප්පු

  👤  3597 readers have read this article !
2017-11-15

මෙරට සැලකිය යුතු පිරිසකගේ අදහස වන්නේ මත්පැන් බීම අපරාධයක් බවය. ගව මස් කෑම හා මාළු කෑම අතර වෙනසක් දකින්නෝ අරක්කු හා බියර් අතර වෙනසක් නොදකිති. එල්ටීටීඊය තුරන් කළොත් රට දිව්‍ය ලෝකයක් වේ යැයි ඇතැමුන් සිතුවා සේ මත්පැන් මෙරටින් තුරන් කළ දවසට රට සුඛිත-මුදිත වනු ඇතැයි සිතන්නෝද සිටිති.

රටේ අපරාධ වැඩිවීමට හේතුව දහම් පාසල් නොයෑම හා මත්පැන් බීම යැයි සමහරුන්ගේ මතය වී තිබේ. ඇතැමුහු ඊට ගව මස් කෑමද එකතු කරති. එහෙත් අපරාධ වැඩිවීමට, ගැටුම් ඇති වීමට, ප්‍රධාන වගකිවයුත්තන් සුදු අඳින මහත්වරුන්ගේ මජර කටයුතු බව සමහරු නොදනිති. දන්නාඅය ඒ බව අමතක කර දමති.

ලෝකයේ රටවල මෙන්ම මෙරටද මත්පැන් සංස්කෘතියක් තිබේ. එහෙත් ඒ සංස්කෘතිය නොදියුණුය. දියුණු සංස්කෘතියක් ගොඩනඟා ගැනීම කෙසේ වෙතත් බෞද්ධාගමිකයන් බහුතරයක් සිටින රටක් වුවද මත්පැන් සංස්කෘතියෙන් ගැලවී යෑමට අපට හැකිවී නැත. "මතට තිත" නමින් සංකල්පයක් හඳුන්වා දුන් ඉකුත් ආණ්ඩුවටත් මතින් තොර රටක් සංකල්පයක් හඳුන්වා දී ඇති පවතින ආණ්ඩුවටත් මත්පැන් පානය වැළැක්වීම කළ නොහැකි වී ඇත. මත්කුඩු ජාවාරමද මර්දනය කිරීමට ඉඩ ලැබී නැත. බාර් ලයිසන් වැඩියෙන්ම ඇත්තේ මන්ත්‍රිවරුන්ට වීමෙන් පෙනෙන්නේද මේ සංස්කෘතියේ බලවත්කමය.

මත්පැන් ගැන සංවාදය අලුත්වී ඇත්තේ මෙවර අය - වැයෙන් බියර් මිල අඩු කර අරක්කු මිල වැඩි කිරීම නිසාය.
මේ යෝජනාවේ අරමුණ ජනතාව සැර වැඩි මත්පැන්වලින් දුරස් කිරීම බව මුදල් ඇමැතිවරයා පැවසුවද මෙගා පොලිස් ඇමැතිට අනුව ඉන් සිදුවන්නේ තරුණ පරපුර බියර් බීමට යොමු වීම. බියර් මිල නොව අඩු කළ යුත්තේ ගල් අරක්කු මිල බව කම්කරු ඇමැතිවරයාගේ අදහසය. "කසිප්පු" වැනි සැර අධික මත්පැන්වලින් මත්ලෝලින් මුදා ගැනීමට ඉන් යම් දායකත්වයක් ලැබේ යැයි ඔහුගේ විශ්වාසය වී ඇත.

වස මුසු භෝජන පරිභෝජනය කරන රටක පානය කරන බීම වර්ගවලටද වස මිශ්‍ර වී ඇත. ඒ අතර මත්පැන් හෙවත් අරක්කු තිබෙන්නේ ඉදිරියෙන්මය. අරක්කු කියා වැඩියෙන්ම බොන්නේ එතනෝල්ය. බියර්ද බොහෝ විට ප්‍රමිතියට නැත. බීමට පිරිසුදු රා ඇත්තේ අඩුවෙනි. බොහෝ දේවල්වලට ප්‍රමිතියක් නැති රටේ අරක්කුවලටයම් ප්‍රමිතියක් අත්‍යවශ්‍ය වී ඇත. සැර වැඩි අරක්කු වෙනුවට සැර අඩු අරක්කු හෙවත් මත්පැන් බීමට පිරිස් පෙලඹිය යුතුය.

බියර් මිල අඩු කිරීම හොඳද නරකද යන සංවාදය පසෙක තබා අවධානය යොමු කළ යුත්තේ ප්‍රායෝගික විසඳුමකටය.
කසිප්පු හෙවත් නීති විරෝධී අරක්කු බීම ඉහළ ගොස් ඇත්තේ ගල් අරක්කු මිල දරාගත නොහැකි ලෙස වැඩි කිරීම නිසාය. දහජරාව දමා පෙරන කසිප්පු බිව්වත් එතනෝල් වැඩි "අරක්කු" බිව්වත් එතරම් වෙනසත් නැත."මත්පැන් බීම" වළක්වා ගැනීමට ධර්මානුකූලව හා සෞඛ්‍යානුකූලව විවිධ පියවර ගැනීම කළ යුතුය. ඒ සඳහා "මතින් තොර රටක්" සමඟ එකතු වී හෝ තනි තනිව හෝ කටයුතු කිරීමේ වරදක් නැත. ගිහි - පැවිදි කාටත් ඒ අයිතිය තිබේ.

ලෝකයේ අති බහුතරය සැර අඩු මත්පැන්වලට යොමුවී සිටියදී මෙරට බහුතරය සැර වැඩි මත්පැන්වලට යොමු වෙමින් සිටිති. ලෝකයේ අරක්කු පරිභෝජනය 31% වෙද්දී මෙරට 85%කි.

එහෙත් ලංකාවේ බියර් පරිභෝජනය 13%ක් වන අතර වයින් පරිභෝජනයේ 2%ක් පමණි. ලෝකයේ බියර් පරිභෝජනය සාමාන්‍ය 41%කි. වයින් පරිභෝජනය 27.7%ක් වේ. මත්පැනින් සමාජය විනිර්මුක්ත කිරීමගැන කල්පනා කිරීමට පෙර මේ අයහපත් තත්ත්වයෙන් පළමුව සමාජය මුදා ගත යුතුය.

සුචරිතවාදී කෝණයකින් "අරක්කු" ප්‍රශ්නය දෙස බැලීමේ වරදක් නැතත් ඉන් ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නැත. යථාර්ථවාදීව මේ දෙස බලා කටයුතු කළ යුතුය. සැර වැඩි මත්පැන් පරිභෝජනය වැළැක්වීමට ඉඩ නොදෙන අරක්කු මාෆියාව පළමුව හඳුනා ගැනීම අවශ්‍යය. එතනෝල් අරක්කු නිෂ්පාදකයන් මුදල් ඇමැතිවරයාට අල්ලස් දීමට වෑයම් කර ඇත්තේ කුමක් නිසාදැයි අවධානයට ගත යුතුය. ඇත්ත වශයෙන්ම බියර් මිල අඩු කිරීමෙන් කලබල වී ඇත්තේ කසිප්පු මුදලාලිලා නොව වල් අරක්කු මුදලාලිලාය. මේ බියර් සහ අරක්කු ප්‍රශ්නයේදී අවබෝධයෙන් යුතුව පිළිතුරු සෙවිය යුතු බව පමණක් දැනට ලියා තැබීම ප්‍රමාණවත්ය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්