දඹකොළපටුන පිහිටියේ යාපනයේ සෙම්බිල්තුරේද

  👤  6446 readers have read this article !
2017-11-19

ශ්‍රී මහා බෝධීන් වහන්සේ භාරතයේ බුද්ධගයාවේ සිට ලංකාවට වැඩම කරවන ලද්දේ දේවානම්පියතිස්ස රාජ යුගයේ බව ප්‍රකට කරුණකි. මීට වසර දෙදහස් තුන්සිය දහයකට ඉහත දී සංඝමිත්තා ථෙරිය විසින් මේ ශ්‍රී මහා බෝධි ශාඛාව වැඩම කරවන ලද්දේ නැවකිනි. නැව ලංකාවේ නූතන යුගයේ යාපන දිස්ත්‍රික්කයේ සෙම්බිල්තුරේ නමැති (එදා දඹකොළ පටුන හෙවත් ජම්බුකෝල පට්ටන වරායට) ස්ථානයට ගොඩ බට බව මහාවංසයෙහි සඳහන් වේ. මේ ස්ථානය දේවානම්පියතිස්ස රාජ යුගයේදී ඉතා ප්‍රසිද්ධ වරායකි. මේ සිදුවීමට ප්‍රථමයෙන් දේවානම්පියතිස්ස රජු විසින් සිය ඇමැතිවරයා වූ මහා අරිට්ඨ කුමරු ධර්මාසෝක රජු වෙත දූත මෙහෙවර සඳහා යවන ලද ගමනේදී අරිට්ඨ කුමරු නැව් නැංගේද දඹකොළ පටුනෙන් බව වංසකතා සඳහන් කරයි. එපමණක් නොව එම අරිට්ඨ කුමරු ආපසු භාරතයේ මගධ අධිරාජයා හමුවීමෙන් පසු ගංගානම් ගඟේ මුව‍ෙදාරේ පිහිටි තාම්රලිප්ත (තම්ලුක්) වරායෙන් නැව් නැඟ ලංකාවට ගොඩබැස්සේ ද දඹකොළ පටුනෙන් බව ඉතා ප්‍රකට කරුණකි. මේ ස්ථානය කන්කසන්තුරේ අසල ඇති සෙම්බිල්තුරේ (දඹකොළ පටුන) බව කොඩ්රින්ටන් මහතා සඳහන් කරයි.

ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩමවන බව දැන සිටි දේවානම්පියතිස්ස රජු හා පිරිස ඒ වනවිටත් මේ ස්ථානයට පැමිණ (දඹකොළ පටුනට) සැපත් වී සිටියහ. ශ්‍රී මහාබෝධි ශාඛාව රැගෙන එන නැව මහ මුහුදේ එන බව දුටු දෙවැනි පෑතිස් රජු මුහුදේ කරවටක් බැස ශ්‍රී මහාබෝධි ශාඛාව ඉමහත් භක්තියෙන් පිළිගෙන ඇත. ඒ බව මහාවංසයේ සඳහන් වන්නේ මෙසේය.

'යහපත් දේහ ඇත්තා වූ මහ රජතෙම (දෙවැනි පෑතිස් රජ) සේනා සහිත වූයේ මහා ස්ථවිරයන් වහන්සේගේ ආනුභාවයෙන් ඒ ස්ථවිරයනුත් හා සමඟ එදවසම දඹකොළ පටුනට මහා බෝධිය මෙහි පැමිණීමෙහි ප්‍රීතියෙන් ඔද පත් වූයේ ලංකේශ්වර නරේන්ද්‍ර තෙම ප්‍රීති වාක්‍ය පවත්වමින් ග්‍රීවය පමණ ජලයට බැස සොළොස් කුල ජනයා සමඟ මහාබෝධිය හිසින් දරාගෙන වෙරළට නඟාගෙන යහපත් වූ මණ්ඩපයෙහි වඩා ලංකා රාජ්‍යයෙන් පිදුයෝය. නරේන්ද්‍ර තෙමේ ‍ෙදාරටුපාල තන්හි සිට තුන් දිනක් එහිම නානාවිධ පූජා කළේය.'
යාපනය ඇතුළු උතුරු ප්‍රදේශයේ අයිතිය එදා අනුරාධපුරයේ පැවැති සිංහල බෞද්ධ රාජධානියට අයත්ව නොපැවතියේ නම් මෙසේ දෙවැනි පෑතිස් රජුට එසේ දඹකොළ පටුනට ගොස් සිය රාජකාරි කටයුතු ඉටු කිරීමට අවස්ථාව ලැබේද? දෙවැනි පෑතිස් රජු විසින් ජම්බු කෝලපට්ටනයෙහි (දඹකොළ පටුන) ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගොඩ බට ස්ථානයෙහි ජම්බුකෝල විහාරයක්ද කරවන ලදී. එහෙත් එදා ගොඩ නඟන ලද ජම්බුකෝල විහාරයෙහි නටබුන් අද දක්නට නැත. ජම්බුකෝල විහාරයට අයත් වූ විහාරයක් සේ වාලුක විහාරය සැලකේ. පොළොන්නරුවේ රජ වූ පළමුවැනි විජයබාහු රජ (ක්‍රිස්තු වර්ෂ 1055-1110) විසින් ජම්බුකෝල විහාරය ප්‍රතිසංස්කරණය කළ බව මහාවංසයෙහි සඳහන් වීමෙන් ප්‍රකාශ වන්නේ යටත් පිරිසෙයින් එකොළොස් වැනි සියවස දක්වාවත් ජම්බුකෝල විහාරය පැවැති බවකි.

මෑතක් වනතුරුම මෙහි සිරිපතුල් ගලක්ද තිබිණි. සිරිපතුල් ගල් හමුවන්නේ ඉතාම පැරැණි බෞද්ධ මධ්‍යස්ථානවලිනි. දේවානම්පියතිස්ස රජ නාගදීපයේ ජම්බුකෝලයේ හෝ ඊට ඉතා කිට්ටුව තිස්ස විහාරය තැන වූ බවත්, කනිට්ඨ තිස්ස රජ (ක්‍රි.ව. 164-194) එහි වටදාගෙයක් කරවූ බවත්, වෝහාරික තිස්ස රජු විසින් මේ විහාරය වැඩි දියුණු කළ බවත් (ක්‍රි.ව. 214-236) මහා වංසයෙහි සඳහන් වී ඇත. ධාතුසේන රජු විසින්ද (ක්‍රි.ව. 477-495) ථූපවිට්ටි විහාරය සහ ධාතුසේන යන නමින් යුත් විහාර දෙකක් මේ අසල සාදවන ලදී. මේවාට අයත් නටබුන් තවම හමු වී නැත. ඉදිරි කාලයේදී මේ ස්ථානවල ගවේෂණ හා කැණීම් සිදු කිරීමේදී නටබුන් මතු විය හැකිය.

අනුරාධපුරයේ රෝපණය කරන ලද ශ්‍රී මහා බෝධි ශාඛාව දඹකොළ පටුනේ සිට අනුරාධපුරයේ මහා මෙව්නා උයන දක්වා ගමන් කළ මාර්ගය දෙපස සැරසිලිවලින් අලංකාර කර ඇත. පෙරහර එදා යාපනය දිස්ත්‍රික්කයේ සිට අනුරාධපුරයට පැමිණියේ කිසිදු බාධාවකින් තොරවය. එදා එය අනුරාධපුර රාජධානියෙහි කොටසකි. එසේ නොවේ නම් එවැනි පෙරහරක් පැවැත්වීමට ඉඩකඩ සැලසේ දැයි සිතා බලනු මැනවි. සංඝමිත්තා තෙරණින් ගොඩ බට ස්ථානයෙහි අෂ්ටඵලරූහ බෝධිවලින් එකක් රෝපණය කළ බව මහාවංසය සමන්තපාසාදිකාව, මහා බෝධිවංසය, සිංහල බෝධිවංසය, සුළු බෝධිවංසය හා චූලබෝධිවංසය ආදී ග්‍රන්ථවල සඳහන් වේ.
ශ්‍රී මහාබෝධිය මහමෙවුනා උයනෙහි රෝපණය කරන ලද උත්සවය පිළිබඳව මහාවංසය, බෝධිවංසය, ථූපවංසය ආදී වංස කතාවලත්, සමන්තපාසාදිකා වැනි අටුවා ග්‍රන්ථවලත් සඳහන් වේ.

සංඝමිත්තාබෝධිය නමින් වූ එම බෝධීන්වහන්සේ වර්තමානයේ චූලි පුරම් නමින් ප්‍රසිද්ධ වූ සුලිපුර නම් ගමෙහි පිහිටියේය. දඹකොළ පටුන නම් පැරැණි නැව් තොට පිහිටි ස්ථානය දැන් කොළඹ ගම නමින් පවතින බවත්, එය යාපනයට දකුණු දිසාවෙහි මයිල තුනකට පමණ දුරින් පිහිටා ඇති බවත් වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා පවසා ඇත.

කෙසේ වුවද ශ්‍රී මහා බෝධීන්වහන්සේ ලංකාවට වැඩම කළ බවට අද දක්වාම නිරුපද්‍රිතව අනුරාධපුරයේ මහමෙවුනා උයනේ සජීවී ලෙසින් උඩමළුවේ වැඩ වෙසෙන එම ශ්‍රී මහා බෝධීන් වහන්සේම සාක්ෂි දරනු ඇත. දැනට ලෝකයේ ඇති පුරාණතම වෘක්ෂ රාජයා ලෙසින් (ලිඛිත ඉතිහාසයක් ඇති) සැලකෙන්නේ, මෙම ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේය. පිකස් රෙලිජෝසා නම් උද්භිද නාමයෙන් හඳුන්වනු ලබන අනුරාධපුරයේ මහමෙවුනා උයනේ උඩමළුවේ වැඩ වෙසෙන ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ මේ නිසා අප සතු ජාතික වස්තුවකි. එය බෞද්ධ ජනතාවට පමණක් සීමා වූවක් නොවේ. අසුවල් පුද්ගලයන් ඉදිරිපිට අසුවල් දිනයේ දී රෝපණය කරන ලදැයි සඳහන් වී ඇති ලෝකයේ පුරාණතම වෘක්ෂ රාජයා මෙම ශ්‍රී මහා බෝධීන්වහන්සේය.

බුද්ධගයාවේදී එදා සිදුහත් තවුසාණන්ට බුදුවීම පිණිස සෙවණ දුන් ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ දකුණු ශාඛාවක් මෙසේ අනුරාධපුරයේ රෝපණය කරනු ලැබුවේ නම් එම බුද්ධගයාවේ ඇති ශ්‍රී මහා බෝධීන්වහන්සේ මීටත් වඩා පැරැණි නොවේ දැයි සිතුවිල්ලක් කෙනකුට සිතෙනු ඇත. එය එසේ නොවේ. ඊට හේතුව වන්නේ එදා සිදුහත් තවුසාණන්ට සෙවණ දුන් බෝ සමිඳුන් බුද්ධත්වට පත් වූ පසුව අනිමිසලෝචන පූජාවෙන් ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් කළ ගුණ සැලකුම් ලද ඒ බෝ සමිඳුන් අද එහි දක්නට නැත. ඊට හේතුව නම් ඊට පසු මගධ අධිරාජ්‍යයේ අධිපති වූ අසෝක මහ රාජයාණන්ගේ කාලයේදී ම එම බෝධීන් වහන්සේ විනාශයට පත් කිරීමයි. එය සිදු කළේ අසෝක රජුගේ බිසවක් විසින් යැයි සඳහන් වේ. වාසනාවකට මෙන් එසේ විනාශ කිරීමට ප්‍රථමයෙන් එම ශ්‍රී මහා බෝධි ශාඛාව බුදුරජාණන් වහන්සේට සෙවණ දුන් ශ්‍රී මහා බෝධීන්වහන්සේගෙන්ම ලබා ගැනීම සිංහල බෞද්ධ ජනතාවගේ වාසනාවට සිදු වූවක් නොවේද? මෙසේ රෝපණය කරන ලද ශ්‍රී මහා බෝධීන්වහන්සේගෙන් ලද අෂ්ටඵලරූහ ලංකාවේ අට තැනක රෝපණය කරන ලදී. ඒවා නම් දඹකොළ පටුන, තිවක්ක බමුණුගම, ථූපාරාමය, ඉසුරුමුණි විහාරය, පළමුවැනි සෑමළුව, සෑගිරි ආරාමය, මිහින්තලය, කතරගම හා සඳුන්ගම යන ස්ථානවල බව මහාවංසයේ සඳහන් වේ. ඉන්පසු හටගත් තවත් බෝ පැළ වූ දෙතිස් ඵල බෝධීන් වහන්සේ ලංකාවේ තවත් තිස් දෙකක් වූ ස්ථානවල රෝපණය කර ඇත. මෙයින් ප්‍රකාශ කෙරෙන්නේ දේවානම්පියතිස්ස යුගයේදී (ක්‍රි.පූ. 3 වැනි සියවසේදී) ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙසින් පැවැති බව යැයි අපගේ මතය වන්නේය.

එස්. රණසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon