සිරිසේන - රනිල් ආණ්ඩුව රට ණය උගුලක හිර කළා

  👤  3947 readers have read this article !
2017-11-17

'ශ්‍රී ලංකාවේ ණය බර වැඩි වී, රට දැන් ණය උගුලක හිරවෙලා. රට ණය උගුලක හිර කළේ සිරිසේන - රනිල් රජයයි. ඊට ප්‍රධාන වශයෙන් බැඳුම්කර සිද්ධිය බලපෑවා' යැයි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ (එජනිස) පැවැසීය.

'ණය ගත්තත් කිසිදු සංවර්ධන කටයුත්තක් අද දකින්න නැහැ. අද ග්‍රාමීය සංවර්ධනය අඩපණ වී ගොස් තිබෙනවා.'
'ආණ්ඩුව රටේ රාජ්‍ය සම්පත් විකුණමින් සිටිනවා. සියලු දේ කුණු කොල්ලයට බදු දෙනවා. රටේ ණය උගුලක් ඇති කළේ කවුද? වැදගත් වන්නේ ණය ගැනීම නොවේ. ණය ආපසු ගෙවීමේ හැකියාවයි.'

'මේ අය - වැයෙන් රටට ප්‍රතිලාභයක් අත් වී නැහැ. දැනටමත් බදු දෙගුණ කරලා. ඉදිරියේදී තවත් බදු ඉහළ යාවි. ජනතාව බදු බරින් මිරිකී සිටිනවා.'
'ජනතාව මතට බදු හා දඩමුදල් වැඩිකර ජනතාවගේ සාක්කුවෙන් මුදල් සූරා ගැනීම ජයග්‍රහණයක් හැටියට මේ රජය සලකන බව පේනවා. ඒක මහ හපන්කමක් නොවේ'
'මේ රජය ජනතාවට සේවයක් නොකළත් ඇමැතිවරුන්ට නම් අලුතින් වාහන ලබා දෙනවා. මත්තල ගුවන්තොටුපොළ විකුණා ලබාගත් මුදලටත් වඩා වැඩි මුදලක් ගෙවා පරණ නැවක් මිලදී ගත්තා. රජය මේ කරන්නේ රටේ ආර්ථිකය විනාශ කිරීමයි. බැඳුම්කර මගඩිය නිසා රටට අහිමි වූ ධනය සුවිශාලයි.'
'අද ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන අය හිරේට දමනවා. පහර දෙනවා. මේක කනගාටුදායක තත්ත්වයක්. බෞද්ධ භික්ෂුන් වහන්සේ පවා සිරගත කරලා. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සිරගත කරනවා.'
'මේ රටේ ඉඩම් විදේශිකයන්ට කුණු කොල්ලයට මිලදී ගැනීමට අවස්ථාව සලසා තිබෙනවා. මෙය බරපතළ ගැටලුවක්.'
'මේ රජය කරන්නේ ජාතික සම්පත් විකුණා දැමීමයි. ඊට විරුද්ධව නැඟෙන ජනතා විරෝධය මේ ආණ්ඩුව තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැහැ. ජනතාවගේ අනුමැතියක් නොමැතිව රාජ්‍ය සම්පත් මේ අන්දමට විකුණා දැමීම බරපතළ වරදක්.'
'එසේ විකුණා දැමූ සම්පත් යළිත් ජනතාකරණය කිරීමට ජනතාව පියවර ගනීවි.'

'මේ රජය ණය කන්දක් ගැන නිතරම කතා කරනවා. අපේ රජය මේ රට ණය උගුලක සිරකළා කියා ඔවුන් අපට චෝදනා කරනවා. ඒ කරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නැහැ.'
'මේ හවුල් ආණ්ඩුව ලබාගත් මුදල්වලින් කුඩා පිහිනුම් තටාකයක්වත් හදල නැහැ. එසේ වීමට බැඳුම්කර සිද්ධිය හේතුවූවා දැයි සිතිය හැකියි.'
'රටේ උද්ධමනය හා ජීවන වියදම අහස උසට ඉහළ නැඟලා. බැඳුම්කර මගඩියෙන් මුළු රටම වෙළාගෙන ඉවරයි. මේ මගඩියේ අයහපත් ප්‍රතිඵල අනෙක් කටයුතුවලටත් අද හේතු වී තිබෙනවා. ජනතාව මතට පීඩනය දෙමින් ලබන වසරේ බදු බරක් ලබාදීමට රජය කටයුතු කර තිබෙනවා. බැඳුම්කර පාඩුව බිලියන 1,000ක් කියල රජයේ අයම කියනවා.' ඇත්ත පාඩුව බිලියන 1,500ක් බවයි අපේ අදහස.

'රැකියා ලබාදෙන බවට ප්‍රකාශ කළත් රැකියා ලබාදීලා නැහැ. අපේ රටේ ආර්ථික පසුබෑම ඔස්සේ සේවා නියුක්තිය තවදුරටත් පහළ වැටිලා. ඔවුන් චීන ආයෝජන නවත්වන බව පෝට් සිටි ව්‍යාපෘතිය ගැන කතා කරමින් කියා සිටියා. අපේ රජය යටතේ මෙරටට පැමිණීමට තිබූ ආයෝජන සියල්ල පිළිබඳ ඔවුන් විරුද්ධ මත ප්‍රකාශ කළා. මේ නිසා රටට ගලා එමින් තිබුණු ආයෝජන ප්‍රතික්ෂේප වුණා.'
'මේ රජය වොක්ස්වැගන් කර්මාන්තශාලාවක් ගෙන එන බව ප්‍රකාශ කළා. අද ඒ සියල්ල අසාර්ථක වී තිබෙනවා. බොරුවෙන් රට ගෙනයා නොහැකි බව රටේ ජනතාව තේරුම් අරගෙන තිබෙනවා.'

'ශ්‍රී ලංකාව දැන් ගොදුරු වී තිබෙන ණය බරින් බේරීම අපහසු වෙලා. ජාත්‍යන්තර ණය ශේ්‍රණිවලින් පහළ වැටිලා. අපි අපේ රජය යටතේ රට පාවාදුන්නේ නැහැ. නමුත් අපි රට සංවර්ධනය කළා. ජනතාවගේ සහනාධාර අපි කප්පාදු කෙළේ නැහැ.'

'ශ්‍රී ලංකාවේ ආර්ථිකය පහළ වැටී ඇති බව අද ජාත්‍යන්තරයද පිළිගෙන අවසන්. නීතියේ ආධිපත්‍ය කඩා වැටිලා. අද වන විට රටේ ආර්ථිකය භයානක තත්ත්වයට පත්ව තිබෙනවා.'

'මේ දූෂිත හා අදක්ෂ පාලකයන් ඉතා ඉක්මනින් ඉවත් කළ යුතුයි. ඡන්දය කල්දැමීමට අපි කිසිදු ආකාරයකින් කටයුතු කළේ නැහැ.'

මද්‍යසාර සාන්ද්‍රණය අනුව මත්පැන් සඳහා බදු පැනවීම හොඳ යෝජනාවක් බව මහාමාර්ග රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා පැවැසීය.
මංගල සමරවීර ඇමැතිතුමාගේ අය - වැය ජය මංගල අය-වැයක්. මේ අවුරුද්දේ වැඩිම ණය වාරිකය ගෙවන්න සිදුවී තිබෙනවා. මීට පෙර ආණ්ඩු ඒකට හේතු වෙනවා. මෙවර අය-වැයේ හොඳ යෝජනා තිබෙනවා.

අප රටේ සෘජු හා වක්‍ර බදු අතර පරතරය අඩු කළ යුතුයි. වර්තමාන සම්මුති ආණ්ඩුව ජාත්‍යන්තරය සමඟ කටයුතු කිරීමේ නිසි පිළිගැනීම දිනාගෙන තිබෙනවා. ජාත්‍යන්තරය තුළ අප රට ගැන පැවැති අප්‍රසාදය ඉවත්ව තිබෙනවා.

මේ අය - වැය මද්‍යසාර සඳහා සාන්ද්‍රණයට අනුව බදු ගහන්නයි යෝජනා කළේ. මේ අය-වැයේ වැරැදි හුඟක් නැහැ. ඒ නිසයි බියර් ගැන කතාවක් අරන් තියෙන්නේ. මත්පැන්වලට මද්‍යසාර සාන්ද්‍රණය අනුව බදු ගහන එක හොඳයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්