දළදා වහන්සේ රැකගත් කීරවැල්ල පරම්පරාවේ සැඟවුණු රහස් එළියට

  👤  6390 readers have read this article !
2017-11-19

පෙර රජ දවස සිංහල රාජ නීතියට අනුව ලක්දිව රාජ්‍යයේ උරුමකරු උභයකුල පාරිශුද්ධ පරම්පරාවකින් පැවැත එන රාජකීයකු විය යුතු අතර එම උරුමකරු දළදා වහන්සේගේ උරුමකරුද විය යුතු බව ඉතිහාසය පිරික්සන විට දත හැකිය. කාලිංගයේ සූරිය වංශික ගුහසීව රජුගේ දියණි හේමමාලා කුමරියත් කාලිංගයේ උදේනි රජපුත් දන්ත කුමරුත් විසින් කාලිංග දේශයේ සිට ශ්‍රී දන්තධාතූන් වහන්සේ ලක්දිවට වැඩම කරන ලද අතර ඔවුන් දෙදෙනාගේ දරු පරපුර දළදා වහන්සේගේ භාරකාරත්වය ඇතිව විසූ ක්ෂත්‍රීය වංශිකයෝ වූහ. මේ නිසා පසුකාලීන බොහෝ රජවරුන් දන්ත කුමාර පරපුරේ කුමාරිකාවන් අග්‍ර මහේෂිකාවන් කළ අතර ඔවුන්ගේ ලත් පුතුණුවන් මෙරට ඔටුනු පැලඳීමට සුදුස්සන් බව ඉතිහාසයේ සඳහන්ය.

රාජධානි ගණනාවක රාජ පරම්පරා ගණනාවක රජවරුන් මෙරට රාජ්‍ය පාලනය ගෙන ගියද එම කාලපරිච්ඡේදය පුරාම ශ්‍රී දළදා වහන්සේ දිවි පරදුවට තබා රැකගත්තේ දන්ත, හේමමාලා දරු පරපුරෙන් පැවැත එන කීරවැල්ල රජ පරම්පරාව වේ. එසේ වුවද රජවරුන්ට බිසෝවරුන් සපයමින් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ දිවි පරදුවට තබා රැකගත් එම කීරවැල්ල රාජකීය පරපුර ක්‍රි.ව. 1739දී සිංහල රාජධානියේ අවසානයත් සමඟම කාලයේ වැලිතලාවෙන් යටපත්ව ගොස් ඇත. එම රාජකීය පරපුරට අත් වූ ඉරණම කුමක්ද? මෙම පරපුර වඳ වී ගියේද? නැතහොත් එම පරපුරේ සමාජ තත්ත්වය අකෘතඥ රජුන් අතින් අහිමි කරනු ලැබීද යන්න පිළිබඳව ඉතිහාසයේ නොලියවුණු රහසක් වී ඇත.
දන්ත ධාතූන් වහන්සේ ලක්දිවට වැඩම කරන ලද දන්ත කුමරු සහ හේමමාලා කුමරිය පිළිබඳ අප සියලු දෙනාම ඉමහත් ගරුත්වයකින් යුතුව කතා කළද ඔවුන්ගෙන් පැවැත එන කීරවැල්ල රාජකීය පරම්පරාවේ අතීත තොරතුරු, වර්තමාන තොරතුරු හෝ එම රාජකීය පරපුරට අත් වූ ඉරණම පිළිබඳව අප කිසිවකුගේ අවධානය යොමු නොවූ තරම්ය. සිංහල රාජධානියේ අවසානයත් සමඟ මොවුන් පිළිබඳව කිසිදු තැනක සඳහන් නොවුණද මෙම පරපුරෙන් පැවැතෙන්නෝ දළදා මාලිගාවට කිසිදු සම්බන්ධයක් නොමැතිවත් අද දක්වාම ජීවත් වෙති. තමන් එම පරපුරේ බව පවා ඔවුන් බොහෝ දෙනෙක් නොදනිති. අපගේ මේ වෑයම සකල ලංකාවාසී සියලු දෙනාගේ අවධානයෙන් ගිලිහී ගිය කීරවැල්ල රාජකීයයන්ගේ වර්තමාන පරපුර පිළිබඳ තවදුරටත් කාලයේ වැලිතලාවෙන් වැසී යෑමට නොදී ඒ පිළිබඳ තොරතුරු රටට හෙළි කිරීමය.

බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් අනතුරුව ශ්‍රී දේහය ආදාහනය කළ අතර ඉන් ශේෂ වූ ධාතූන් වහන්සේදඹදිව රජ කළ නොයෙක් රාජ්‍යයන්හි රජ දරුවන් විසින් බෙදා හදා ගන්නා ලදී. එම අවස්ථාවේදී ඛේම නමැති රහතන් වහන්සේ බුදුන් වහන්සේගේ වම් දළදා වහන්සේ ලබාගෙන එය එවකට දඹදිව කලිඟු රට පාලකයන් අතට පත් කළහ. එවක පටන් දළදා වහන්සේ මහත් පුදසරින් රැක බලා ගැනීම එම වංශයේ රජුන් විසින් අඛණ්ඩව සිදු කරන ලදී. කාලයාගේ ඇවෑමෙන් ගුහසීව නම් රජ කෙනකු එම පරපුරේ රාජ්‍යත්වයට පත්වූ අතර එම යුගයේ පාණ්ඩ්‍ය දේශයේ රජු විසින් දළදා වහන්සේ විනාශ කිරීමට උත්සාහ කරනු ලැබීමේ ප්‍රතිඵලයක් ලෙස දන්ත ධාතුව සතුරු ආක්‍රමණවලින් ආරක්ෂා කිරීමේ අරමුණින් කාලිංගයේ සූරිය වංශික ගුහසීව රජුගේ දියණි හේමමාලා කුමරියත් කාලිංගයේ උදේනි රජ පුත් දන්ත කුමරුත් වෙස් ගන්වා ඔවුන් අත වම් දළදා වහන්සේ ලක්දිව විසූ තම මිත්‍ර කිත්සිරිමෙවන් රජු වෙත එවූ බව ඉතිහාසයේ සඳහන්ය.

දළදා වහන්සේගේ ආරක්ෂාව පතා තම රාජ්‍යය වෙත එවන ලද බව අසා ඉතාමත් සතුටට පත් කිත්සිරිමෙවන් රජු දළදා මන්දිරයක ශ්‍රී දළදා වහන්සේ තැන්පත් කරවා පුද පූජා කළ අතර දන්ත-හේමමාලා යුවළට වර්තමානයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි බෙලිගල් කෝරළයේ කීරවැල්ල ජනපදය ඔවුන්ගේ පදිංචිය සඳහා ලබාදී දළදාව බලා ගැනීමට භාර කළේය. එතැන් පටන් මෙම පරපුර කීරවැල්ල පරපුර ලෙස හඳුන්වනු ලැබූ අතර එම ප්‍රදේශය කීරවැල්ල පත්තුව යන නාමයෙන් හඳුන්වා ඇත. කල්යත්ම සියලු බෞද්ධයන්ගේ අතිමහත් ගෞරවාදරයට පාත්‍ර වූ ශ්‍රී දළදා වහන්සේ ශ්‍රී ලංකා රාජ්‍යයේ රාජ්‍යත්වයේ සංකේතයක් බවට පත්විය. ලක්දිව රාජ්‍යයේ උරුමකරු උභයකුල පාරිශුද්ධ රාජකීයයකු විය යුතු බවට සිංහල රාජ නීතියක් ඇති වූ අතර දන්ත කුමරු සහ හේමමාලා කුමරිය කාලිංග වංශික ක්ෂත්‍රීයයක්් වීම හේතුවෙන් බොහෝ රජ දරුවෝ එම පරපුරේ කුමාරිකාවන් තම අගමෙහෙසුන් බවට පත්කර ගත්හ. ඒ අනුව දන්ත හේමමාලා කීරවැලි පරම්පරාව රජ දරුවන්ට අග මෙහෙසුන් සැපයූ බිසෝ පරපුරක් විය. අග මෙහෙසියගේ පියා හෝ සහෝදරයා දළදා වහන්සේගේ භාරකාරත්වය ඉසිලූ අතර ඔහු කීරවැල්ලේ මහා රාලහාමි යනුවෙන් හඳුන්වා ඇත. මේ නිසා සිංහල රාජ්‍යයත් දළදා වහන්සේත් අතර අවියෝජනීය සම්බන්ධයක් ඇති විය.

දළදා වහන්සේගේ උරුමය රාජකීය සංකේතයක් ලෙස සැලකීමට පසුකාලීන රජවරුන් හුරු වූ නිසා සතුරු ව්‍යසන, අභ්‍යන්තර කැරලි කෝලාහලවලදී දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂා කිරීමට සිදුවිය. මින්පසුව ලක්දිවට එල්ල වූ සියලු සතුරු ආක්‍රමණවලදී සහ කැරලි කෝලාහලවලදී රාජ්‍ය උරුමයේ සංකේතය අත්පත් කර ගැනීම හෝ එය විනාශ කිරීම සතුරන්ගේ ඉලක්කය වූ නිසා කීරවැල්ල පරපුරේ රාජකීයයන් විසින් එය විවිධ ස්ථාන කරා ගෙනයන ලදී.

දන්ත-හේමමාලාවන්ගෙන් අනතුරුව කීරවැල්ල පරපුරේ මුලින්ම සඳහන් වනුයේ එම දෙපළගේ පුත් වූ අනුරාධපුර රාජධානි සමයේ රජ කළ කීරවැල්ලේ දාඨාවංශ කුමරු සහ එම කුමරුගේ දේවිය වන රත්නමාලා කුමරිය පිළිබඳවය. අනතුරුව ඔවුන් දෙපළගේ පුත් ශ්‍රී නාම බණ්ඩාර කුමරු ශ්‍රී මාලා කුමරිය විවාහ කරගන්නා අතර ඔවුන් දෙපළගේ පුත් කුමරුන් වන කීරවැල්ලේ රත්නපාල බණ්ඩාර කුමරු පත්මමාලා කුමරිය විවාහ කර ගනී. එම දෙපළගේ කුමරු ශ්‍රී මල් බණ්ඩාර කුමරු වන අතර ඔහු දෙවැනි පරාක්‍රමබාහු රජුගේ මවු වන සෝමමාලා කුමරිය විවාහ කර ගනී. එම දෙපළගේ කුමරු වන රන්මල් බණ්ඩාර විසින් කීරිමාලා කුමරිය විවාහ කර ගනු ලබන අතර එම දෙපළගේ කුමරු රතනබණ්ඩාර කුමරු වේ. ඔහු රනමාලා කුමරිය විවාහ කරගන්නා අතර ඔවුන් දෙපළගේ කුමරු මහානාම කුමරු රන්තිලකා නීල කුªමරිය විවාහ කර ගනී. ඔවුන් දෙදෙනාට දියණියන් තිදෙනකු සහ එක් පුතකු සිට ඇති අතර ඉන් පුතු වූ කීරවැල්ලේ අනුරුද්ධ සිරිමාන්න කුමරු (මහරාලහාමි) උඩරට රජු වූ සේනා සම්මත වික්‍රමබාහුගේ දියණිය වන හන්තාන දේවිය හා සරණ ගොස් ඇත. මෙම කීරවැල්ලේ මහ රාලහාමිට පිරිමි දරුවන් හය දෙනකු සහ එක් දියණියක් ඉපදී ඇත.

අනුරාධපුර රාජධානි සමයේදී දන්ත-හේමමාලා යුවළ පැමිණීමෙන් පසු කෝට්ටේ යුගය දක්වා යුග පහක් ගෙවී ගියද සතුරු ආක්‍රමණවලින් පිරුණු එම යුගවලදී දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂා කළ එම රාජකීය පරම්පරාව පිළිබඳව වංශකතාවල කිසිදු තොරතුරක් සඳහන් නොවේ.

කෝට්ටේ යුගයේදී දළදා වහන්සේ භාරව කටයුතු කරන ලද්දේ කීරවැල්ලේ මහා රාලහාමි නොහොත් අනුරුද්ධ සිරිමාන්න අධිකාරම් විසිනි. හය වැනි පරාක්‍රමබාහු රජගේ මෙහෙසිය වූ රන්මැණිකේ කීරවැල්ලේ කුªමරියගේ පියාණන් වූයේ අනුරුද්ධ අධිකාරම්ය. හය වැනි පරාක්‍රමබාහු රජුට පුතුන් නොමැති වූයෙන් ඔහුගේ ස්වර්ණමාණික්‍යයා බිසවගේ සහෝදරී වූ කීරවැල්ල කුමරියගේ පුතුන් වන සපුමල් හා අම්බුලුගල කුමාරවරුන් පුත් තනතුරේ තබා රැකබලාගත් අතර අනතුරුව ඔවුහු රජ බවට පත් වූහ. එවකට ශේ‍ර්ෂ්ඨ ප¾ඩිවර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ මවු සීලවතී කුමරියද කීරවැල්ල පරපුරේ කුමාරිකාවක් වූවාය. පසුව අම්බුලුගල කුමරු අට වැනි පරාක්‍රමබාහු නමින් රාජ්‍යත්වයට පත් වූ අතර ඔහු කීරවැල්ල පරම්පරාවේ කුමාරිකාවන් දෙදෙනකු සරණපාවා ගෙන ඇත. කෝට්ටේ යුගයේ සුප්‍රසිද්ධ විජයබා කොල්ලය දිග හැරෙන්නේද තවත් කීරවැල්ල පරපුරේ කුමාරිකාවන් දෙදෙනකු හය වැනි විජයබාහු රජු විසින් බිසෝ කර ගනු ලැබීමෙනි. ඔහු පළමුව කීරවැල්ලේ අනුලා කහතුඩය කුමාරිකාව විවාහ කරගෙන තම සොයුරු පරරාජසිංහ කුමරු සමඟ එකගෙයි දීග කෑ අතර දෙවනුව ඔහු කීරවැල්ලේ කුමාරිහාමි නමින් බිසවක් සරණපාවාගෙන ඇත. රාජ්‍යත්වය සම්බන්ධයෙන් ඔවුන්ගේ දරුවන් අතර ඇති වූ යුද්ධය විජයබා කොල්ලය නම් විය. එවක මැණික් කඩවර සිටි ශ්‍රී රාජසිංහ රජුගේ මස්සිනා වූ කීරවැල්ලේ මහා රාලහාමි කෝට්ටේ දළදා භාරකාරිත්වය ඉසිලීය.

මෙකල උඩරට රජ කළ රජු ආදායම කෝට්ටේ රජුට නොදෙන බැවින් ශ්‍රී රාජසිංහද කීරවැල්ලේ රාලහාමිද එක්ව උඩරටට පහරදී උඩරට රජු යටත් කරගෙන ඇත. එහිදී ඇති වූ එකඟත්වය මත උඩරට රජුගේ දියණිය කීරවැල්ල කුමරු විසින් විවාහ කර ගනු ලැබ ඇත. මේ විවාහය නිසා ඔවුන්ට වැලි කොළේ රාලහාමි, උබ්බේරියේ රාලහාමි, වාසලගෙයි රාලහාමි, කීරවැල්ලේ රාලහාමි යන පුතුන්ද කීරවැලි බාල බිසෝ සන්තන දේවි නම් දියණියෝද උපන්හ. කෝට්ටේ යුගයේ අවසාන දළදා භාරකාරත්වය ඉසිලූ හිරිපිටියේ රාල මේ පුතුන් අතරින් අවසානව සඳහන් කළ කීරවැල්ලේ රාලහාමිගේ පුත්‍රයකු වේ.

හය වැනි පැරකුම්බා රජු සහ බුවනෙකබා රජුගේ කාලයෙන් පසු කෝට්ටේ සමෘද්ධිය පිරිහී ගියේය. බුවනෙකබා රජුගේ කාලයේදී මඟ වැරැදී ‍ෙදාන් අපොන්සුද නොරෙඤ්ඤෝ නමැති පෘතුගීසි නායකයා ලංකාවට පැමිණි අතර ඔහු බුවනෙකබා රජු සමඟ ඇති කර ගත් ගැටුමේදී රජු මරණයට පත්විය. රජුගේ මරණයෙන් පසු ක්‍රිස්තු ධර්මය වැලඳගත් රූකඩ රජකු වූ ධර්මපාල රජු රාජ්‍යත්වයට පත් වූ අතර එවකට දළදා වහන්සේ හිරිපිටියේ රාලගේ භාරකාරත්වය යටතේ කෝට්ටේ දළදා මැඳුරේ වැඩ සිටියහ.

මායාදුන්නේ රජුගේ බිසවද කීරවැල්ලේ පරපුරට අයත් බිසවක් වන අතර දළදා වහන්සේ තමා සන්තකයට පත්වීමෙන් රජු මහත් සතුටට පත්වී ඇත. මේ අවධිය වනවිටත් සීතාවක රාජධානිය නිරන්තරයෙන් සතුරු කරදරවලට භාජන වී ඇති බැවින් දළදා වහන්සේගේ ආරක්ෂාවට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව වටහා ගත් රජු හිරිපිටියේ රාල සමඟ දළදා වහන්සේ දෙල්ගමුව විහාරයට පිටත් කර හැරියේය. හිරිපිටියේ රාලගේ නිර්භීතකම නොවන්නට අද දළදා වහන්සේ සිංහල ජාතියට අහිමි වන්නට ඉඩ තිබිණි.

කෙසේ නමුදු කෝට්ටේ යුගයේ අවසානය සහ මහනුවර යුගයේ ආරම්භක සමය කීරවැල්ල පරපුරේ සමෘද්ධිමත් කාලයේ අගභාගය විය. මහනුවර ඔටුනු පැලැඳි කුමාරවරුන් දඹදිවින් නායක්කර් වංශික බිසෝවරුන් ගෙන ආ අතර එතෙක් කීරවැල්ල පරපුරේ කුමාරිකාවන් පාවා ගැනීමේ සිරිත අභාවයට ගියේය. නායක්කර් රජවරුන් බලයට පත්වීමත් සමඟම එතෙක් පාරම්පරිකව පැවැත ආ දළදා භාරකාරිත්වය හෙවත් දියවඩන නිලමේ තනතුර කීරවැල්ලේ කාලිංග වංශික නොවන වෙනත් ප්‍රභූන්ට ලැබුණු අතර කීරවැල්ල වංශ නාමය ඉතිහාසයේ තනිකරම මැකී ගියේය.

හෙට්ටිපොළ - සුදර්ශි වික්‍රමනායක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon