ජනතාවට බදු බර පැටවූ ටොරින්ටන් ගෙදර ගිය හැටි

  👤  6470 readers have read this article !
2017-11-19

අදත් කොළඹ යම් යම් ස්ථාන හැඳින්වෙන්නේ යටත් විජිත සමයේ මෙරට ආණ්ඩු කළ ඇතැම් ආණ්ඩුකාරවරුන්ගේ නම් වලිනි. මේට්ලන්ඩ්, හෝටන්, බාන්ස්, වෝඩ්, රොස්මිඩ් පෙදෙස් ඉන් කිහිපයකි. අද ජාතික රූපවාහිනිය, ගුවන්විදුලි සංස්ථාව වැනි මාධ්‍ය ආයතන පිහිටා ඇත්තේද එවැනි ආණ්ඩුකාරයකුගේ නමින් පිහිටි පෙදෙසකය. ඒ කොළඹ 7 ටොරින්ටන් චතුරස්‍රයයි. එය නම් කර ඇත්තේ වර්ෂ 1847 සිට 1850 දක්වා මෙරට ආණ්ඩුකාර ධුරය දැරූ ටොරින්ටන් සාමි වෙනුවෙනි.

1841 සිට 1847 දක්වා මෙරට ආණ්ඩු කළ කොලින් කැම්බල්ගෙන් පසු ලංකාවට ආ ටොරින්ටන් සාමිවරයාගේ පාලන කාලය මෙරට වැසියන්ට යහපත් වූයේ නැත. යටත් විජිත පාලනයට එරෙහිව මෙරට වැසියන් කැරැල්ලක් ඇරඹීමත්, එය කුරිරු ලෙස මර්දනය කිරීමත් සිදු වූයේ ටොරින්ටන් පාලන කාලයේදීය. ජනතාව වෙත බදු බර පැටවීම වර්ධනය වූයේත් ඒ කාලයේදී වීම අනෙක් හේතුව විය.

ඔහුට පෙර ලංකාණ්ඩුව පාලනය කළ එඩ්වඩ් බාන්ස් මෙරට පාරවල් තැනුවේ රාජකාරි ක්‍රමයටය. එනම් පාරවල් තැනීම වෙනුවෙන් රජය මඟින් සේවකයන්ට යම් ගාස්තුවක් ගෙවනු ලැබීය. ආණ්ඩුකාර බාන්ස් පවත්වා ගෙන ගිය එම කාර්යය ආණ්ඩුකාර රොබට් හෝටන්ද පවත්වා ගෙන ගියේය.
එහෙත් ටොරින්ටන් සාමි පත්ව ආ පසු ඔහු කළේ 1848දී පාර බද්දක් පැනවීමය. වයස අවුරුදු 18-55 අතර සෑම පිරිමියකුම වසරක් පාසා දින 6ක් පාරවල වැඩ කළ යුතු විය. එසේ නොකළේ නම් සිලිං 3ක දඩයක් ගෙවීමට ජනතාවට සිදුවිය.

කැලෑ මැදින් වැටුණු අඩි පාරවලින් තම ගමන් බිමන් යෑමට පුරුදුව සිටි වැසියන්ට මේ පාරවල්වලින් එදා සෙතක් නොවීය. ඒවා ඕනෑ කළේ වැවිලිකරුවන්ට බව ජනතාවට ඒත්තු ගැන්වී තිබිණි. පාරවල් තැනීම නිසා උඩරැටියන් තුළ ඇති වූයේද නිහඬ නොසන්සුන්තාවකි. ඔවුන් ඊට අකැමැති වූයේ පාරවල් නිසා කොලොම්තොටින් එන වෙළෙඳුන් ඇතුළු නොයෙක් රැකියාවල නිරත වූවන්ගේ හැසිරීම්වලින් උඩරට ගැමි සරල ජීවිතවලට හා ආර්ථිකය වෙනතකට පෙරළේවි යැයි සිතූ නිසාය. භික්ෂුන් වහන්සේටද මෙම බද්ද ගෙවිය යුතු වීම නිසා බෞද්ධයන්ටද එය සිත් වේදනා ගෙන දුන් බද්දක් විය.

උපායශීලී බවක් නොතිබූ ආණ්ඩුකාරයා ඉන්පසුව කඩ සාප්පු බද්ද, ඔරු පාරු බද්ද, අශ්ව රථ, බර කරත්ත හා බල්ලන් සඳහාද බදු පැනවූයේය.
තම කෘෂි බෝග සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා භාවිත කළ තුවක්කුවලටද බද්දක් පැනවිණි. ඒ නිසා කෘෂිකර්මයෙන් යැපෙන මිනිසුන්ට සිලිං 2යි පැන්ස 6ක් ගෙවා තුවක්කුවක් හෝ වෙනත් වෙඩි අවියක් භාවිත කළ යුතු විය.
මේ නිසා තුවක්කු බද්දට එරෙහිව වැසියෝ 1848 ජූලි මාසයේදී සෙංකඩගල නුවර දිසාපති හමුවීමට ගියහ. ඉන් නොනැවතී විශාල පිරිසක් සහිතව සිය විරෝධය ආණ්ඩුකාරයාට පළ කරනු සඳහා කොළොම්පුරයට ගියහ.

1848දී උඩරට පහතරට දෙකෙහිම ආණ්ඩු විරෝධී කලබල හට ගත්තේය. මේ නිසා ටොරින්ටන් කළේ කැරලි හටගත් ප්‍රදේශවලට යුද නීතිය පැනවීමය. පුරන් අප්පු, ගොංගාලේ ගොඩබණ්ඩා ආදීන් වෙඩි තබා මරා දමනු ලැබීය.
ඔබ්සවර් කර්තෘ ක්‍රිස්ටෝපර් එලියට්, ඒ. එම්. ෆර්ගියුසන්, නීතිඥ රිචඩ් මෝගන්, නායක විනිසුරු පුත්‍ර හා පෞද්ගලික ලේකම්වරයකු වූ ලෝරන්ස් ඔලිෆන්ට් යන අය ලංකාවේ හටගත් කැරලිකාර තත්ත්වය එංගලන්තයට දැන්වූහ.

ජෝසප් හියුම්, හෙන්රි බේලි වැනි මන්ත්‍රිවරුන් පිරිසක් එංගලන්ත මන්ත්‍රණ සභාවේදී මේ පිළිබඳව විවාද කළහ.
ටොරින්ටන්ගේ ආණ්ඩුව අත්තනෝමතික හා හිංසාකාරී එකක් බව හෙන්රි බේලි කීවේය. ලංකාවේ ආණ්ඩුකාරයා වීමට ටොරින්ටන්ට තිබූ එකම සුදුසුකම "දුම්රිය සමාගමක අධ්‍යක්ෂවරයකු වීම" පමණක් යැයි ඩිස්ණයලි මන්ත්‍රිවරයා ඔහු සමච්චලයට භාජන කළේය.

ආණ්ඩුකාර තනතුරේ ඔහු ආධුනික කාලය ගත කළේ කෙන්ට් පෙදෙසේ ගොවිතැන් පාලනය කරමින් යැයි ඇඩ්ලි මන්ත්‍රිවරයා කීය.
ටොරින්ටන් සාමිවරයා, එංගලන්ත අගමැති රසල් සාමිවරයාගේ මස්සිනා වූ බැවින් ඔහුට ඇති චෝදනාවලින් නිදහස් කර ගැනීමට දැඩි උත්සාහයක් තිබුණද මන්ත්‍රි මණ්ඩලයේ බලවත් අප්‍රසාදය නිසා රසල් සාමිවරයාගේ කැබිනට් මණ්ඩලය පරාජයට පත් විය. ඊළඟ දින කිහිපය තුළදී ටොරින්ටන් ආණ්ඩුකාරවරයා වෙත ලන්ඩනයෙන් සන්දේශයක් සකස් කෙරිණි.

එහි සඳහන් වූයේ ලංකාවේ පාලන කාර්යයෙන් ටොරින්ටන් නිදහස් කළ බවත් ඔහු වෙනුවට මුරිසියේ ශ්‍රී මත් ජෝන් ඇන්ඩර්සන් ලංකාණ්ඩුකාරයා ලෙස පත් කර එවන බවත් මහ රාජිනීන් වහන්සේගේ කැමැත්ත පරිදි නිවේදනය කරන බවය.

ලංකාවාසීන්ට බදු බර පටවා අත්තනෝමතික පාලනයක් ගෙන ගිය ටොරින්ටන් සාමිට සිදුවූයේ කිසිවකුටත් නොදන්වා කොළඹ රජ ගෙදරින් හොර රහසේම පලා යෑමට බව කියැවේ. ඒ සමඟම ටොරින්ටන්ට සහාය පළ කළ එමර්සන් ටෙනන්ට් සහ සෙංකඩගල නුවර දිස්ත්‍රික් නඩුකාර එඩ්මන්ඩ් නුඩ්හවුස් දෙදෙනාගේ සේවය ලංකාවට අවශ්‍ය නැති බව ඔවුන්ට දන්වා එවනු ලැබීය.

බන්ධුල ගුණරත්න

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon