රඟ මඬලේ බෙරහඬ

  👤  6217 readers have read this article !
2017-11-19

රාජ්‍ය සම්මාන දිනූ ඝෝෂක වස්තුවට පසුව රචනා කළ 'බෙරහඬ' නාට්‍යය බන්ධුල ජයවර්ධනයන්ගේ කාහල නාදයයි. සොෆොක්ලීස් නම් ග්‍රීක නාට්‍යකරුවාගේ 'ඉක්නෙයුටායි' නමැති නාට්‍යයේ ස්වතන්ත්‍රමය අනුවර්තනයක් වූ 'බෙරහඬ' මුලින්ම රංගගත වූයේ 1961දීය. ඒ පේරාදෙණිය ගොවිකම් දෙපාර්තමේන්තුවේ සිංහල සාහිත්‍ය සංගමයේ අනුග්‍රහයෙනි. 'බෙරහඬ' මුළු ලංකාවම නැරඹුවේ 1980 දශකයේ මුල්භාගයේදී ජාතික රූපවාහිනි සංස්ථාව මඟින් වේදිකා නාට්‍ය රසික ප්‍රජාවට එය හඳුන්වා දුන් 'රඟමඬල' වැඩසටහනෙනි. බටහිර සම්භාව්‍ය ශාස්ත්‍ර විෂය කරගත් ඔහු, ග්‍රීක-රෝම නාට්‍ය හා දර්ශනය වගේම බෞද්ධ දර්ශනය පිළිබඳවද ප්‍රාමාණිකයකු වූ බන්ධුල ජයවර්ධනයන්ගේ අගයත් ඔහු නැති අඩුවත් නොවෙනස්ව එලෙසම පවතී.

එතුමා අපෙන් සමුගෙන අවුරුදු දහහතරක් පිරෙන්නේ නොවැම්බර් 20දාටයි. පරිහානියේ මුව‍ෙදාරට වැටුණු සිංහල නාට්‍ය කලාව හා එහි අනාගතය පිළිබඳව කනස්සලු සහගතව සිටින මොහොතක අපි ඔහු අනුස්මරණය කරන්නෙමු.

1965දී මට බන්ධුලයන් මුණ ගැසෙන්නේ මා පේරාදෙණියේ ගොවිකම් දෙපාර්තමේන්තුවේ ලිපිකරුවකු ලෙස සේවය කරමින්ම උපාධි අපේක්ෂකයකු ලෙසද කටයුතු කරමින් සිටියදීය. ගොවිකම් දෙපාර්තමේන්තුවේ සිංහල සාහිත්‍ය සංගමයේ රැස්වීමකට ඔහුද කැඳවා තිබුණේය. දෙපාර්තමේන්තුවේ ජේ‍යෂ්ඨ මිතුරකු වූ ගුණසේන ගමගේ මහතා ඔහුට මා හඳුන්වා දුන්නේ තරුණ නාට්‍යකරුවකු ලෙසිනි. රැස්වීමේ මූලික අරමුණ වූයේ 'බෙරහඬ' නාට්‍යය නැවත නිෂ්පාදනය කිරීමට සැලසුම් යෝජනා කතිකා කිරීමයි. බන්ධුලයන්ට නිෂ්පාදන කාර්යයේදී සහාය වීම මට පැවරුණු රාජකාරියයි.

මේ කියන කාලයේ පේරාදෙණියේ බෞද්ධ විශ්ව කෝෂයේ සංස්කාරකවරයෙක් ලෙස සේවය කළ බන්ධුලයන්ගේ කාර්යාලය පිහිටා තිබුණේ විශ්වවිද්‍යාලයේ කලාගාරය නුදුරේ තිබූ අරලිය ගස් සෙවණේ පිහිටි කුඩා ගොඩනැඟිල්ලකයි. ඉඳහිට එහිදී ඔහු හමුවීමටද මට අවස්ථාව ලැබුණෙන් මම ඔහුගෙන් බොහෝ කාරණා දැන උගත්තෙමි. 1961 වර්ෂයේ නිෂ්පාදිත 'බෙරහඬ' නාට්‍යයේ සියලුම රංගන ශිල්පීන් ගොවිකම් දෙපාර්තමේන්තුවේ සේවය කළවුන්ය. එහි සංවිධාන කටයුතු කළ එම්. සී. මාතුපාල මහතා පරිපාලන සේවයේ නිලධාරියෙකි. 'බෙරහඬ'ට පසුව බන්ධුලයන් නිෂ්පාදනය කළ 'ස්වර්ණහංස' නාට්‍යය විශ්වවිද්‍යාල සිසුසිසුවියන්ගේ සහභාගීත්වයෙන් නිර්මාණය වූවකි. එම නාට්‍යයේ ප්‍රධාන භූමිකාව රඟපෑ එවකට පියසීලි නානායක්කාර පසුව පියසීලි විජේගුණසිංහ නමින් සුප්‍රකටව සිටි කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරිය වූවාය. 1963 දී ඔහු 'දියසේන නොපැමිණීම' නම්වූ නාට්‍ය නිෂ්පාදනය කළේය. ජාතිවාදය හා බැඳී පවතින මිථ්‍යා වාද සුනු විසුනු කළ සදය උපහාසාත්මක නාට්‍යයක් වූ එයට බොහෝ දෙනාගේ විරෝධය එල්ල වී ඇත. මේ සෑම නාට්‍යයකම සංගීතය නිර්මාණය කළේ එච්. එච්. බණ්ඩාරයන්ය. රංග වස්ත්‍ර හා අංග රචනා කළේ විමලධර්ම දියසේනයන්ය. ඔවුන් දෙදෙනාම පසු කලෙක මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ 'සිංහබාහු' නාටකයේ පටන් බොහෝ නිර්මාණවලට දායක වෙමින් රංගභූමිය පොහොසත් කළ දෙදෙනෙකි.

'බෙරහඬ' නව නිෂ්පාදනයට මූලික සැලසුම් කරමින් සිටියදී 1966 රාජ්‍ය නාට්‍ය උත්සවය සඳහා පිටපත් කැඳවනු ලැබීය. ඒ කාලේ අද වගේ වසරේ පෙන්වූ නාට්‍යවලින් තෝරාගෙන නාට්‍ය උත්සව පවත්වන සිරිතක් නොවීය. නව පිටපත් නිර්මාණවලින් තෝරාගනු ලැබූ නාට්‍යවල පූර්ව දර්ශන නරඹා, විනිශ්චය මණ්ඩල මඟින් තෝරාගන්නා එම නාට්‍ය, රාජ්‍ය නාට්‍ය උත්සවයට එන කිසිවකු ඊට කලින් දැක තිබුණේ නැත.

'බිහිවනු බෝසතාණෙනි' නමින් බන්ධුලයන් රචනා කොට ඉදිරිපත් කළ නාට්‍ය පිටපතක් 1966 නාට්‍ය උත්සවයට තෝරාගනු ලැබිණි. 'කෘමියෝ' (ධ්ව්ඉඡ්ඛ්ඊඉ) නම් වූ චෙකොස්ලෝවැකියානු නාට්‍යයක අනුවර්තනයකි. එය 'බෙරහඬ' නැවත නිෂ්පාදනය කිරීම වෙනුවට අලුත්ම නාට්‍යයක් නිෂ්පාදනය කිරීමට බන්ධුලයන් මෙන්ම සෙසු අයද කැමැතිවූහ. ලහි ලහියේ පූර්ව දර්ශනයන් සඳහා පුහුණුවීම් ආරම්භ කරන ලදී. මහනුවර පුෂ්පදාන බාලිකා විදුහලේ එම පුහුණුවීම් පවත්වන ලදී. එච්. එච්. බණ්ඩාර, විමලධර්ම දියසේන ආදී බන්ධුලයන්ගේ මිතුරු පිරිසද එයට එක්වූ අතර එහි රඟපෑමට විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන්ද තෝරාගනු ලැබිණි. අපගේ බලාපොරොත්තු පලදරමින් 1966 නාට්‍ය උත්සවය සඳහා 'බිහිවනු බෝසතාණෙනි' තෝරාගන්නා ලදී. අභූත රූපී අන්තර්ගතයක් සහිත වූ එම නාට්‍යයේ රස උකහා ගන්නට තරම්වූ රසිකත්වයක් මෝරා නොතිබූ ඒ සමයේ සාහසික විචාරයන්ට එම නාට්‍ය ලක්වුණේය. බෞද්ධ දර්ශනයේ සාරය තුළින් ජීවිතය විනිවිද යන සරදම් බැල්මක් හෙලූ එම නාට්‍යයට එදා ලැබුණු විචාරක ප්‍රතිචාර මෙනෙහි කරද්දී බුද්ධ දර්ශනය හෝදාපාළුවී ගිය මෙබඳු සමයක එයට මොනවගේ ප්‍රතිචාර ලැබේදැයි සිතා ගැනීමත් අපහසුය. බන්ධුල ජයවර්ධන නිරතුරුවම කාලයට ඉදිරියෙන් ගමන් කළ මාර්ගෝපදේශකයෙකි.

මහාචාර්ය සරච්චන්ද්‍රයන් ඉතා සමීපව ඇසුරු කළ බන්ධුලයන් එකල තමා විසූ වටපුලුවේ නිවෙසේ ඉඳහිට පැවැත්වූ සොඳුරු සැ¼දෑ සම්භාෂණ ඉමිහිරි මතකයන්ය. මහාචාර්ය සරච්චන්ද්‍රයන් හට මා හඳුන්වා දුන්නේද එබඳු හමුවීමකදීය. විශ්වවිද්‍යාලයේ සේවක පිරිස් සහභාගි කරවාගෙන 'මහාසාර' නාටකය නිර්මාණය වූ අවධිය ඒ ඉමිහිරි මතක අතර සුවිශේෂය. එම නාටකය පිළිබඳ සමරු පොතට බන්ධුලයන් රචනා කළ විචාරය සැමගේ ගෞරවාදරයට පාත්‍රවූ සියුම් ලියැවිල්ලකි. මේ අතර 'ස්වර්ණතිලකා' වස්තුව පාදක කරගෙන මහාචාර්ය සරච්චන්ද්‍රයන් ගීත නාටකයක් රචනා කරමින් සිටි සමයේදී ඛේදාන්ත රචනයන් පිළිබඳව පරිශීලනය සඳහා ග්‍රීක නාට්‍ය කිහිපයක්ම තෝරාදුන්නේ බන්ධුල ජයවර්ධනයන් තම පුස්තකාලයෙනි.

70 දශකය බොහෝ පරිසර වෙනස්කම් කළ යුගයක් විය. මහාචාර්ය සරච්චන්ද්‍ර ප්‍රංශ තානාපති පදවිය ලබා එහි ගියේය. පේරාදෙණියේ බෞද්ධ විශ්ව කෝෂය කොළඹට ගෙන එන ලදී. කොළඹට පැමිණීමෙන් පසු නාට්‍ය නිර්මාණ කටයුතුවලින් වියෝවූවද ක්ෂේත්‍රයේ කටයුතුවලට බන්ධුලයන්ගේ කැපවීම එලෙසම පැවතිණි. දිගු කලක් එතුමා නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති ලෙස සේවය කළේය. නාට්‍ය කලා නිරීක්ෂණ චාරිකාවකට යුගොස්ලාවියාවට ගියේය. ඔහුගෙන් පසුව නාට්‍ය අනුමණ්ඩලයට පත්වූ විමලධර්ම දියසේනයන් සමඟ ප්‍රේක්ෂක ප්‍රතිචාර සමීක්ෂණයක් කරමින් ඒ කරුණුද ඇසුරෙන් ඔවුන් දෙදෙනා ග්‍රන්ථයක්ද සම්පාදනය කළෝය. "ඒ ඕඅඋඉඩ් ඉඊඅර්ණීම්ඡ් ර්ණීජ් ඊඩ්ඡ් ඛ්ර්ණීව්ඊඡ්ර්ර්ථීර්ණීඅඒඅක ඉධ්ව්ඩ්ඒඹ්ඒ ඊඩ්ඡ්ඒඊඅඡ් (1950-1980)" (සමකාලීන සිංහල රංග කලාව පිළිබඳ තෙලිතුඩු පහරක්) නම් වූ එය සිංහල නාට්‍ය කලා ඉතිහාසය පිළිබඳ දුර්ලභ ලියැවිල්ලකි. එතුමන්ගේ සංස්කාරකත්වයෙන් කරන ලද 'රූපණ' සඟරාවද කාලීන නාට්‍ය ක්ෂේත්‍රය පිළිබඳවූ වැදගත් උත්සාහයකි. එය අතරමඟ ඇන හිටීමෙන් නාට්‍ය ක්ෂේත්‍රය පිළිබඳ සන්නිවේදන භාවිතාවක් ස්ථාපිත කර ගැනීමට දැරූ තැත ව්‍යවර්ත විය.

බන්ධුලයන්ගේ අවසාන නිර්මාණය වූයේ 'ස්වර්ණමාලී' නාට්‍යයයි. ඔහු එය අධ්‍යක්ෂණය කළේ නිශ්ශංක දිද්දෙණිය සමඟ එක්වයි. 2004 රාජ්‍ය නාට්‍ය උත්සවයේදී සම්මාන ලබමින් එය ඇගැයීමට ලක්වුණේය. අයහපත් සෞඛ්‍ය තත්ත්වය මේ කාර්යශීලී නිර්මාණකරුවාගේ ඉදිරිගමනට බාධා කළේය. මේ රටට යහපත් නාට්‍ය සංස්කෘතියක් හඳුන්වා දීමට බන්ධුල ජයවර්ධනයන් අපමණ වෙහෙස දැරුවේය. එහෙත් කාලයට ඉදිරියෙන් ගමන් කරන මිනිසුන්ගේ දැක්ම මේ රටේ සාම්ප්‍රදායික ගෝත්‍රිකවාදයේ නිරන්තර ප්‍රහාරයට ගොදුරු වන්නේය. මීට වසර දහහතරකට පෙර එනම් 2003 නොවැම්බර් 20 දින බන්ධුල ජයවර්ධනයන් අපෙන් සමුගන්නේ එහි පැවැත්ම සඳහා නාට්‍ය ක්ෂේත්‍රය අපහසුවෙන් හුස්ම ගනිමින් සිටි වකවානුවකය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon