කොටි සටනින් ඔබ්බට...

  👤  6338 readers have read this article !
2017-11-19

කොටි සටනින් ඔබ්බට යන්න වැදගත් මාතෘකාවක් වන්නේ සිංහල සමාජයට පමණක් නොවෙයි. දෙමළ සමාජයටද එය එසේමය. මෙහි සටන යන්න අරගලය යන අරුතින් ගත් විට කොටි සංවිධානයෙහි අරගලයෙන් පසුව දෙමළ දේශපාලනය යන්න මේ වනවිට සංවාද තලයට පැමිණ ඇත. කොටින් සමඟ කළ සටනින් පසුව යන්න සිංහ ජාතිකවාදී සංවාදය තුළට ගෙන ඒමේ උත්සහයන් අතර මෙම කෘතිය වැදගත් වනු ඇතැයි මම සිතමි. පළමුව මෙම ග්‍රන්ථයෙහි අන්තර්ගතය පිළිබඳව හැඳින්වීමක් කිරීම වැදගත් යැයි සිතමි.

පුවත්පත් මාධ්‍යවේදිනියක වන මෙම කෘතියෙහි කතුවරිය විදේශීය රටවල ලබාගත් අත්දැකීම්, සම්මුඛ සාකච්ඡා (ගලගොඩඅත්තේ ඤාණසාර හිමි, මොහාන් සමරනායක, පාඨලි චම්පික රණවක, අශින් විරතු හිමි, ඇන්. අරුන්කාන්ත්) සහ පොතපත ඇසුරෙන් ලත් තොරතුරු මත මෙම ග්‍රන්ථය ලියා ඇත. මේ ග්‍රන්ථය සිංහල ජාතිකවාදී මනස හඳුනා ගැනීමට කවුළුවක් ලෙසින් වැදගත් වන්නේය යන්න මගේ හැඟීමයි. කොටි සංවිධානය විශාල ජන සංහාරයක් සමඟින් පරාජයට පත් කිරීමෙන් පසු සිංහල ජාතිකවාදී මනස විඳවන වේදිතයන් හඳුනා ගැනීම සඳහා මෙම ග්‍රන්ථය වැදගත් යැයි කියන්නේ මෙය පොදුජන මතය සමඟ ගැළපෙන අදහස් සහ මතවාදයන් අන්තර්ගතව පවතින හෙයින්ය. මෙම පොතෙන් ආමන්ත්‍රණයට ලක් කෙරෙන ප්‍රශ්නය පහත දැක්වෙන උද්ධෘතයෙන් යම් තාක් දුරකට පැහැදිලි වෙතැයි සිතමි.

'තවත් අතකින් බැලුව හොත් යුදමය වශයෙන් අප ජය ලැබුවේ බෙදුම්වාදයේ හා ත්‍රස්තවාදයේ එක්තරා අංශයක් පිළිබඳ පමණි. ඒ උතුරු හා නැඟෙනහිර ප්‍රදේශ වසා පැතිර අනවරතව පැවැති ගැටුම් හා කාකොටා ගැනීම්වලින් අත්මිදීමය. එහෙත් ත්‍රස්තවාදය හා බෙදුම්වාදය මේ වනවිට අප රට විවිධ ප්‍රදේශවල ව්‍යාප්ත වෙමින් පවතී. විටෙක ජනවාර්ගික අර්බුද ලෙස ඉස්මතු වන අතර, විටෙක සීතල යුද්ධයක් ලෙස යට යනු පෙනේ. විශේෂයෙන් සිංහල හා මුස්ලිම් ගැටුම් නිර්මාණය මේ වනවිට කැපී පෙනේ. සමස්තයක් ලෙස සැලකූ කල මෙය රට පුරාම සිදුවන ආක්‍රමණයක ස්වරූපයක් උසුලනු පෙනේ.'

(පිටු 38-39)
මෙහි දෙමළ පාර්ශ්වයෙන් මතු වූ අභියෝගය මුළුමනින්ම ජය ගැනීමට නොහැකි වූ බවට වන කනස්සල්ල ප්‍රකාශ වන අතරම වඩාත්ම තීව්‍ර අභියෝගය ලෙසින් මුස්ලිම් සහ ක්‍රිස්තියානු අභියෝගය පෙන්වා දෙයි.

මෙලෙස නිරන්තරයෙන්ම එල්ලවන අභියෝග පිළිබඳ සිංහල සමාජය තුළ වෙළාගෙන ඇති භීතියෙහි උල්පත කුමක්ද? ඇත්තෙන්ම මෙම භීතිය පාරම්පරික උරුමයක්ද?
කතුවරිය මෙහිදී බෞද්ධ සහ හින්දු සහයෝගීතාව යන්න ඉදිරිපත් කරන්නේ මෙම අභියෝගය ජය ගැනීමේ උපායික ක්‍රමයක් ලෙසය. ක්‍රිස්තියානු අභියෝගය පිළිබඳව මෙන්ම මුස්ලිම් අභියෝගය පිළිබඳවත් ඇය සඳහන් කරන කරුණු උත්ප්‍රාසජනක ලෙසින් දෙමළ ජාතිකවාදය තුළින් ඉදිරිපත් කරන අදහස් සමඟ සමාන්තරව ගමන් කරයි.
'මුස්ලිම්වරුන්ගේ සූක්ෂ්ම ආක්‍රමණ ක්‍රියාදාමය දිගු අතීතයක සිට ක්‍රියාත්මක වෙමින් පවතී. බහුතර සිංහලයන් සිටින ප්‍රදේශ කරා සංක්‍රමණය වන මුස්ලිම්වරුන් යාප්පුව හා ගැති බව පෙන්වා ඔවුන්ගේ සිත් දිනා ගැනීමෙන් අනතුරුව ක්‍රමයෙන් ඉඩකඩම්, ගේ‍ෙදාර අල්ලාගන්නවා පමණක් නොව, කාන්තාවන් විවාහයට පොලඹවාගන්නට තරම් උපායශීලී වී තිබේ. එමෙන්ම මාපියන්ගේ ආරවුල් සහ වෙන්වීම් හේතුවෙන් අනාථ වූ දරුවන් දරුකමට හදා වඩා ගැනීම, සිංහලයන් එතරම් අත්නොවිඳිනා අරුමෝසම් වටිනාකම් පෙන්වා, ඉඩම් වැනි වටිනා දේපළ ඩැහැගැනීම, ලවක් - දෙවක් නොමැතිව දේවස්ථාන ඉදිකිරීමට ඇති උනන්දුව හා බහුවිවාහ වැනි කරුණු සලකා බැලීමේ දී රට මුළුමනින්ම ඉස්ලාම්කරණයේ සියුම් නොව සෘජු ආක්‍රමණයට වසර ගණනාවක පටන් නතුව ඇති අයුරු සුපැහැදිලිය. අසරණයන්ට සරණ වීම, දරුවන් කුලවද්දා ගැනීම ආදිය මුස්ලිම් පමණක් නොව කුරුසවාදී ආගම්වලද ප්‍රධාන භූමිකාවන්ව තිබේ.

(පිටු 39-40)
මේ අදහස් පිළිබඳව සංවාද සහ හැදෑරීම් අවශ්‍ය වන්නේ මෙම අදහස් ඇත්තෙන්ම හුදු තනි පුද්ගල මති මතාන්තර නොව සිංහල ජන සමාජයෙහි මුල්බැස ඇති සහ සංහිඳියාව ඇති කරගැනීමේදී අනිවාර්යයෙන්ම මුහුණ දිය යුතු මඟ හැර යා නොහැකි අභියෝගයන් මත පදනම්ව පවතින හෙයින්ය. එම පදනමින් මෙම ග්‍රන්ථය වැදගත් යැයි මම සිතමි.
අවසාන වශයෙන් පොතේ කතුවරිය මුහුණ දුන් පහත දැක්වෙන අත්දැකීම ඉදිරිපත් කරන්නේ එය අප තුළ ලංකාවෙහි ජනමාධ්‍යවේදය පිළිබඳවත් බැරෑරුම් අවධානයක් යොමුකරන මෙන් ඉල්ලා සිටින අන්තර්ගතයකින් යුතු නිසාය.

'මම ශ්‍රී ලංකාවෙන්' මම පැවසුවෙමි.
'ආහ්....! ශ්‍රී ලංකා, වනක්කම්' ඔහු උද්දාමයෙන් පැවැසීය.
'වනක්කම්?' මම යක්ෂාවේශයෙන් කඩා පැන්නෙමි.

'යර්ස් වනක්කම්' ඔහු පසුබසිමින් එහෙත් නැවතත් කුතුහලය පිරි දෑසින් පැවැසීය.
'ශ්‍රී ලංකාව කියන්නේ මොකක්ද දන්නේ නැතිව ද උඹ ලංකාවේ අයට බිස්නස් කරන්න එන්නේ? ලංකාවේ බහුතරය සිංහල බෞද්ධ. අපි ආචාර කරන්නේ මෙන්න මෙහෙම (මම දෑත් එක්කොට පෙන්වීමි) අපේ සුබ පැතීම 'ආයුබෝවන්' උඹට වනක්කම් කියන්න ඕනෑ නම් දකුණු ඉන්දියාවට පලයං'
(පිටුව 30)

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon